2022 මාර්තු 13 වන ඉරිදා

රට සල්ලි අදින සැලසුමක් ඕනෑ

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 72

ඉන්දියාවේ ආර්ථික වර්ධනය දෙස ජාත්‍යන්තර ප‍්‍රජාව අවධානයෙන් සිටී. කොවිඩ් වසංගත තත්ත්වයේ බලපෑම ඉදිරියේ විශාල වශයෙන් පහත වැටුණ ආර්ථිකය නැවත වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන බව පර්යේෂණ වාර්තා අනාවරණය කර ඇත. ඉන්දියාවේ පිබිදීමෙන් ශ‍්‍රී ලංකාවට ලබාගත හැකි පිටිවහල ගැන අවධානය වැදගත්ය. 

ගෝලීයකරණය සමඟ ලෝක ආර්ථිකයේ විශාල පරිවර්තනයක් සිදුවෙමින් පවතී. පසුගිය වසර දෙක තුළ වසංගත තත්ත්වය කරන ලද හානිය බලවත්ය. 2022 හා එයින් ඉනික්බිතිව අලුත් යුගයකට ඇතුළු වෙතැයි විශ්වාස කෙරේ. වෙළඳපොළ තමන්ගේ ආකෘතියකට ගොඩනගා ගැනීම බලවත් රටවල වෑයමකි. ඇමරිකාව, චීනය, රුසියාව, ඉන්දියාව හා යුරෝපා රටවල් වෙළඳපොළ අයිතිය සඳහා විශාල ආයෝජනයක් කරන වකවානුවකි. මෙම ආකෘතිය තුළ අනන්‍යතාව ඉතා වැදගත්ය. තමන්ට ගැලපෙන දේ සඳහා මාර්ග සිතියමක් සඳහා ප‍්‍රඥාව අවශ්‍ය කෙරේ.

• ඉන්දියාවට නතුවීම

වාර්තා දක්වන පරිදි 2022-23 කාලය තුළ ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 7.8කි. මෙය අවම තත්ත්වය විය හැකිය. 2020-21 කාලයේ දී සියයට 6.6 කින් පහත වැටුණ ඉන්දීය ආර්ථිකය ගැන මෙම වසර අරඹනවිට මත තුනක් තිබුණි. විශේෂඥයන් සියයට අට ඉක්මවන වර්ධනයක් බව සඳහන් කළ අතර ඉන්දීය ආණ්ඩුවේ විශ්වාසය සියයට එකොළහ ඉක්මවීමකි. ජාත්‍යන්තර පර්යේෂකයන් එයට අතරමැද ගණනකය. කෙසේ වෙතත් අති විශාල ජනගහනයක් මැදි ආදායමට හා එයින් ඉහළට නැගෙනවිට වෙළඳපොළ අවශ්‍යතා ප‍්‍රසාරණය වෙයි. ආනයන සඳහා වැඩිබරක් තබන්නට සිදුවනු ඇත. ඉන්දීය වෙළෙඳපොළ අවශ්‍යතා සලකන එරට ප‍්‍රතිපත්ති සම්පාදකයන් කෘෂිඅංශයෙහි වෙනස්කම් යෝජනා කර ඇත. බලශක්ති සඳහා අලුත් පැති ගවේෂණය කෙරේ. සේවා අංශ ගැන සොයා බලමින් සිටී. මෙවැනි පැති කෙරෙහි අපට ඇති ගවේෂණය කුමක්ද?

