2022 මාර්තු 13 වන ඉරිදා

රටම දණ ගස්සන ඉන්ධන අර්බුදය

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 112

ඉන්ධන හිඟය මේ වනවිට රටේ දරුණුම අර්බුදයක් නිර්මාණය කර තිබේ. පෙට්‍රල් යම් පමණකින් පැවතියද ඩීසල් දැඩි හිඟයක් පැවතීම හේතුවෙන් විදුලි බලාගාර අකර්මණ්‍ය වී තිබේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ රටපුරා පැය හතහමාරක විදුලිය කප්පාදුවක් නිර්මාණය වීමය. පසුගිය 5 සිට කැපීමකින් තොරව විදුලිය ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා විදුලිබල මණ්ඩලයට කියා තිබුණද එවැන්නක් සිදුවූයේ නැත. පසුගිය සෙනසුරාදා සහ ඉරිදා විදුලිය ලබාදුන්නද යළි සඳුදා සිට විදුලිය කපන්නට මහජන උපයෝගිතා කොමිසම අවසර දුන්නේය. 

ඩීසල් නොමැතිකමින් ප්‍රවාහන සේවා අඩාල වී තිබේ පෞද්ගලික බස්රථ ධාවනය වන්නේ සියයට 25ක පමණ ප්‍රමාණයකි. දුරබැහැර ගමන් ගිය ඇතැම් අයට යළි නිවෙස්වලට එන්නට  ඩීසල් නැත. බස් රථ රියැදුරෝ, ලොරි රියැදුරෝ සහ වෑන් රියැදුරෝ දින දෙක තුනේ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල සිටින්නේ ඩීසල් අද එයි, හෙට එයි යන අපේක්ෂාවෙනි. ඉන්ධන පිරවුම්හල් අසල සැතපුම් ගණන් දිග පෝලිම් මේ වනවිට සාමාන්‍ය දසුනක් බවට පත්ව තිබේ. ඇතැම් ප්‍රදේශවල පිරවුම්හල් අසල බූලි සිය ගණනක පෝලිම්ද දැකිය හැකිය. ඒ පොහොර නොමැතිව අසීරුවෙන් වගා කරගත් ගොයම් ටික කපා ගන්නට අවශ්‍ය ඩීසල් ලබා ගැනීමටය. ඇතැම් පිරවුම්හල්වල බූලිවලට ඉන්ධන ලබාදීම නවතා දමා තිබේ.

අපොස උසස් පෙළ විභාගය නිසා නිවාඩු ලබා දුන් රජයේ  පාසල් යළි පසුගිය 7 වැනිදා ආරම්භ විය. එහෙත් පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන්රථවලට ළමුන් ප්‍රවාහනයට ඩීසල් නොමැත. කාර්යාල සේවකයන් සහ සංචාරකයන් ගෙන යන වාහනවලට ද පෝලිම්වල ලැගීමට සිදු වී තිබේ. පාසල් වෑන් රථ රියදුරන් පවසන්නේ උදෑසන දරුවන් ප්‍රවාහනය සඳහා පැමිණෙන්නේදැයි විමසමින් සෑම මව්පියකුගෙන්ම තමන්ට දුරකථන ඇමතුම් ලැබෙන බවයි. ඔවුන්ට සිදුව ඇත්තේ උදයට දරුවන් පාසලට ඇරලවා කෙලින්ම තෙල් පෝලිමට යාමට බවද ඔවුහු පවසති.

