2022 මාර්තු 13 වන ඉරිදා

ප්‍රේමයට එරෙහි වී යැයි දියණියක් මවගේ හිසට මිටියකින් ගසයි! දරුවන් මෙහෙම වෙන්නේ ඇයි?

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 81

පසුගිය දවසක ඇසුණු ප්‍රවෘත්තියකින් කියවුණේ තමන්ගේ ප්‍රේම සම්බන්ධයට එරෙහිවීම නිසා දියණියක තමන්ගේ මවගේ හිසට මිටියකින් පහරදීමේ සංසිද්ධියකි. එම පුවත වාර්තා වුණේ බේරුවල ප්‍රදේශයෙනි. ප්‍රේම සබඳතාව නතර කරන්න යැයි මව අවවාද කිරීම හේතුවෙන් සිත් තැවුලට පත්වීමෙන් ඇය මෙලෙස පහර දී තිබිණි. ඇය අවුරුදු 17ක තරුණියකි. 

මෙවන් සිද්ධියක් ඇතිවුණේ ඇයි? පසුබිමේ ඇත්තේ මේ කාරණාවලින් කිහිපයකි. දෙමාපියන් කුඩා කල සිට දරුවන්ට ලබාදෙන ශික්ෂණය, දෙමාපිය දූදරු අන්තර් ක්‍රියාකාරීත්වය, දෙමාපියන් දරුවන් ඉදිරියේ හැසිරෙන ආකාරය, වර්තමානයේ විකාශනය වන ඇතැම් ටෙලිනාට්‍යවලින් ලබාදෙන වැරදි පූර්වාදර්ශ සහ සමාජ අනුකරණය වැනි කාරණා මේ විෂයෙහි බලපායි.

දෙමාපියන් විසින් තම දරුවන් කුඩා කල සිට ආගමට දහමට යොමු කරමින් මනා ශික්ෂණයකින් යුක්ත පසුබිමක් තුළ ඇතිදැඩි කරන්නේ නම් මෙවන් සිදුවීම් දරුවන් වෙතින් දැකිය හැකි පසුබිමක් නිර්මාණය නොවනු ඇත. 

දෙමාපියන් දරුවන් සමඟ දක්වන අන්තර් ක්‍රියාකාරීත්වය දරුවකුගේ පෞරුෂ සංවර්ධනයට බලපාන බව කාල් රොජර්ස් නම් මනෝවිද්‍යාඥයා පෙන්වා දී තිබේ. අන්තර් ක්‍රියාකාරීත්වය යහපත් වනවිට දරුවන් තුළින් මෙවැනි දේවල් සිදු නොවේ. දෙමාපියන් දරුවන් අතර ආදරය, බැඳීම දුරස්වන විට මෙවැනි දේවල් සිදුවිය හැක.

දෙමාපියන් දරුවන් ඉදිරියේ හැසිරෙන ආකාරයද මෙවන් සිදුවීම් ඇතිවීම සඳහා බලපෑ හැක. ඇතැම් නිවෙස්හි දෙමාපියන් නිරන්තරයෙන් දරුවන් ඉදිරිපස මතගැටුම් ඇතිකර ගන්නා ආකාරයත්, පහරදීම්, අසභ්‍ය වචන පැවසීම් ආදියත් දකින්නට පුළුවන. එවන් අවස්ථාවල දරුවෝද මානසික පීඩනයට පත්වෙති. එසේම දරුවන් තුළ දෙමාපියන් කෙරේ ඇති ගරුත්වය මෙවැනි පසුබිමකදී නැතිව යාමටද පුළුවන. 

වර්තමානයේ විකාශනය වන ඇතැම් ටෙලිනාට්‍ය ප්‍රේම ජවනිකා කැටි කරගත් ඒවාය. මුල් වැඩිහිටි වියේ නළු නිළි පිරිස් පාසල් ඇඳුම් ඇඳගෙන ප්‍රේම ජවනිකා ඉදිරිපත් කරති. කුතුහලය සහිත නව යොවුන් වියේ දරුවෝ මෙවැනි දෑ නැරඹීමෙන් අනුකරණය කරන්නට පටන් ගනිති. මනස විකෘති කරගනිති. සිහින ලෝක මවා ගනිති. ඒ බලාපොරොත්තු කඩවන විට ආතතියට පත්වෙති. ආක්‍රමණශීලී වෙති. මවට, පියාට අසභ්‍ය වචන කියමින් බැණ වදින්නට, පහර දෙන්නට යොමුවෙති. 