ක‍්‍රියාවක් සඳහා ප‍්‍රතික‍්‍රියාවක් ඇති වෙයි. ඉඩම් වෙන්දේසියක් කරන තැනක හාඩ්වෙයාර් එකක් විවෘත වෙයි. ඉඩම ගන්නා අය ඉදිකිරීමක් කරන අතර එයට සැපයුම ශූර ව්‍යාපාරයක් සඳහා අරමුණකි. ගොඩනැගිලි වෙළෙඳසල අසල භාණ්ඩ ප‍්‍රවාහනයට කුලී රථ ගැවසේ. ඒවායේ ගැවසෙන අයවලුන්ට අවශ්‍ය ආහාර හා තේ සඳහා පෙට්ටි කඩයක් ඉදිවෙයි. අවසානයේ එතැන ත‍්‍රී වීලර් සහ බස් නැවතුම් පොළක්ද හැදේ. රටවල් අතරද එවැනි ව්‍යුහයක් ඇත. අනුන්ගේ ඉඩම් වෙන්දේසිය අපට මොකටද අපේ වැඩක් බලාගනිමු යැයි හිතන මානසිකත්වය ඇති අයට අවස්ථා ලැබෙන්නේ නැත. පෙට්ටි කඩය අවුරුද්දකින් දෙකකින් වෙළෙඳසලක ස්වරෑපය ගනී. හාඩ්වෙයාර් එක අංග සම්පූර්ණ තැනක් බවට පත්වෙයි. අපේ වැඩක් බලාගෙන සිටින කණ්ඩායමට අත්වෙන ඉරණම කුමක්ද?

• බලශක්තිය හා සේවා අංශවල අවස්ථා

ඉන්දියාවේ ඛනිජතෙල් භාවිත කිරීමේ අවශ්‍යතාව වර්ධනය වෙමින් පවතින බව එරට පර්යේෂණ වාර්තා දක්වයි. වසර 2030 වනවිට ඉන්දියාවේ ඉන්ධන උපයෝගීතාව සියයට පනහකින් ඉහළ යනු ඇතැයි සැලකේ. ඉන්ධන වැඩිම ප‍්‍රමාණයක් පරිහරණය කරන ලෝකයේ රටවල් අතර තුන්වැනි තැනට පත්වනු ඇත. මෙකී උවමනාව සඳහා ඉන්දියාව සැලසුම් සකස් කරමින් සිටී. එහි ලා කරන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන ගණනකි. අවශ්‍ය ප‍්‍රමාණයට අතිරේක ඛනිජ තෙල් තොග සපයා ගැනීම ප‍්‍රශ්නයක් විය හැකි බව දැක්වේ. කොවිඩ් ලොක් ඩවුන්වලට පසු ලෝකයේ ස්වරෑපය වෙනස් වී ඇත. හදිසි ලොක් වඩුන් කිරීමකදී අඩුම වශයෙන් මාස තුනක සංචිත තබාගත යුතු බව විශේෂඥයෝ අවවාද කරති. ඉන්ධන, ආහාර, ඖෂධ සඳහා කරන මෙම ගබඩා කිරීමේ උවමනාව ශ‍්‍රී ලංකාවට ශක්තියක් කරගත හැකිය. ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි උදුරා ගැනීමට ඉන්දියාව දරන වෑයමක් වශයෙන් දකින්නේ ඇයි? අපේ තෙල් ටැංකි ඉන්දියාවේ දැනෙන අවශ්‍යතාවයට ආයෝජනය සඳහා අපට සැලැස්මක් තිබිය යුතුය. මාර්ග සිතියම හැදිය යුතු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ය. ඉන්දියාවේ තෙල් අවශ්‍යතාව තුළ තුනෙන් එකක් පිරිපහදු කරන්නට සිදුවේ. එම පිරිපහදුව ඉන්දියාවේ අලුතින් හැදෙන වකවානුවට ඉක්මනින් අපට විසඳුමක් ප‍්‍රකාශයට පත්කළ නොහැකි ඇයි? එය රටට අවස්ථාවකි.