ඇතැම් සංචාරකයන් තම සංචාර අතරමග නවතා දිවයිනෙන් පිටව යමින් සිටින බව සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය ප්‍රකාශ කරයි. සංචාරක කර්මාන්තයෙන් පසුගිය පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 200ක් මෙරටට ගෙන ආ බවත් කිසිදු ඉන්ධන පිරවුම්හලක සංචාරක ක්ෂේත්‍රයට අදාළ වාහන සඳහා ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදයක් සකසා නොතිබූ බවත්, එම සංගමයේ උප ලේකම් සංජය මහවත්ත ප්‍රකාශ කළේය. එක් ඉන්ධන නෞකාවක් සඳහා වැයවන්නේ ඩොලර් මිලියන 27ක් බවත් ඒ අනුව සංචාරකයන්ගෙන් පසුගිය මාසයේ පමණක් ඉපැයූ මුදලින් ඉන්ධන නෞකා පහක්වත් ගෙන ඒමට හැකියාව තිබූ බවත් සංචාරක ක්ෂේත්‍රයට අදාළ අවම පහසුකම් හෝ ලබා දීමට රජය පියවර ගත යුතු බවත් සංජය මහවත්ත ප්‍රකාශ කළේය.

පසුගිය සතියේ රජයේ සේවකයන් ලක්ෂ එකහමාරක පමණ පිරිසක් රැකියාවට වාර්තා කර නොතිබුණේ ඉන්ධන නොමැතිකමින් පොදු ප්‍රවාහන සේවා අඩාල වීම හේතුවෙනි. පෞද්ගලික අංශටද එය බලපෑවේය. ජනතාව කියන්නේ ''අපි ඡන්දෙ දුන්නේ පෝලිමේ ගිහින්. දැන් තෙල් ගන්නත් පෝලිමේ යනවා කියාය.'' ඉන්ධන හා විදුලිය නොමැති කමින් රටේ බොහෝ දෙනකුගේ රැකියාවලට මරු පහරක් වැදී තිබේ. ව්‍යාපාර වැසී ගොසිනි. ඉන්ධන හා විදුලිය ඉල්ලා ජනතාව මෙන්ම විරුද්ධ පක්ෂද පාරට බසිමින් සිටිති. මේ සියල්ලටම මුල දුර්වල ආර්ථික ප්‍රතිපත්ති සහ විදේශ සංචිත හිඟකමය.

ශ්‍රී ලංකාව මෙවන් වාතාවරණයකට මුහුණ දී සිටිද්දී රුසියානු යුක්රේන යුද්ධය ඇවිල තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල පසුගිය සතියේ ඩොලර් 105ක් දක්වා ඉහළ ගිය අතර පසුගිය සඳුදා වනවිට ඇමෙරිකානු ඩොලර් 130ක් දක්වා වාර්තාගත ලෙස මිල ඉහළ ගියේය. පසුගිය දෙසැම්බර් අග වනවිට ඩොලර් 71ක්ව පැවැති බොරතෙල් බැරලය ජනවාරි මැද වනවිට ඩොලර් 90ක් දක්වා ඉහළ ගියේය. පෙබරවාරි මැද වනවිට ඩොලර් 110ක් ලෙස වාර්තා වූ එය මාර්තු 6 වැනිදා වනවිට ඩොලර් 130 සීමාවට පැමිණ තිබේ. මෙය වසර 13කට පසු දක්නට ලැබුණු උච්චතම මිල වේ. ඒ අනුව මාස දෙකහමාරක් තුළ 83෴ක මිල වැඩි වීමකි. මෙලෙස මිල ඉහළ යෑමට හේතු වී ඇත්තේ ඇමෙරිකාව හා යුරෝපා රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට ගත් තීරණයත් සමඟ යැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

ඉන්ධන මිල ඉහළ යෑමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැට්‍රල් ලීටරකින් රුපියල් 19ක්ද, ඩීසල් ලීටරයකින් රුපියල් 52ක් ද පාඩු ලබන බව එම සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි. ඛනිජ තෙල් සංස්ථාව දැනට ලබන අලාබය පියවා ගැනීම සඳහා පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හිටපු බලශක්ති අමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණි. ඛනිජ තෙල් සංස්ථාව ලබන අලාබය අවම කර ගැනීමටත් මිල වැඩිකොට ජනතාව අපහසුතාවට පත් නොකිරීම සඳහාත් ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය වන්නේ බදු ඉවත් කිරීම බව හිටපු බලශක්ති අමාත්‍යවරයාගේ මතය විය. 