මේ සිද්ධියෙදී දරුවා කළ වරද අනුව ඇය අත්අඩංගුවට ගනු ලැබිණි. නමුත් මෙයට වගකිව යුතු පාර්ශ්ව බොහෝ ඇති බවද පිළිගත යුතු කරුණකි. වර්තමානයේ පවතින්නේ මානසික අසහනය වැඩි කරන අධ්‍යාපන ක්‍රමයකි. දහම් පාසල් මාර්ගගතව හෝ නොකෙරෙන තරම්ය. ළමයකුගේ ආකල්ප වෙනස්වීමට බලපාන ප්‍රධාන කරුණක් වශයෙන් පෙන්වා දිය හැක. දහම් අධ්‍යාපනයෙන්, ශික්ෂණයෙන් තොරවීමෙන් ශික්ෂණයක් නොමැති තැන මෙවැනි දේවල් සිදුවීමට පුළුවන. සමාජ සංස්කෘතික පසුබිම මෙන්ම පවුල් පසුබිමද මෙවැනි සිදුවීම්වලට බලපායි. 

දරුවකු ජීවත්වන පරිසරයේ ස්වභාවය සහ ඇසුරු කරන අයගෙන් ලැබෙන වැරදි පූර්වාදර්ශ මෙවැනි සිදුවීම්වලට බලපෑ හැක. සමාජ අනුකරණය ඔස්සේ දරුවා ආක්‍රමණශීලීත්වය ඉගෙනගන්නා බව ඇල්බට් බන්ඩුරා නම් සමාජ ඉගෙනුම්වාදී මනෝවිද්‍යාඥයා පෙන්වා දී තිබේ. දෙමව්පියන්ගේ අධ්‍යාපන තත්ත්වයද මෙවැනි සිද්ධීන් සඳහා බලපෑ හැකිය. දරුවකු ප්‍රේම සබඳතාවක් ඇතිකරගත් අවස්ථාවක ඊට විරෝධතා දක්වන ආකාරය අනුව දරුවකු කිපෙන්නට පුළුවන. එවන් අවස්ථාවකදී දෙමාපියන් බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. ඇතැම් අවස්ථාවල දරුවන් තමාටම හානිකර ගන්නා අවස්ථාද පවතී. ඇතැම්විට එය බලාපොරොත්තු සුන්වීමේ ආවේගයන් පිටව යන්නේ සියදිවි නසාගැනීමෙන් විය හැක. 

“දරුවන්ට ආදරය කරන්න. එහෙත් ඔබගේ ආකල්ප, සිහින සහ බලාපොරොත්තු ඔවුන්ට නොදෙන්න. මක් නිසාද යත් ඔවුන්ට ඔවුන්ගේම සිහින, බලාපොරොත්තු සහ ආකල්ප ඇති හෙයිනි.” 
ඛලීල් ජිබ්රාන් නම් ලේඛකයා වරෙක එලෙස ලියා තිබිණි. 

දරුවන් යනු හුදෙක් මව්පියන්ගේ සිහින, බලාපොරොත්තු සහ ආකල්පවල සිරකරුවන් නොවිය යුතු බව ඇත්තය. එහෙත් තමන්ගේ ලෙයින්, කිරෙන් හදන දරුවන් සමාජයට සුබවාදී තිළිණයක් ලෙස පිරිනමන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දාරක ස්නේහය හඳුනන මව්පියන්ගේ ප්‍රාර්ථනාවක්ද තිබේ. 

සමහරවිට ආකල්පමය හෝ සමාජීය හේතු, නැතිනම් ආධ්‍යාත්මික දුර්වලකම් නිසා මව්පියන්ගෙන් දරුවකු විෂයෙහි විය යුතු යුතුකම් මඟහැරී යා හැක. දරුවකු විසින් මව්පියන් වෙතින් බලාපොරොත්තු වෙන ආදරය, සැලකිල්ල, රැකවරණය, ආරක්ෂාව නොලැබී යාමට පුළුවන. දරුවන් හුදෙකලා වීමට පුළුවන.

