2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් පසුගිය පෙබරවාරි 28 දින ශුද්ධෝත්තම ෆ්‍රුන්සිස් පාප්වහන්සේ හමුවිය. වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ දී පැවැති මෙම හමුවට පෙර උන්වහන්සේ වතිකාන රාජ්‍ය ලේකම් කාදිනල් පැරොලින් හිමිපාණන් ඇතුළු ප්‍රධාන පෙළේ කාදිනල්වරුන් කිහිප නමක් හමු විය. මෙහිදී සාකච්ඡා කර ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීමට තමන් ඇතුළු කතෝලික සභාව ගෙන යන අරගලය සම්බන්ධයෙනි. එදින පෙරවරු 11ට කාදිනල් හිමිපාණන් ශුද්ධෝත්තම ෆ්‍රුන්සිස් පාප්වහන්සේ හමු වූ අතර දෙදෙනා අතර බොහෝ වේලාවක් සාකච්ඡා පැවැති බවද වාර්තා වේ. එම හමුවට කාදිනල් හිමියන්ගේ පෞද්ගලික ලේකම් පියතුමා හා රෝමයේ වෙසෙන සිටින ශ්‍රී ලාංකික පියතුමන් කිහිප නමක්ද සහභාගී වී තිබේ.
අගරදගුරුතමන් හා පාප්වහන්සේගේ හමුව සම්බන්ධයෙන් කොළඹ සහයක රදගුරු ජේ.ඩී. ඇන්තනි හිමිපාණෝ අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කළහ.
වසර තුනක් ගත වෙලත් තාම පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙනත් නැහැ. මේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉටුකර ගන්නට කළ උත්සාහය ශ්‍රී ලංකාව තුළ අසාර්ථක වෙලා තිබෙනවා. අපි වසර තුනක් බලාගෙන හිටියා.පළමුවෙන් ජනාධිපති කොමිසමේ වාර්තාව බලාගෙන හිටියා. එය මීට වසරකට පෙර නිකුත් වුණා. පාස්කු ප්‍රහාරයට උපකාර කළ අය, එය වැළැක්වීමට පියවර නොගත් අය පිළිබඳ සියලු තොරතුරු එම වාර්තාවේ සඳහන්. ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි ඇයි? අපි බොහෝ දේ ඉල්ලන්නේ නැහැ අපි ඉල්ලන්නේ මෙම වාර්තාවේ සඳහන් කර ඇති දේ ඉටු කරන ලෙස පමණයි. කාදිනල් හිමිපාණන් වතිකානයට ගියේ මේ සම්බන්ධයෙන් පාප්වහන්සේ දැනුම්වත් කිරීමටයි. අපි කළ සියලු ක්‍රියා අසාර්ථක වෙලා. හරියට බිහිරි අලින්ට වීනා වාදනය කළා වගේ. බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන නිසා අපිට ඇති එකම විකල්පය ජාත්‍යන්තරයට යෑමයි. විශේෂයෙන්ම මේ වසරේදී කාදිනල් හිමියන් විශේෂ අවධානය යොමු කරන්නේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය තවමත් හෙළිදරව් කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙනුයි. එමෙන්ම ශ්‍රී ලංකා කතෝලික ජනතාව සත්‍ය හෙළිදරව් කර ගැනීමට නිරතව සිටින අරගලය පිළිබඳව හා මේ වසර තුළ එම සත්‍යය හෙළිදරව් කර ගැනීමට අප ගෙන ඇති පියවර සම්බන්ධයෙනුත් පාප්වහන්සේව දැනුම්වත් කරනවා. යනුවෙනි.
කාදිනල් හිමියන් හා පාප්වහන්සේ අතර හමුවට පෙර වතිකානයට එක්වූ කිතුනු බැතිමතුන් පිරිසක් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා විහේෂ යාච්ඥා වැඩ සටහනකට එක්ව සිටියහ. එය සංවිධානය කර තිබුණේ යුක්තිය සඳහා වන ගෝලීය සංසදය විසිනි. ඊට යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව සිටියහ.
පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගත් බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ජනාධිපති කොමිසම මගින් චෝදනා එල්ල කර තිබිණි. ඒ සම්බන්ධයෙන් කාදිනල් හිමියන්ද අවස්ථා ගණනදී විවිධ ප්‍රකාශ සිදුකරමින් රජයෙන් ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු සියල්ලන් නීතිය හමුවට ගෙන එන්නට පියවර ගන්නා ලෙසටය. වත්මන් රජය හා නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව තමන්ගේ කිසිදු විශ්වාසයක් නොමැති බවත් තමන් යුක්තිය ඉල්ලා ජාත්‍යන්තරයට යන බවත් උන්වහන්සේ ප්‍රකාශ කර තිබිණි. & තවමත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වී නැහැ. ජනාධිපති කොමිෂන් සභාවේ දුන්න සාක්ෂි මේ රජය සහ නීතිපතිවරයා විසින් සඟවා තිබෙනවා. ඒ වෙළුම් කිහිපය අපි ඉල්ලා ලිපි යවා තිබෙනවා. ඒ පිළිබඳව අපව දැනුම්වත් කරන්න කියා තිබෙනවා. ඒත් ඒ කිසිදු ඉල්ලීමක් සලකන්නේ නැතිව එම සාක්ෂි සඟවා තැබීමට පෙර සිටි රජයත් වර්තමාන රජයත් කටයුතු කර තිබෙනවා. නීතිපතිවරයාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා අපට යුක්තිය ඉටු නොවන තත්ත්වයට පත්ව තිබෙනවා. මේ රජය අපට දුන් පොරොන්දු කිසිවක් ඉටුකර නොමැති බව පැහැදිලිවම කිව යුතුයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලිවම දැන සිටි එහෙත් එය වළක්වන්නට කිසිවක් නොකළ රාජ්‍ය නායකයන් සහ බුද්ධි අංශවල උසස් නිලධාරීන් හා උසස් පොලිස් නිලධාරින් ආරක්ෂා කොට ඔවුන්ට උසස්වීම් ලබා දී මේ රජය නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙළ සම්පූර්ණයෙන්ම විහිළුවක් බවට පත් කර තිබෙනවා. අනාගතයේ මේ රටේ බිහිවන කිසියම් රජයකින් හෝ එය සිදුවෙනකම් අපි බලාගෙන සිටිනවා. දැන් තිබෙන රජය පිළිබඳව හෝ දැන් තිබෙන නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව හෝ කිසිදු විශ්වාසයක් අපතුළ නැහැ. අපට රට තුළ විසඳුමක් සොයාගත නොහැකි නම්, අපි ජාත්‍යන්තර සංවිධාන කරා යාමට පියවර ගන්නවා. අපි ජාත්‍යන්තරයට ගියොත් එහි වගකීම රජය විසින්ම භාරගත යුතුයි, අපි ජාත්‍යන්තරයට යන්නේ රජය මේ ගැන අංශු මාත්‍රයක හෝ අවධානය යොමු නොකිරීම නිසයි. යනුවෙන් උන්වහන්සේ සඳහන් කළහ. උන්වහන්සේගේ වතිකානු ගමන සිදුකෙරුණේ මෙවැනි වාතාවරණයක් යටතේය.
ප්‍රහාරයන්ට වගකිව යුතු පුද්ගලයන් හෙළිදරව් කිරීමටත් ඔවුන් නීතිය ඉදිරියට ගෙන ඒමටත් විමර්ශන ආයතන උදාසීන තත්ත්වයක් පෙන්නුම් කරන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශුද්ධෝත්තම ෆ්‍රුන්සිස් පාප් වහන්සේට දන්වා ඇතැයිද වාර්තා වේ.
මේ අතර පොළොන්නරුව නව නගරයේ පිහිටි නිර්මල දේව මාතා නව කතෝලික දෙව්මැඳුර විවෘත කිරීමේ උත්සවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී විය. පාස්කු ප්‍රහාරයට අදාල පෙර දැනුම්වත් කිරීමේ බුද්ධි තොරතුරු කිසිවක් තමන් දැන නොසිටි බවත් ඒ සම්බන්ධයෙන් කුරුසියේ අතගසා තමන්ට දිවුරිය හැකි බවත් ඔහු එම අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේය.