ඉන්ධන ගබඩා කිරීම සහ වෙළෙඳපොළ කළමනාකරණයටද එරට විශේෂඥයෝ පියවර ගනිමින් සිටිති. ඛනිජ තෙල් අඛණ්ඩ සැපයුම එහි දී වැදගත් තැනක් ගන්නා බව පෙනේ. මෙවැනි පැති සඳහා අවස්ථාව ලංකාවෙන් හැදෙන විට ආකෘතිය වෙනස්ය. 
ඉන්දියාවේ බලශක්ති අංශය ක්ෂේත‍්‍ර ගණනාවකට පැතිරී තිබේ. එරට වාර්තා දක්වන අන්දමට භූතානයෙන් ජල විදුලිය මිල දී ගන්නා ඉන්දියාව අතිරික්ත විදුලියන් කොටසක් බංගලාදේශය, නේපාලය හා මියන්මාරයට අලෙවි කරමින් සිටී. එය කලාපීය විදුලිය බල හුවමාරු අවස්ථාවල තරම මෙයින් පැහැදිලි කරයි. 2013 වසරේ විදුලිය හිඟ සහ එයින් බලවත්  දුෂ්කරතාවයක සිටි ඉන්දියාව 2030 වනවිට අතිරික්ත විදුලි උත්පාදනයක් සහිත රටක් වනු ඇතැයි දැක්වේ.  

• විදුලිය උත්පාදනය දෙගුණ කිරීම

අන්තර්ජාතික සංවිධාන ඉන්දියාවේ පුනර්ජනනීය විදුලිය උත්පාදනය කෙරෙහි අවධානය යොමුකර ඇත. දැවැන්ත ආයෝජන ශක්තියක් ඇති එරට සැලසුම් දෙස බලා සිටී. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බලශක්ති උත්පාදන හවුල්කාර ව්‍යාපෘති තිබේ. කෙසේ නමුත් කලාපයේ රටවල් සමග තවදුරටත් බලශක්ති අංශයේ සහයෝගීතාවයකට ගමන් කරන්නට සූදානම්ය. ශ‍්‍රී ලංකාවේ සම්පූර්ණ විදුලිය උත්පාදනය ගිගාවොට් 4500 කි. මන්නාරම ප‍්‍රදේශයේ සුළං බලාගාර ව්‍යාපෘතියකින් ගිගාවොට් 5000 ක විදුලියක් අලුතින් උත්පාදනය කළ හැකි බව පර්යේෂකයන් පෙන්වා දී ඇත. සූර්ය විදුලිය උත්පාදනයට පහසුකම් සපයන්නට ඉන්දියාව හා චීනය ප‍්‍රයත්න දරමින් සිටී. දැන් ව්‍යාපෘති ආරම්භ කර ඉන්දු ශ‍්‍රී ලංකා විදුලිය හුවමාරුවක් ඇති කළහොත් දෙරටටම වාසියක් ලැබේ. ඉන්දියාව කරන හා සමානව මෙරට නිපදවන විදුලිය ඉන්දියාව හා කලාපයේ අනෙක් රටවලට විකිණිය හැකි පොදු ග‍්‍රිඩ් ඒකකක් බවට හැරේ. මේවා ඉන්දියාවේ උවමනාවට නොව මෙරට ශූර ව්‍යාපාරික අවස්ථා වශයෙන් නිර්මාණය කරන්නේ කෙසේද? අභියෝගය එයයි. 