ඩොලර් හිඟය නිසා රටේ ඉන්ධන හිඟයක් නිර්මාණය වන බව පසුගිය කාලය පුරාම ඔහු කියා සිටියේය. එහෙත් අවසානයේ ඔහුට සිදුවූයේ රජයේ සාමුහික වගකීම පැහැර හැරීය බවට චෝදනා ලබා ඇමතිකමින් ඉවත් කිරීමය. ඔහුගෙන් පසු බලශක්ති අමාත්‍යංශය හිටපු විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේට පැවරිණි. නව බලශක්ති අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් තබා පසුගිය 7 වැනිදා ප්‍රකාශ කළේ මෙවැන්නකි. ''පසුගිය දිනවල ඩොලර් මිලියන 35 ගෙවා ගත් ඉන්ධන තොගයට අද වනවිට ඩොලර් මිලියන 52ක් ගෙවන්න වෙලා. ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල ඉහළ යන බැවින් අපිට තෙල් මිල පිළිබඳව රජය සමඟ සාකච්ඡා කොට තීන්දුවක් ගන්න වෙනවා'' යනුවෙනි. ඒ ඔහු නොකියා කීවේ ඉන්ධන මිල වැඩිකළ යුතු බවටය.

නව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසන්නේ මේ වනවිට රටේ සෑම ඉන්ධන පිරවුම්හලකටම එක තෙල් බවුසරයක් හෝ ලැබී ඇති බවටය. පෙට්‍රල් අවශය තරම් ඇති බවත් ඩීසල් හිඟයක් ඇතිවූයේ ජනතාව වාහනවලට ඉන්ධන ලබා ගැනීමෙන් පසු බූලි දෙක තුනකටත් ඉන්ධන ලබා ගැනීමට යාම නිසා බව ඔහුගේ අදහසයි. බූලිවලට ඩීසල් ලබා ගන්නේ එය ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති පිරිසක් බවත්, 3500 තෙල් සංස්ථාවෙන් ලබාගන්නා ඉන්ධන කෑනයක් මොවුන් 5000ට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ගෙන යන බවත් ඔහු කීවේය. ඉදිරියේදී කෑන්වලට ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ඔහු සඳහන් කළේය. පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා වනවිට තෙල් හිඟය අවම වන බවත්, අවශ්‍ය තරම් ඉන්ධන පෝලිම්වලින් තොරව ලබාගත හැකි යැයි ඔහු කීවේය. විදුලිබල මණ්ඩලයටද මෙට්‍රික් ටොන් 6000ක් පමණ ලබා දී ඇති හෙයින් ජනාධිපතිවරයා සහ මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළ පරිදි 5 වැනිදායින් පසු විදුලිය කැපීමකින් හා ඉන්ධන හිඟයකින් තොරව  සාමාන්‍ය පරිදි සියල්ල සිදුවන බවද පැවසීය.

බලශක්ති අමාත්‍යවරයා කීවේ බොහෝ ඉන්ධනහල්වල මේ වනවිටත් ප්‍රශ්නය විසඳී පෝලිම් අවම වී ඇති බවටය. එහෙත් ඉන්ධන පිරවුම්හලවල තවමත් ඇත්තේ දිගු පෝලිම්ය. බොහෝ ඉන්ධනහල්වල පෙරකමින් සිටි ජනතාව දක්වන්නේ එතරම් හොඳ ප්‍රතිචාර නොවේ. බලශක්ති ඇමතිවරයා දැන් කියන්නේ එය ලබන‍ සඳුදා වන විට අර්බුදය අවම වන බවයි.