එහෙත් ඒ සියල්ල මධ්‍යයේ වුවත් තමන්ට මේ ජීවිතය ලැබුණේ අම්මා තාත්තා නිසා යැයි සිතන මානසිකත්වයට පැමිණ, දරුවකුට වරදක් දකින තැනකදී වුණත් එය ඉවසන්න හැකිනම්, සමාව පිරිනමන්න හැකිනම් එය උත්තරීතර ගුණාංගයකි.  
දරුවන් මෙහෙම කරන්නේ ඇයිද යන කම්පනයක් මෙවැනි සිදුවීම් අසද්දී අපට දැනෙයි.

අද දෙමාපියන් දරුවන් අතර මෙන්ම බොහෝ සමාජ සංස්ථා අතර සබඳතා පවතින්නේ හුදෙක් ගනුදෙනුවක් ලෙස පමණි. ආත්මීය වශයෙන් හදවතේ ලේ නහර විනිවිද දැනෙන ගැඹුරු බැඳීම් ඉතා අල්පය. අද අප ජීවත් වෙන්නේ පාරිභෝගිකවාදී අති ධාවනකාරී තාක්ෂණිකවාදී ලෝකයකය. ඒ ලෝකය අභ්‍යන්තරයේ වටිනාකම් හිමි වී තිබෙන්නේ මානවවාදී ආධ්‍යාත්මික වටිනාකම්වලට නොව, වාණිජවාදී භෞතික වටිනාකම්වලටය. පුද්ගල සබඳතා ඒ සමාජයේ බහුතරයක් සලකන්නේ තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමේ සජීවී සාධකයක් ලෙස පමණි.

න්‍යෂ්ටික පවුල් පසුබිම තුළ අද බොහෝ දරුවන් හැදෙන්නේ තාක්ෂණික වටපිටාවකය. සැබැවින්ම බොහෝ දරුවන් මානසිකව හුදෙකලා වී සිටිති. ඔවුන් ලෝකයම දකින්නේ අන්තර්ජාලයෙනි. සාහිත්‍ය, කවි, කතන්දර, කෙළි සෙල්ලම්, ආදරය සහ සොබාදහම සමඟ ගෙවෙන ළමා වියක් බහුතර දරුවන්ට නොමැත. 

එසේම අම්මා තාත්තා යන භූමිකාවන්හි වටිනාකම ඒත්තු ගන්වන පරිසරයක් නිවස තුළ නොමැත. දරුවා සමාජානුයෝජනයට ලක්වෙන බොහෝ පසුබිම් තුළ ඇත්තේද මෙවැනි කෘත්‍රිම වේගවත් යාන්ත්‍රණයකි, පසුබිමකි. එලෙස හැදෙන දරුවන්ගෙන් ආදරය, වටිනාකම කෘතවේදීත්වය හඳුනන සොඳුරු ආධ්‍යාත්මික වටිනාකම් අප බලාපොරොත්තු වනුයේ කෙසේද? 

මෙවැනි සිදුවීම් නිර්මාණය වීම පසුපස මෙවැනි බොහෝ ඛේදනීය හේතු ඇත. 

සැබැවින්ම වෙදකමෙහි දක්ෂ වෙදැදුරාණන් රෝග සුවපත් කරන්නට පෙරාතුව රෝග නිධානය සොයා ඊට පිළියම් කරන්නා සේ මෙවැනි ඛේදවාචක නිර්මාණය වීමේ පසුබිම අපි අවබෝධ කර ගත යුතුය. 

ආදරය, වටිනාකම, ගෞරවය, ඉවසීම රැඳුණු පුද්ගල බැඳීම් කෘත්‍රිමව නිර්මාණය කළ නොහැක. එවැනි බැඳීම් නිර්මාණය වෙන පසුබිම් අප නිර්මාණය කළ යුතුය. ඒ වෙනුවෙන් ඔබේ දෙවුර රැඳි වගකීම ඔබ පළමුව තේරුම් ගත යුතුය.