පැය හතක් පමණ අන්ධකාරයේ සිටින, ආයොජනය සඳහා විදේශ විනිමය නැති රටක් මහා පරිමාණ ආයෝජන ගැන හිතන්නේ නැත. නූතන ආර්ථික ව්‍යුහය අනුව ප‍්‍රාග්ධනය බෙදාගන්නා පොදු ධනය නැති, සම්පත් හිඟ රටවල් වෙනත් පාර්ශ්වවලින් ආයෝජන ලබාගන්නා අවස්ථා ඇත. එවැනි අවස්ථාවලින් පාර්ශ්ව දෙකටම යහපතක් සිදුවෙයි. විදුලිය උත්පාදනය කරන ආයෝජනය සඳහා ධනය වැය කරන බාහිර පාර්ශ්වය ශ‍්‍රී ලංකාවේ අවස්ථා උදුරාගැනීම වැනි මත සමාජයේ තිබේ. එයින් අපට හිමි බලය අහිමිවන බවට සාකච්ඡාවක් ඇත. එහෙත් ව්‍යුහයේ අනෙක් පැත්තක්ද තිබේ. ඉතිහාසයේ සිට පැමිණි ගමනේ දැවැන්ත ආකෘති වෙනසක් සිදුවී ඇත. ආකල්ප වෙනස් ව තිබේ. අයිතිය හෝ කළමනාකරණය ගැන විවාදය පැත්තකට වී ඇති අතර සමාජයක් ලබන අවස්ථා ගැන වැඩිපුර අවධානය යොමු කෙරේ. එමගින් ලැබෙන පිටිවහල ආර්ථිකයට ශක්තියකි. 

• ඉන්දියාව පමණක් නොව අනෙක් රටවල් ද සාධකයකි

සංවර්ධන අවශ්‍යතා හමුවේ ඉන්දියාව පමණක් නොව ජාත්‍යන්තරයේ පැවැත්ම විශාල සාධකයකි. ශ‍්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයක් හමුවේ පසුවෙයි. පසුගිය වසරේ තද විනිමය පාලනයක් පවත්වාගෙන ගිය නමුත් වසර අවසන් වනවිට විදේශ වෙළෙඳාමේ අවාසිය ඇමරිකානු ඩොලර් බිලියන අටකි. අපනයන ආදායම ඉක්මවා එපමණ වැඩි ප‍්‍රමාණයක් ආනයනයට වැය කරන අතර පරතරය පියවන මගක් නැත. 

විදේශ විනිමය අවශ්‍යතාව බලවත් ද යන්න ගැන සාමාන්‍ය ජනතාවට පවා අවබෝධයක් තිබේ. පවතින ගැටලුව කළමනාකරණය කර ගැනීම අරමුණු කරගෙන ඇපල්, දොඩම් හා චොකලට් වැනි තවත් වර්ග 367 ක ආනයනය තහනම් කරන ගැසට් නිවේදනය නිකුත්ව ඇත. තහනම බලපාන්නේ සාමාන්‍ය ජනතාවටය. තහනම වෙනුවට මේවා ලබාගත හැකි සමාජයක් ඇති කරන්නට නම් ආකෘති වෙනසක් කළ යුතුය. ඉන්දියාවට උවමනා පරිදි හෝ නැත්නම් චීනයට අවශ්‍ය පරිදි මාර්ග සිතියම ලකුණු කරන ප‍්‍රයත්නය පරාජය කළ යුතුය. මාර්ග සිතියම හදන වගකීම ලාංකිකයන් අතට ගැනීම සඳහා උපායශීලීත්වය වැදගත් කාරණයකි. ශ‍්‍රී ලංකාවට ත‍්‍රිකුණාමලය තෙල් ගබඩා ඇත. සුළං බලාගාර සඳහා ශක්‍යතාවයක් තිබේ. වරාය පහසුකම් දියුණු කළ හැක. චීනය හෝ ඉන්දියාව මේවා ප‍්‍රයෝජනයට ගැනීමටට පොළඹවන සැලැස්ම හදන්නට මෙරට විශේෂඥයන් මැදිහත්විය යුතුව තිබේ. යෝජනාව ඉදිරිපත් කර ඒවා අපට අනන්‍ය ආකාරයට ජාත්‍යන්තරයට ඉදිරිපත්කරන ක‍්‍රමවේදයක් ගැන අවධානය යොමු කළ යුතුය. රටක් වශයෙන් ඉදිරියට යා හැක්කේ එවැනි 'රෝඩ් මැප්' එකකින් එනම් මාර්ග සිතියමකින් පමණකි.

 සාරා කන්දෙගොඩ