මේ වනවිට දිවයින පුරා පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහන සේවයේ යෙදෙනා රථ හිමියෝ විශාල ගැටලුවකට මුහුණ දී සිටිති. සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ඉල්ලන්නේ පාසල් ළමුන් ප්‍රවාහන රථ සඳහා ඩීසල් ලබා ගැනීමට ඉන්ධන පෝලිම්වලින් ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසටය. අදාළ නිලධාරීන් වෙත මේ ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණද තවමත් එවැනි සහනයක් නොමැති බව සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
''රට තුළ පැවැති මෙම අර්බුදකාරී තත්ත්වයත් එක්ක මාර්තු මස 05 වැනිදා වනවිට රටේ ජනාධිපතිතුමන් විසින් මෙම ඩීසල් ප්‍රශ්නය විසඳාවි යැයි අපි විශ්වාස කළා. මාධ්‍ය මඟින් රටේ ජනතාවට දැනුවත් කළේ එහෙමයි. නමුත් අදටත් ඩීසල්වලට පෝලිම තියෙනවා. පාසල් ඇරඹුණත් අපි විශාල ගැටලුවකට මේ වෙද්දී මුහුණ දීලයි තිබෙන්නේ. බණ්ඩාරගම සිට කොළඹ දක්වා පාසල් බස් රථයක් ධාවනය කරනවා. පසුගියදා මම බණ්ඩාරගම සිට කොළඹට දරුවන් රැගෙන ආවත් මට ආපසු හවසට යන්න ඩීසල් තිබුණේ නැහැ. ඒ නිසා දරුවන් පාසලට ඇරලවා මම මරදානේ ඩීසල් පෝලිමකට පස් වැනියාට උදේට කෑමත් නොගෙනම එකතුවුණා. ඩීසල් තිබුණත් කළමනාකාරතුමා එනතුරු පෝලිමේ කාටවත් ඩීසල් දුන්නේ නැහැ. හයයි හතළිස් පහේ ඉඳන් නවයහමාර දක්වා අපි ඩීසල් පෝලිමේ හිටියා. ඩීසල් දෙන්න පටන් ගත්තු ගමන් ආයතනයක ලොරි රථ කිහිපයක්ම පැත්තකින් ආ නිසා මුලින්ම එම වාහනවලට තමයි ඩීසල් ගැහුවේ. පෝලිමේ හිටපු අපට හරි අසාධාරණයක් වුණේ. ඒ ගැන කතාකරපු අපිට උපරිමයෙන් ගැහුවේ රුපියල් හාරදාහකට විතරයි.''
සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා දේශයට එසේ පැවසීය.
මෙවැනි අසාධාරණ සිදුවීම් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වෙතින් සිදුවන බව එම සංගමය චෝදනා කරයි. කොළඹ පාසල්වලට පිට ප්‍රදේශවලින් පැමිණෙන පාසල් වෑන් රථ රියැදුරෝ දරුවන් නිවෙස්වල ඇරලවා ඒ ඒ ප්‍රදේශවල ඩීසල් පෝලිම්වලට එකතු වෙති. මේ බොහෝ පාසල් වෑන් රථ පැය ගණනක් පෝලිම්වල සිට රථයට ඉන්ධන ලබා තම නිවෙස්වලට යන්නේ රාත්‍රී කාලයේදීය. ඇතැමුන් පසුගියදා රැය පහන් කර ඇත්තේද මෙවැනි ඉන්ධන පොලිම්වල සිටය. නිදිමරමින් පෝලිම්වල සිට ඉන්ධන පුරවාගෙන නැවතත් ඔවුන් කොළඹ පාසල්වලට එන්නේ දෙමව්පියන්ගේ වටිනාම සම්පත් රැගෙනය. දරුවන්ගේ ජීවිත ගණනාවක් ගෙන එන මෙවැනි රියැදුරන්ට සහනයක් මේ වනතුරු නොලැබුණ බවට ඔවුහු චෝදනා කරති.
''ප්‍රයිවට් බස්වලට ඩිපෝවලින් ඉන්ධන ලබාදෙනවා කියල කිව්වත් ඒ සහනය අපේ රථවලට ලැබෙන්නේ නැහැ. නමුත් නුවරඑළියෙ දිසාපතිතුමන් අපේ නුවරඑළිය දිස්ත්‍රික්ක සංවිධායකතුමන්ට කතාකොට ලිඛිතව ලිපි දෙකත් ඉන්ධන පිරවුම්හල් වෙත ලබාදී තිබෙනවා. ඒ අනුව ඉන්ධන පිරවුම්හල් වෙතින් පාසල් ප්‍රවාහන රථවලට ප්‍රමුඛත්වය ලබාදී තිබෙනවා. මේ නිසා ඒ ප්‍රදේශවල ධාවනය වන පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස්රථවලට විශාල නිදහසක් ලැබිලා තිබෙනවා. අද වනතුරු වෙනත් ප්‍රදේශවලින් එවැනි පහසුකමක් අපිට ලැබිලා නැහැ. මෙයින් අපි විඳින්නේ ලොකු දුකක්.'' යැයිද ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා කියයි.