මේ දිනවල ඩීසල් මෙට්‍රික් ටොන් 7000ත් 8000ත් අතර ප්‍රමාණයක් දිනකට වෙළෙඳපොළට නිකුත් කරන බව බලශක්ති අමාත්‍යංශය කියයි. පසුගිය 7 වැනිදා ඩීසල් මෙට්‍රික් ටොන් 38,000ක් රුගත් නෞකාවක් මෙරටට ළඟාවිය. එම නෞකාවට මුදල් ගෙවීමට පියවර ගත් බවද බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ. මේ වනවිට විදුලිබල මණ්ඩලයටද ඉන්ධන ආනයනය කිරීමට අවසර ලබා දී ඇතැයි බලශක්ති ඇමතිවරයා පැවසීය.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පොදුජන පෙරමුණු පළාත් පාලන ආයතනවල නියෝජිතයන් වෙත ලිපියක් යවමින් කියා ඇත්තේ මාර්තු 31 වැනිදා වනතෙක් සියලුම පළාත්පාලන බල ප්‍රදේශවල සියලු වීදි ලාම්පු නිවා දමන ලෙසට දන්වා තිබේ. ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර එය තව දුරටත් ඉහළ යනු ඇති බවට පුරෝකථනය කර ඇති බවද, රටේ ඩොලර් සංචිත පවතින්නේ ඉතා සීමිත තත්ත්වයක බැවින් ප්‍රශ්න තවත් සංකීර්ණ වී ඇති නිසා එම අභියෝගාත්මක තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ඇති ප්‍රමුඛතම විකල්පය විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම බවද ලිපිය මගින් දන්වා ඇති ඔහු රාත්‍රි කාලයේ වීදි පහන් නොදල්වා සිටින ලෙසටත් මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා වෙනත් විකල්ප තිබේ නම් ඒවා ක්‍රියාවට නංවා තමන්ට දැනුම් දෙන ලෙසටත් එම ආයතනවලට දන්වා තිබේ.

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් රජයේ කාර්යාවල ඉන්ධන හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට රාජ්‍ය සේවා, පළාත් සභා සය පළාත් පාලන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. නිලරථ භාවිත කරන මැති ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සඳහා අතිරේක ඉන්ධන ලබා දීම තාවකාලිකව අත්හිටුවීමටද එම චක්‍රෙල්ඛයෙන් යෝජනා කර තිබේ. සියලු රාජ්‍ය ආයතනවල පස්වරු 2.30ත් 4.30ත් අතර කාලයේ වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාවිරහිත කළ යුතුවේ.

ලංකා ඛනිජ තෙල් තොල පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කර සිටින විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්. ඩබ්ලිව් සොයිසා මහතා සඳහන් කරන්නේ ඉන්ධන අර්බුදය කඩිනමින් විසඳීම සඳහා රජය සමඟ සාකච්ඡා කොට ඉන්ධන බවුසර් මගින්, දුම්රියෙන් හා අවශ්‍ය නම් පෞද්ගලික බවුසර් මගින් හෝ සෑම පිරවුම්හලකටම කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරන බවයි.

මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල යළිත් ගෑස් හිඟයක් නිර්මාණය වී ඇත. බොහෝ නගරවල හෝටල් වැසිලාය. බේකරි වැසිලාය. ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළේ මේ වනවිට රටේ සමස්ත ආපන ශාලාවලින් සියයට 60 වසා දමා ඇති බවයි. ඇතැම් ප්‍රදේශවල පාන් මිලට ගැනීමට දිගු පෝලිම්ය. ඒ දර පෝරණු පාන් නිෂ්පාදනය කරන බේකරි අසලය.

කෙසේ නමුදු මේ වනවිට රටේ උද්ගතව ඇති අර්බුදය විසඳීමට කිසිදු බලධාරියකු උත්සාහ නොගන්නා බව පෙනෙන්නට ඇති හෙයින් තමන් දැඩි වේදනාවකින් පසුවන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති. දේශපාලකයන්ට ඇත්තේ බලය ලබා ගැනීම සහ බලය රැක ගැනීමේ ගැටලුව පමණක් බවත් තමන් වහන්සේ ජනතාව සමඟ පාරට බසින්නට සූදානම් බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05