2022 මාර්තු 13 වන ඉරිදා

ඩොලරය කොහෙන් නවතියිද?

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 133

ශ්‍රී ලංකාව මේ වනවිට තුන් බියකින් ඇළලී සිටී. ඒවා නම් ඩොලර් අර්බුදය සහ විදේශ ණය ගෙන්වීමට නොහැකියාව මෙන්ම රටේ බඩු මිල ඉහළ යාම සමඟ ඇතිව ඇති භාණ්ඩවල හිඟතාවයයි. මේ සියල්ල අංග තුනක් සේ පෙනුණද, ගැඹුරෙන් සලකා බලන විට පෙනී යන්නේ එකම ජාලයකින් බැඳී ඇති බවයි.

ඩොලර් නොමැතිවීම නිසා ආනයනය කරන භාණ්ඩ වරායෙන් ගොඩබෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. ඒ නිසා සති ගණන් වරායේ රඳවා තිබෙන නැව් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව තිබේ. භාණ්ඩවල වටිනාකමට ප්‍රමාද ගාස්තුද එකතුවීම නිසා ඒවායේ අඩංගු ද්‍රව්‍යවල මිල ඉහළ නැගී එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවට ආනයනික භාණ්ඩ සඳහා වැඩි මිලක් ගෙවීමට සිදුව ඇත. ඉන්ධන සහ ගෑස් නැව් වරායේ සිරවී තිබීම නිසා රට තුළ ඒවා හිඟවීමෙන් පෝලිම් යුගයක් නිර්මාණය වී තිබේ. ඉන්ධන මෙන්ම ගෑස්ද ජනතාවගේ ජීවිතවලට ඉතාම සම්බන්ධ ඒවාය. මෙම දෙවර්ගය හිඟවීම ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ. ඉන්ධන නොමැතිවීම නිසා පොදු ගමනාගමනය අඩාල වීම, භාණ්ඩ ප්‍රවාහනය දුර්වල වීම මෙන්ම නිෂ්පාදනය බිඳවැටීමට හේතු වී තිබේ. එසේම ගෑස් නොමැතිවීම නිසා ආහාරපාන සකස් කරගත නොහැකිවීමෙන් ජනතාව විපතට පත්ව ඇති අතර මෙම ක්ෂේත්‍ර ආශ්‍රිතව කටයුතු කරන විශාල පිරිසකගේ රැකියා අහිමිවීමට හේතු වී තිබේ.
මේ වනවිට ආණ්ඩුවට විදේශ ණය ගෙවීමට ගැටලු මතුවීම නිසා අනාගත තත්ත්වය අවිනිශ්චිත බවට පත්ව තිබේ. රටට දැඩි දුෂ්කරතා මධ්‍යයේ ලැබෙන ඩොලර් එකතු කර ණය ගෙවීමට යාම නිසා ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පවා ගෙවීම් කිරීමට නොහැකිව තිබේ. රටට ඩොලර් ලැබීම අඩුවීමට හේතු වී ඇත්තේ විදේශ රුකියාවල නිරතවූවන්ගෙන් ලැබෙන මුදල් අඩුවීම ඩොලරය සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය ඉහළ යාම මෙන්ම විදේශ සංචාරකයන්ගෙන් ලැබෙන ඩොලර් ආදායම පහළ වැටීමය. මෙම ගැටලු හේතුවෙන් සියයට 5.2ට තිබූ උද්ධමනය හෙවත් භාණ්ඩ මිල ඉහළ යාමේ වේගය මේ වනවිට සියයට 14 දක්වා ඉහළ නැග තිබේ. උද්ධමනය ඉහළ යාම නිසා ජනතාව විශාල ආර්ථික ගැටලුවලට මැදි වී සිටිති. ශ්‍රී ලංකා රුපියල දුර්වල වීම උච්ඡතම අවස්ථාවට පත්ව ඇති අතර ඉදිරියේදී තවදුරටත් රුපියල කඩා වැටෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

2021 වසරේ සැප්තැම්බරයේ මහා භාණ්ඩාගාරය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 203ට සීමා කළ අතර බැංකු ඇතුළු සියලුම විදේශ විනිමය ගැනුම්කරුවන් මේ මිලට අවනත විය යුතු යැයි නියෝග කෙරිණ. එහෙත් විවෘත වෙළෙඳපොළේ ඩොලරය සඳහා රුපියල් 250ක පමණ මුදලක් ලබාගැනීමට හැකිවීම නිසා මහ බැංකුවට යා යුතු රුපියල් පෞද්ගලික මුදලාලිලා ළඟ නැවතිණ. මාස 6ක් තුළ පැවති මෙම තත්ත්වය බලධරයන්ට ප්‍රමාද වී හෝ වැටහීමේ ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය මාර්තු 07දා ඩොලරයේ සීමා බන්ධන ලිහිල් කරමින් ඩොලරයේ රුපියලේ අගය ඉල්ලුම සැපයුම මත තීරණය වීමට ඉඩ හරින ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරයේ අගය රුපියල් 230 දක්වා ඉහළ යනු ඇතැයි යන්න බලධරයන්ගේ විශ්වාසය විය.

විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් රටට ලැබෙන ප්‍රේෂණ මේ වනවිට සියයට 60 දක්වා අඩු වී ඇති බව වාර්තා වෙයි. මෙයට පෙර මසකට ඩොලර් මිලියන 600 ප්‍රමාණයේ තිබූ එම ආදායම මේ වනවිට මිලියන 250 දක්වා අඩු වී තිබේ. ශ්‍රී ලංකාව ඩොලර් ආදායම එවන ශ්‍රමිකයන් මේ වනවිට එම මුදල් පෞද්ගලික ඩොලර් ගැනුම්කරුවන් හරහා එවීමට පෙළඹී ඇත. එයට හේතුව බැංකුවෙන් ගන්නවාට වඩා ඩොලරයකට රුපියල් 40 – 50 පමණ මුදලක් ඔවුන්ට ලබාගැනීමට හැකිවීමය. මේ තත්ත්වය ඇතිවූයේ රජයේ වරද නිසා මිස එම ශ්‍රමිකයන්ගේ වරදක් නිසා නොවේ. කළු වෙළෙඳපොළේ රජයට වඩා තුන් ගුණයක මුදල් සැරිසරන බව දැනගන්නට තිබේ. කලින් මසකට ඩොලර් මිලියන 600 – 700 දක්වා බැංකු හරහා ප්‍රේෂණය වූ විදේශ විනිමය වටිනාකම මේ වනවිට 200 – 300 දක්වා පහළ වැටී ඇත. රටේ ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය මේ වනවිට විශාල ලෙස වැඩි වී තිබේ. මේ වසරේ ගෙවීමට ඇති ණය හා බැඳුම්කරවල වගකීම අමෙරිකානු ඩොලර් මිලියන 6800කි. එසේ තිබියදී ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 1000ක් ණයට ගැනීමට සූදානම්ව සිටී. මෙම කෙටිකාලීන ණයවලට පනවා ඇත්තේ දැඩි කොන්දේසි වේ. එය රටට හා ජනතාවට විශාල ලෙස හානිකර වේ. ඉන්දියාවෙන් මුලින් ලබාගත් ඩොලර් 500 වෙනුවෙන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ලංකාවට අවාසිදායක කොන්දේසි යටතේ ඉන්දියාවට පවරා දීමට සිදුවිය.

අප ලබාගෙන ඇති ණයවලින් සියයට 57ක් වාණිජ ණය වන අතර සියයට 34ක් ස්වෛරීත්ව බැඳුම්කර ණය වෙයි. චීනයේ එක්සිම් බැංකුවෙන් සියයට 8ක ණය ලබාගෙන ඇත. මෙලෙස මුල්‍ය වෙළෙඳපොළෙන් ලබාගන්නා ණය අඛණ්ඩව ඉහළ ගියද ඒ පිළිබඳ පසුවිපරමක් නොකරන අතර ඒවා ඵලදායී ලෙස ආයෝජනය කරනවාදැයි සොයා නොබැලේ.

2014 දී අමෙරිකානු ඩොලර් බිලියන 8.2ක්ව තිබූ මහ බැංකුවේ ඩොලර් සංචිත මේ වනවිට ඩොලර් මිලියන 1000කටත් අඩු මට්ටමට වැටී ඇත. මෙම සංචිතද භාවිත කර ඇත්තේ විදේශ ණය ගෙවීමටය. මහ බැංකුවේ අධිපති පවසන්නේ සංචිත අඩුවීම ප්‍රශ්නයක් නොවන අතර අවශ්‍ය වූ විට භාවිත නොකර ඒවා ගබඩා කර තබාගැනීමෙන් වැඩක් නැති බවකි.