නිවාඩුව අවසන් වී නැවතත් පාසල් පටන්ගෙන ඇත්තේ කොටස් වශයෙනි. මේ හේතුවෙන්ද දිනකට එක් පාසල් ප්‍රවාහන බස් රථවලට දරුවන් පැමිණෙන්නේ ඉතා අඩු සංඛ්‍යාවකි. පසුගිය කාලයේදී පාසල් බස් රථ හිමියන්ට සහන ණය වාරිකයක් සහ බැංකුවලට සහ ලීසිං සමාගම්වලට හිමිවුණි. 2021 පෙබරවාරි 10 වැනිදා කරන ලද උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙසින් එවකට හිටපු මුදල් ඇමැති මුණගැසී සාකච්ඡාවක් කිරීමට සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයට අවස්ථාවක් ලැබුණි. එහිදී වසර පහකට ගෙවා අවසන් කිරීමට පොරොන්දු වී ගනු ලැබූ ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා වාරික වසර පහකට පසුව ගෙවා දැමීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. ඔවුන් නැවත වාරික වශයෙන් ඉදිරියට ගෙවීමට සහනයක් ඉල්ලා සිටියහ. එයට අනුමැතිය ඒ අවස්ථාවේදී හිමිවුවද මේ වනවිට වසරක් ගෙව්වද තවමත් ඒ සඳහා ලැබුණ සහනයක් නැත.
ලීසිං පහසුකම් ලබාදීමේදී එම ලියකියවිලි ඉංග්‍රීසියෙන් සඳහන්ව පවතී. බොහෝවිට මේවාට අත්සන් තැබූවද ඒවා පිළිබඳ වැටහීමක් ඇතැමුන්ට නැත. මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පාසල් ප්‍රවාහන සංගමය එම අවස්ථාවේදී කරුණු කියා තිබිණි. ඒ අනුව භාෂා තුනෙන්ම මෙම ලිපිගොනු ලබාදෙන ලෙස අදාළ අංශවලට උපදෙස් දී තිබිණි. අවුරුද්දක් පසුවුවද වෘත්තීය සංගම්වලට ඇති ගැටලු සම්බන්ධයෙන් තවමත් නිසි විසඳුම් ලබා නොමැති බවටද කිසිවක් සිදු නොවන බවටද ඔවුහු චෝදනා කරති.
ලංකාව පුරා පාසල් බස් රථ හතළිස් අට දහසක් ධාවනය වුවද මේ වනවිට එයින් අටදහසක් පමණ සම්පූර්ණයෙන්ම ඉවත්ව ඇත. මේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉදිරියේදී තවත් බොහෝ රථවාහන සංඛ්‍යාවක් ධාවනයෙන් ඉවත් වන බව සංගමයේ ලේකම් වැඩිදුරටත් කීය. වැඩිවන ඉන්ධන මිල අනුව ඉදිරියේදී දෙමව්පියන්ට මෙම සේවාව සඳහා ගාස්තු ගෙවා දැමීමට බැරි තත්ත්වයක් උදාවීමටද ඉඩ තිබේ.
''ගෑස් ටික, කිරිපිටි, කන්න තියෙන එළවළුවල වගේම සියල්ලේම මිල වැඩිවෙද්දී අපේ වියදම වැඩිවෙද්දී අපිටත් කරන්න දෙයක් නැහැ. එහෙම වුණොත් අපේ සේවයේත් මිල යම් විදිහකින් වැඩිකරන්න ඕනේ. අපි වගේම බොහෝ ගැටලු රාශියකට මේ දෙමව්පියන්ද මුහුණ දී ඇති බව අපි දන්නවා. මේ නිසා අපිට හැම මාසයකම මුල් සතියේ ප්‍රවාහන ගාස්තු ලබාදෙන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියා. නිවාඩු මාසයටත් සම්පූර්ණ මුදල අපිට ගන්න සිදුවෙනව කියල දැනුවත් කරලයි අපි ගත්තේ. සමහරු අපි ගන්නා මුදල වැඩියි කියනවා. නමුත් අපි ගන්නා මුදල දවස් විසි දෙකෙන් බෙදලා බලන්න. ඒ මුදලින් මාසයකට දරුවන්ව පාසලට අරගෙන යන්න පුළුවන්ද කිලත් හොයල බලන්න.'' යැයි ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කරයි.
ඔවුන් පවසන්නේ මෙය වැඩි ලාභ ලබන රුකියාවක් නොවන බවය. ඩීසල් ගසා වාහනයක ඇති අඩුපාඩුවක් සාදා ණය වාරික ගෙවා දැමීමෙන් පසුව ඉතිරිවන ලොකු ආදායමක් නැත. තවමත් ඇතැම් දෙමව්පියන් පෙබරවාරි මස ප්‍රවාහන ගාස්තු ලබාදී නැත.
අඩුම තරමේ මේ පවතින අර්බුදකාරී ඉන්ධන තත්ත්වය හමුවේවත් පාසල් ළමුන් රථවලට යම් ප්‍රමුඛත්වයක් ලබාදීමට කටයුතු කරන්නේ නම් එය ඉතා වටින්නේය.
දිශානි ජයමාලි කරුණාරත්න