මම පාස්කු ප්‍රහාරය පිළිබඳව සියල්ල දැන දැනත් පිට රට ගියා කියලා වැරදි ප්‍රචාරයක් ගෙන යනවා. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ මාව දැනුම්වත් කළා නම් මා රටින් පිට වෙන්නේ නැහැ. මම රට ගියේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටයි. දින දෙකක් මම සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ සිටියේ. මාධ්‍ය සහ තවත් අය මට චෝදනා කරනවා එම රෝහලට දුරකතන ඇමතුම් දීලා මාව දැනුම්වත් කළා කියලා. එම රෝහලේ සිටින රෝගියකු ළඟට දුරකතන ගෙන යාම තහනම්. මේ පිළිබඳව මම පත් කරපු ජනාධිපති කොමිසමට මම ප්‍රකාශයක් ලබා දුන්නා. බෞද්ධයෙක් විදිහට බුදුන්ගේ දෙපා නමැද කියන්න පුළුවන් සත්‍යවශයෙන්ම මේ තොරතුරු මා නොදැන සිටි බව. එමෙන්ම මේ උතුම් දේවස්ථානයේ කුරුසියක අතගසා මට කියන්න පුළුවන් කිසිදු තොරතුරක් මට ලැබුණේ නැති බව. එවැන්නක් මා දැන සිටියානම් මම කවදාවත් ඒ සඳහා ගතයුතු පියවර නොගෙන ඉන්නේ නැහැ. යනුවෙන් ප්‍රකාශ කළේය.
ඔහුගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළේ ඔහුට කුරුසියේ අත තබා දිව්රීමට අවශ්‍ය නොවන බවත් ඔහු කළ යුත්තේ නීතිය ඉදිරියට පැමිණ තම නිර්දෝෂිභාවය සනාථ කිරීම බවත් සඳහන් කළේය. &ඔහු කියල තියෙනව වෙලාව ආවම මට කියන්න තියෙන සියලු දේ මම කියනවා* යනුවෙන්. මොකක්ද ඒ වෙලාව, තව අවුරුදු ගණනකින් පසුවද? නැතිනම් මැතිවරණයක් ළං වුණාමද ඒක කරන්නේ? යනුවෙන් එතුමා ප්‍රශ්න කළෝය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි නිත්‍ය සැසිවාරය පෙබරවාරි 28 දින ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදි ආරම්භ විය. අප්‍රේල් 1 දා දක්වා පැවැත්වෙන එම සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේගේ වාර්තාවෙන් ශ්‍රී ලංකාවට බරපතළ චෝදනා එල්ල කර තිබේ. මෙරට හමුදා නිලධාරීන් 26 දෙනකුට යුද අපරාධ චෝදනා ගොනු කර ඇති අතර ඔවුන්ට දඬුවම් කිරීමට සාක්ෂි එක්රුස් කර ඇතැයි වාර්තා වේ. එම වාර්තාව පසුගිය 3 දා සභාගත කෙරිණි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විවාදයද එදිනම පැවැත්විණි.. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරු එම සැසියට සහභාගී වූහ.
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මගින් ඉදිරිපත් කර ඇති වාර්තාවේ 2019 පාස්කු ඉරිදා සමූලඝාතන පිළිබඳවද සඳහන්ය. එය “නිසි විමර්ශනයක ප්‍රගතියක් නොමැති බැවින් සාධාරණයක් ඉටු කරන ලෙසට* කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ විසින් කරන ලද අරගලයේ ප්‍රතිඵලයකි. පාප් වහන්සේ බැහැදැකීමෙන් පසු ජිනීවා බලා ගිය උන්වහන්සේ පසුගිය මාර්තු 2දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේ හමුවී තිබේ. ස්විට්සර්ලන්තයේ ජනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාල මූලස්ථානයේදී පැවැති මෙම හමුවේදී වසර තුනක් ගතවුවද පාස්කු වින්දියන් වෙනුවෙන් සාධාරණයක් ඉටු වී නොමැති බවත්, ජීවිත 269ක් බිලිගත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජය උදාසීන බවකින් කටයුතු කරන බවත් අගරදගුරු හිමියන් පවසා තිබේ. මෙම හමුව පැයකට අධික කාලයක් පැවැති අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිවේදනයක් නිකුත් කිරීමට තමන් කටයුතු කරන බව මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රකාශ කර තිබේ.
මේ අතර බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරීක්ෂාව සඳහා පෙබරවාරි මස අග සතියේ පාර්ලිමේන්තු පුස්තකාලයට ලබා දීමට පියවර ගෙන තිබේ. එම වාර්තාව වෙළුම් 88 කින් සහ පිටු 70,000 කට ආසන්න ප්‍රමාණයකින් යුක්තය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා