රට වටේ පාර පුරාම ෂෙඩ් එකක් ෂෙඩ් එකක් ගානේ පෝලිම්ය. වාහන වෙනම පෝලිමේය. ජනතාව වෙනම පෝලිමේය. වාහනේට ෆුල් ටෑන්ක් පුරවාගත් අය අතේ දරා සිටින බූලියටද පුරවා ගනිති. තවත් අය පෝලිම්වල පැදුරු දමාගෙන නිදිය. පිරිසක් පෝලිම්වල රංචු ගැසී ගීත ගායනේය. ඒ අස්සේ තවත් අය කිරිබත්, තේ සමඟ දෙයි. මේ සියල්ල අවුරුදු 2500 ක උරුමයක් සහ අභිමානයක් ගැන පාරම්බාන රටේ වර්තමාන මුහුණුවරය.
වැඩියෙන්ම ඉන්ධන පෝලිම ඇත්තේ ඩීසල් වලටය. ඩීසල් වාහන හිමියන් දැඩි ලෙස අසීරුවට පත්ව සිටින බව අමුතුවෙන් කිවයුතු නැත. ඩීසල් හිඟය නිසා වාහන හිමියන්ට වඩා අවදානමට ලක්වූයේ එදිනෙදා ගමන් යන අහිංසක මගීන්ය. එයට හේතුවූයේ පොදු ප්‍රවාහනයට ඒ හරහා එල්ලවුණු බලපෑමය.
විශේෂයෙන් බස් රථ සඳහා මෙම අවදානම දැඩිලෙස උග්‍ර විය. දවසෙන් බාගයක් තෙල් පෝලිමේ සිටීමට බස්රථවලට සිදුවූ නිසා එවැනි තත්ත්වයක් ඇතිවිය. අවශ්‍ය ගමන්වාර සම්පූර්ණ කර ගැනීමට නොහැකි නිසාත් ඒ හරහා බස් රථවල ආදායම අඩුවීම නිසාත් පෞද්ගලික බස්රථ 60%ක් පමණ දෛනිකව ධාවනයෙන් ඉවත් කරගත් බව වෘත්තීය සංගම් සඳහන් කළේය. මේ නිසා මගීහු දැඩි අසීරුතාවයකට ලක්වන්නට වූහ. පොදු ප්‍රවාහන බස්රථ පමණක් නොව කාර්යාල ප්‍රවාහන පහසුකම් සපයන බස් රථ පවා පසුගිය සතියේ මග නතර වන තැනට පත්විය. ඒ ඉන්ධන අර්බුදය නිසාය.
පසුගිය සතියේ ලියුම්කරුද අවශ්‍ය ගමනක් සඳහා සූදානම් වී වෑන් රථයක් සොයා ගැනීමට උත්සාහ කළද එය ඉතාම අසීරු විය. වෑන් රථයක් සොයා ගත්තත් එහි මිල ගණන් එකකට එකක් ඉහළ ගොසිනි. අවසානයේ එම වෑන් රථයෙන් අවශ්‍ය ගමන ගියත් නැවත නිවෙසට පැමිණීමට සූදානම් වී පැමිණි වෑන් රථයේ රියදුරු ඇමතුවත් ඔහු ඒ වනවිටත් සිටියේ ඩීසල් පෝලිමේය. අපව අවශ්‍ය තැන බස්සවා උදෑසන 10 වනවිට ඔහු පිටත් වුණත් සවස පහ වනවිටත් ඔහු සිටියේ ඉන්ධන පෝලිමේය. කෙතරම් ඛේදවාචකයක්ද?
කෙසේ වෙතත් එපමණක් නොව බොහෝ ත්‍රීරෝද රථ පවා මේ තෙල් අර්බුදය හේතුවෙන් ඔවුන්ගේ මිල ගණන් වෙනස් කරගෙන තිබුණේය. ඇතැම් මීටර් ත්‍රීරෝද රථ පවා මීටර් ධාවනයෙන් ඉවත්ව තමන්ට හිතු මනාපේ ගණන්වලට දුවන්නට පටන් ගෙන තිබිණි. මෙය බොහෝ මගීන්ට ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා හා සමාන විය. මේ නිසා ඇතැම් මගීන් දැඩි සූරාකෑමකට ලක්වූ අවස්ථා ද තිබිණි.
කෙසේ වෙතත් මතුවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් බස් සංගම් පවසන්නේ තවදුරටත් ඉන්ධන ලබා නොදුනහොත් නිසි ක්‍රමවේදයකට තමන් බස් ධාවනයෙන් ඉවත්වන බවය. විශේෂයෙන් තෙල් ලබාගැනීම සඳහා පැය හතරක් පහකට එහා පෝලිමේ සිටීමෙන් කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් නැති නිසා එළඹෙන සතිය වනවිට තෙල් ලබානොදුනහොත් ධාවනයෙන් ඉවත්වන බව ඔවුන්ගේ තීරණය වී ඇත.