අපනයන ආදායම පසුගිය සමයේ තරමක් වැඩි වී තිබුණද එය සතුටු විය හැකි තරමට නොවේ. රජය අපනයනකරුවන්ගේ ගැටලු ගැන දක්වන අවධානය ප්‍රමාණවත් නැත. වැඩිම ආදායම ඇඟලුම්වලින් ලැබූ බවට පම්පෝරි කතා කීවද ඒ සඳහා අතරමැදි ද්‍රව්‍ය විශාල ලෙස ආනයනය කළ යුතු බව සිහි තබාගත යුතුය. දැන් පවතින යුද්ධය අපේ අපනයනවලට අහිතකර ලෙස බලපාන අතර යුරෝපාකරයට සිදු කරන ඇඟලුම් අපනයනය යුද්ධය නිසා අඩුවෙමින් පවතී. එසේම මෙම යුද්ධය අපේ සංචාරක ව්‍යාපාරයටද අහිතකර ලෙස බලපායි. 2021 වසරේදී මෙම සංචාරකයන්ගෙන් සියයට 17ක් පැමිණියේ රුසියාවෙන් වන අතර යුක්රේනයෙන් සියයට 10ක් පැමිණ ඇති අතර මේ වසරේදී එය තවත් පහළ බසිනු ඇත.

අද රටට මුහුණපාන්නට සිදුව ඇති ආර්ථික අර්බුදය පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මෙසේ පවසයි.

&රජය මොනවා කිව්වත් රටේ උද්ගතව ඇති අයහපත් තත්ත්වය ජනතාවට මැනවින් දැනෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල විශාල හිඟයක් ඇතිවෙලා තිබෙනවා. ඉන්ධන, ගෑස්, කිරිපිටි, සිමෙන්ති ආදී සාමාන්‍ය ජීවිතයේදී අත්‍යවශ්‍ය දේවල්වල විශාල හිඟයක් ඇතිවී තිබෙන අතර ඒවායේ පෝලිම් ඇතිවෙලා තියෙනවා. මෙම තත්ත්වය දින දින උග්‍රවන අතර යථා තත්ත්වයට පත්වීමක් ගැන සිතන්නවත් බැරිවෙලා.

කොවිඩ් පැතිරීම අඩු වී රට යථා තත්ත්වයට පැමිණෙමින් තිබීම සහ දැන් ඇතිවී ඇති යුක්‍රේන් රුසියානු යුද්ධය නිසා භාණ්ඩවල ඉල්ලුම වැඩි වී මිල ඉහළ යාම සිදුවෙමින් තිබෙනවා. ඒ පිළිබඳ නිසි විසඳුමක් දීමට රජය අපොහොසත් වී සිටිනවා. මේ වනවිට බොරතෙල් බැලරයක මිල අමෙරිකානු ඩොලර් 130 දක්වා ඉහළ ගිහින්. යුද්ධය ආරම්භ වී පළමු දවසේම ඩොලරය 104ට වැඩි වුණා. 2008 වසරෙන් පසුව ප්‍රථම වතාවට තමා බොරතෙල් මිල මේ තරම් ඉහළ නැංගේ අනිත් අතට මෙම යුද්ධය ආරම්භ වූයේ බොරතෙල් සහ ගෑස්වලට ලොව ඉහළම ඉල්ලුමක් පවතින ශීත දේශගුණය ඇති මේ කාලයේයි.

යුද්ධයට පැටලී තිබෙන රුසියාව බලශක්ති සැපයුම්කරණයේ ප්‍රධානම රටක්. යුරෝපා රටවලට සියයට 40ක් පමණ ගෑස් සහ ඉන්ධන සපයන්නේ රුසියාවයි. මෙම දෙවර්ගයම වැඩියෙන් අවශ්‍ය වන මේ කාලයේ බලවත් සැපයුම්කරුවා වන රුසියාව තරහ කර ගන්නට යුරෝපයේ රටවල් කැමැති වන්නේ නැහැ. ඉන්ධන බෙදාහැරීමේ ජාලයට බාධා සිදුවූ නිසා බොහෝ රටවලට ඉන්ධන හා ගෑස් සැපයීම අඩු වී තිබෙනවා. මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව එයයි. 2008 දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැලරය ඩොලර් 130ට නැග තිබුණත් අපේ රටේ ඉන්ධන අද තරම් මිල ඉහළ ගොස් තිබුණේ නැහැ. එහෙත් අද ඇයි මේ තරමට ඉහළ දමන්න සිද්ධවෙලා තිබෙන්නේ? ප්‍රධාන කරුණ අයහපත් ආර්ථික කළමනාකරණයයි. මේ තත්ත්වය ඇතිවන බව කල්තියා දැනගත යුතුව තිබුණා. තෙල් අර්බුදය අපේ රටට ප්‍රබල ලෙස බලපාන්න ප්‍රධාන හේතුවක් වන්නේ රුපියලේ විදේශ අගය අසාමාන්‍ය ලෙස පහළ වැටීමයි. ශ්‍රී ලංකා මහ බැංකුව මෙතෙක් කල් ප්‍රකාශ කර තිබුණේ ඩොලරයේ අගය රුපියල් 203 යනුවෙන්. ඉන් පසුව තවත් රුපියල් 10ක් එකතු කර රාජ්‍ය බැංකුවලට 213 ගණනේ අලෙවි කරන්න බලය දුන්නා. එහෙත් ඩොලරය ආකර්ශනය කර ගැනීමට එය ප්‍රමාණවත් වූයේ නැහැ. අනතුරුව පසුගිය 07දා සිට ඩොලරය පාවෙන්න ඉඩ හැරලා රුපියල් 230 මට්ටමින් පවත්වාගෙන යන බව මහ බැංකුව නිවේදනය කළා. එහෙත් මෙයින්ද අපේක්ෂිත අරමුණු ඉටුවෙන්නේ නැහැ. එයට හේතුව පෞද්ගලික ව්‍යාපාරිකයන් ඩොලරයට රුපියල් 260ක් පමණ ගෙවන නිසයි. එහෙම තිබියදී කොයි මිනිහද ඩොලරය රුපියල් 230ට විකුණන්නේ. ඒ නිසා රජයට ඩොලර් ඒම සිදුවන්නේ නැහැ. මෙම තත්ත්වය පාලනය කිරීමට රජයට කිසිදු ක්‍රමවේදයක් නැහැ.

අද තිබෙන ගැටලුව ලංකාවට ඩොලර් එන්නේ නැතිකම නොවෙයි. ඩොලර් එනවා. ඒවා එන්නේ කළු කඩයටයි. රාජ්‍ය බැංකු හරහා ඩොලර් ගනුදෙනු වෙන්නේ නැහැ. ඒ නිසා මෙම තත්ත්වය නවත්වන්න ඕනෑ.

2020 දී ශ්‍රී ලංකාවට විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 7.1ක් ලැබී තියෙනවා. එහෙත් 2021 වනවිට එය මිලියන 2.1ට බැහැලා. මිලියන 5ක් පමණ තරම් විශාල ප්‍රමාණයක් අහිමිවෙලා. මෙම මුදල පවා බැංකුවලට නොවෙයි එන්නේ. කළුකඩයට තමා යන්නේ. උන්ඩියල් හා හවානා ක්‍රමවලින් කළු කඩයට ඇවිත් තියෙන්නේ. ජනතාව තමාට ඩොලර් අවශ්‍ය වූ විට කළුකඩ මිලට ගන්නවා. එම තත්ත්වය නවත්වන්න රජය මැදිහත්වෙලා නැහැ. 2019 වනවිට ඩොලරය අලෙවි වුණේ රුපියල් 178කටයි. එහෙත් දැන් 260 දක්වා ඉහළ ගිහින්. මේ නිසා භාණ්ඩ මිල අසීමිත ලෙස ඉහළ යනවා. භාණ්ඩ රුගත් නැව් බාගන්න බැරිව වරායේ සිරවී තිබෙනවා. ඒවාට ප්‍රමාද ගාස්තු ගෙවන්න වනවිට මිල තවත් ඉහළ යනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට උපදෙස් දී ඇත්තේ නීති දමා ඩොලරය තද කරගෙන නොසිට එයට පාවෙන්නට ඉඩ දිය යුතු බවටයි. එවිට ඩොලරය රුපියල් 270 – 280ට ගියත් සුළු කාලයකින් ආපසු පහළ බහිනවා ඇති. මුල්‍ය අරමුදල කියන්නේ ඩොලරය පාලනය කරන තාක් කළුකඩ මිල ඇතිවීම වැළැක්විය නොහැකි බවයි. ඒ නිසා රුපියල මුදාහරින ලෙස මුල්‍ය අරමුදල කියනවා. එවිට විදේශ ප්‍රේෂණ මහ බැංකුවට එනවා. මෙයින් අර්බුදයට යම් විසඳුමක් ලැබෙනවා ඇති.

මේ වනවිට අපේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 51කට අධිකයි. රුපියලේ විදේශ අගය දුර්වල වීම නිසා මෙම ණය ප්‍රමාණය විශාල ලෙස ඉහළ යනවා. පියවන්නට අවශ්‍ය වන්නේ එම ගාණටයි. අපට මුහුණපාන්නට සිදුව තිබූ මිල ඉහළ යාමේ අර්බුදයට යුක්‍රේන් රුසියානු යුද්ධය නිසා තවත් තල්ලුවක් ලැබුණා. විදේශවල භාණ්ඩ මිල ඉහළ යාම නිසා අපි විශාල අමාරුවක වැටුණා. ඉන්ධන මිල ඉහළ යාම පමණක් නොවෙයි අනෙකුත් ආනයනවලටද විශාල ඩොලර් ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙනවා.

එසේම විදේශ අපනයනවලටද හානියක් වෙලා තියෙන්නේ. රුසියාව අපේ ප්‍රධාන තේ ගැනුම්කරුවෙක්. රුසියාවේ යුද්ධය පවතින නිසා අපට එරටට තේ යවන්න බැහැ. අපේ ඇඟලුම් අපනයනයද කඩා වැටෙනවා. යුරෝපාකරයට ඇඟලුම් යැවිය නොහැකියි. ආනයනයට විශාල මුදලක් ගෙවන්නට සිදුවන විට අපනයනයද දුර්වල වීම නිසා අපි කබලෙන් ලිපට වැටෙනවා.

ඉන්ධන අර්බුදය නිසා දේශීය නිෂ්පාදනය කඩා වැටෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රය බිඳවැටිලා. විදුලිය කපාහැරීම නිසා රටේ වැඩ කරන පැය ගණන අඩුවෙලා. රාජ්‍ය හා පෞද්ගලික නිෂ්පාදන ආයතනවලට අහිතකරයි. ඒ හේතුවෙන් දස දහස් ගණනක් වූ ඒවායේ සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල අය මහ මගට ඇදවැටීම නවත්වන්න බැහැ. භාණ්ඩ මිල ඉහළ යාම සහ ආදායම පහළ යාම නිසා රටේ වැඩි දෙනකුගේ ජීවන තත්ත්වයට විශාල බලපෑම් එල්ලවෙලා.

අප ගත් ණයවල වාරික ඉදිරියේදී නිසි පරිදි ගෙවිය යුතු වෙනවා. එසේ නොගෙව්වොත් රට ණය ගෙවිය නොහැකි බංකොළොත් රාජ්‍යයක් ලෙසට ප්‍රකාශ වීමට ඉඩ තිබෙනවා. මේ පසුගිය මාසයේ ඉන්දියාවෙන් ගත් ඩොලර් මිලියන 500 මුල් වාරිකය මේ මාසයේ ගෙවිය යුතුව තිබෙනවා. ඒවා කෙටිකාලීන වාණිජ ණය නිසා සහනයක් ලැබෙන්නේ නැහැ. එසේම ඉන්දියාව මෙන්ම වෙනත් රටවල් අපට ණය දෙන විට දැඩි කොන්දේසි දමනවා. එම ණය ඔවුන් කියන දේවලට වැය කළ යුතුයි. අදාළ ව්‍යාපෘති ඔවුන්ට ලබාදිය යුතුයි ආදී වශයෙන් දැඩි කොන්දේසි පනවනවා. දැන් අපි ප්‍රාථමික යුගයේ තිබුණු භාණ්ඩයට භාණ්ඩ හුවමාරු කිරීමේ ගනුදෙනු ක්‍රමයට යළි පැමිණ සිටිනවා. දැන් අපට සිදුව ඇත්තේ ඉරානයට තේ දීලා එරටින් ඉන්ධන ලබාගන්නා තත්ත්වයට පත්වීමටයි.

අද පවතින තත්ත්වය පිළිබඳ නිවැරදි අනාවැකියක් කියන්න අපහසුයි. දැනට ඇති යුද්ධය තව කොපමණ කාලයක් පවතීද යන්න සහ පවතින දේශීය ආර්ථික ගැටලුවට කුමන ආකාරයට විසඳුම් දීමට රජයට හැකිවේද යන්න මත සියල්ල තීරණය වෙනවා ඇත. එසේම රටේ පවතින ආර්ථික ගැටලුව රජය තේරුම් ගෙන එයට දේශපාලනික නොවන ස්ථිර වැඩපිළිවෙළක් යෙදවීම අවශ්‍ය වෙනවා. රජය මේ පිළිබඳ කුමන ක්‍රමවේදයක් යොදාවිද යන්න පිළිබඳ සොයා බැලිය යුතු අතර එය මත රටේ අනාගතය තීරණය වනු ඇත යන්න අපගේ විශ්වාසයයි.''

 යසවර්ධන රුද්රිගූ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05