මේ අතර මාධ්‍යවල තවත් ප්‍රවෘත්තියක් පසුගිය සතියේ ප්‍රචාරය විය. ඒ මගීන් වැඩි දෙනෙක් ගමන් ගන්නා දුම්රිය සඳහා අවශ්‍ය ඉන්ධන සීමාසහිත බවය. එය ඉතාම බරපතළ තත්ත්වයකි. එහෙත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එවැනි තෙල් අර්බුදයක් තම දෙපාර්තමේන්තුවට නැති බවයි. ඒවා අසත්‍ය පුවත් බවද ඔවුහු සඳහන් කරති. එහෙත් මෙතරම් අර්බුදයක් ඇති බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විට දුම්රියට තෙල් ඇති බව කීම සැකයක් උපදවන්නකි. තෙල් ඇති තරමට ඇති බව ආණ්ඩුව මුල් කාලයේ කීවත් මෙලෙස තෙල් පෝලිම් හැදෙනු ඇතැයි කිසිවිටකත් සිතුවේ නැත. විශේෂයෙන් මෙවැනි අවදානමක් ඇති මොහොතක පම්පෝරි කතා ඇති තරම් අසා ඇත. එහෙත් අවසානයේ පෝලිම් අතර සියලු දෙනා අනාථ වීම දැන් පොදු කාරණයක් වී ඇත.
මේ ප්‍රශ්න මැද තවත් තෙල් නැවක් පසුගියදා වරායට ළඟා වුණේය. ආණ්ඩුවේ මතය වුණේ ජනතාව පොරකමින් තෙල් මිලදී ගැනීම නිසා මෙම හදිසි තත්ත්වය උද්ගත වී ඇති බවය. මේ නිසා අනවශ්‍ය ලෙස තෙල් නොගන්නා ලෙස ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එහෙත් ජනතාව ඒවා තඹයකට මායිම් කළේ නැත. ඊට හේතුව වූයේ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු රාශියක් මහ දවල් කඩා දැමීම නිසාය. හොඳම උදාහරණය වන්නේ විදුලිය කැපීමය. විදුලිය නොකපන බව දෙසැම්බරයේ සිට කීවේය. එහෙත් අවසානයේ අදවිට පැය හතහමාර දක්වා විදුලිය කප්පාදුව දීර්ඝ කර ඇත. ඒ ආණ්ඩුව විසින් ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක වූ ආකාරයට හොඳම උදාහරණයකි.
කෙසේ වෙතත් අවසානයේ ඔලුව අමාරුවට කොට්ටය මාරු කළා සේ ගම්මන්පිල අමාත්‍යවරයා සිය ආමාත්‍යංශයෙන් ඉවත් කරනු ලැබීය. ඒ වෙනුවට පැය හතහමාරක් විදුලිය කැපූ විදුලිබල ඇමැති බලශක්ති හෙවත් තෙල් ඇමැතිවරයා ලෙස පත් කර තිබේ. දැන් ප්රශ්නය විසඳෙනු ඇතැයි ආණ්ඩුවේ ඉහළ පුටු හිතන්නේ නම් එය විහිළුවකි.
මෙකී තෙල් අර්බුදයේ හොඳම රිදිල්ල තියෙන්නේ ජනතාවටය. පෝලිම්වල සිටින ජනතාව ආණ්ඩුව ආමන්ත්‍රණය කරන හැටි දැනගත්තොත් ආණ්ඩුවේ ලොකු අය පවා ගෙදර යනු ඇත. එහෙත් ඒ කිසිවක් ගණන් නොගෙන සිටින පාලකයන් තමන්ගේ පුරවැසියා අව්වේ වැස්සේ දුක් විඳිමින් සිටින බව දකින්නේ නැත. එහෙත් කිසිවකුට ගාණක් නැත.
තෙල් පෝලිමේ ජනතාව සිටින විට රටේ තෙල් අමාත්‍යවරයා හරිමග පෙන්වීමට වේදිකාවල උගුරු කැඩෙන්නට කෑගසයි. මිනිසුන්ද ඒ කතාවලට අප්පුඩි තලමින් හුරේ දමති. එහෙත් බලධාරීන් අද හෙට මේ ප්‍රශ්නවලට හරි විසඳුමක් හොයන පාටක් හෝ නැත. එතෙක් තෙල් කෑන් ගෙන පෝලිමේ සිටීම හැර වෙන දෙයක් කරන්නට නැත.
ගයාන් ගාල්ලගේ