2022 මාර්තු 13 වන ඉරිදා

රුසියාවේ ජය - පරාජය ආසියාවට තීරණාත්මකයි!

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 183

යුද්ධය යන්න සරල සමාජ ක‍්‍රියාවලියකට අයත් නොවන අතර එය ප‍්‍රබල සමාජ සහ සද්භාව විරෝධී කාරණාවක් බවටද පත්වේ. මනුෂ්‍යත්වය අභිබවා බලය ඉදිරියට ගමන් කිරීමේ ක‍්‍රියාවලියක් ලෙස මෙය තේරුම් ගත යුතුය. යුද්ධය යන සංකල්පයට දිගු ඉතිහාසයක් ඇති බව පැහැදිලි වන අතර එය ලෝක ඉතිහාසයෙහි විවිධ ස්වරෑප ගෙන ඇති බවද පෙනේ. යුද්ධයෙහි ප‍්‍රධාන කේන්ද්‍රීය මූලය වන්නේ බලය යන්නයි. ඒ අනුව බලය යන්නටද තනිව පැවතිය නොහැකිය. බලය නිරන්තරයෙන් සමාජ, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික කාරණා පමණක් නොව මිනිසාගේ අනෙකුත් චින්තන සහ චර්යාමය කාරණා හා ද සම්බන්ධ වේ. ඒ අනුව ලොව බලයෙන් වියුක්ත වන කිසිදු කාරණාවක්ද දැකිය නොහැකි වේ. 

මෙය මිනිසා විසින් නිවැරදිව කළමනාකරණය කර නොගතහොත් එහි අනිසි භාවිතයන් පමණක් නොව අනිසි ස්වරූප තුළ ගොඩනැගෙන පීඩනයන් සහ අවිනිශ්චිත හැඟීම්වලින්ද මිනිසාට පමණක් නොව ගෝලීය සමස්ත සත්ත්ව සංහතියටම ප‍්‍රබල ගැටලු නිර්මාණය කරනු ඇත. බලය සහ ශක්තියෙහි අනිසි භාවිතය මිනිසාව සංවර්ධන ඉලක්ක වලින්ද බැහැරට ගෙන යනු ලබන බව පෙනේ.

ලෝකයෙහි යුධ සහ සංස්කෘතික පරිවර්තන ඉතිහාසයන්හි එක් ප‍්‍රබල සංධිස්ථානයක් බවට පත් වන්නේ 14 සහ 15 වැනි සියවස්ය. පෘතුගීසි, ලන්දේසි, ස්පාඤ්ඤ, ප‍්‍රංශ සහ බ්‍රිතාන්‍ය ආදී වශයෙන් යුරෝ කේන්ද්‍රීය අධිරාජ්‍යවාදී ක‍්‍රමවේදයකට අනුව බල ව්‍යුහය ගොඩනැංවීම එම අවදිය තුළ දැකිය හැකි විය. මෙම යුරෝ කේන්ද්‍රීය චින්තනය සහ ක‍්‍රමවේදය පොදු එකක් ලෙස මහත් වගකීමෙන් යුතුව ඉතිහාසයෙහි පිළිගැනුණු බැව් පෙනේ. මෙම යුගයෙහි සන්නිවේදනයද ලංඩන් කේන්ද්‍රීය විය. ඒ අනුව 15 වැනි සියවසෙහි සිට 19 වැනි සියවසෙහි මැද භාගය වන තෙක්ම ලෝකය පාලනය කළේ එංගලන්තය විසිනි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මෙම බලය බටහිරට මාරුවන ආකාරය පැහැදිලිය. බටහිර අවශ්‍යතාව වන්නේද ගෝලීය බලය සහ එහි ආධිපත්‍යයික ස්වරූප වෙනස් කොට බටහිරට බලය නතුකර ගැනීමය. රුසියානු සහ යුක්‍රේන යුධ ගැටලුව වර්තමානයෙහි මතුවන්නේ ද මෙම පසුබිම කේන්ද්‍රීයවය. 

එහි පළමු අදියර ලෙස සෝවියට් සමූහාණ්ඩුව 1991 පමණ වනවිට බිඳ වැට්ටවීම දැකිය හැකි විය. ඉතිහාසයෙහි රුසියාව යනු තවද රටවල් කිහිපයක් හා සම්බන්ධ වූ ප‍්‍රබල සමූහාණ්ඩුවක් පමණක් නොව පෘථිවි බලය බටහිරට එරෙහිව ගොඩනැංවූ ප‍්‍රධානතම කලාපය බවටද පත්විය. මෙම තත්ත්වය පශ්චාද් දෙවැනි යුධ සමයෙහි රුසියාව, ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එක්ව යුරෝපය සංස්කරණය කළ යුත්තේ කෙසේද යන සාකච්ඡාව තුළ දී ස්ටාලින් විසින් සෝවියට් සංගමයට ආරක්ෂක වළල්ලක් ගොඩනගා ගැනීම යෝජනා කරන ලද අතර එහි ප‍්‍රතිඵල අනුව පෝලන්තය, හංගේරියාව, බල්ගේරියාව ආදී රටවල් සෝවියට් සංගමයෙහි පරිවාර රටවල් ලෙස සැකසුණු ආකාරයත්, ආර්ථික සහ මිල්ටරි බලයෙහි සකස් කිරීමක්ද ඒ අනුව දැකිය හැකි විය.

සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමත් සමඟින් පරිවාරයෙහි රටවල් ස්වාධීන වූ අතර එහි සමහර රටවල් නේටෝ සංවිධානය හා සම්බන්ධවීමද දැකිය හැකි විය. වර්තමානයෙහි යුක්‍රේනය එම ආරක්ෂක වළල්ලෙන් ඉවත් වන්නේ නම් එය රුසියාවේ ආරක්ෂාවට ප‍්‍රබල තර්ජනයක් වන බවද ඔවුන් පැහැදිලි කර ගෙන සිටිති. රුසියාව තම රටෙහි ආරක්ෂාව පිළිබඳ මතුවන ගැටලුව පිළිබඳ වසර 15ක් පමණ සාකච්ඡා කළත් එයට පිළිගත හැකි පිළිතුරක් යුරෝපයට හෝ බටහිරට දිය නොහැකි විය. යුක්‍රේනය නේටෝ සංවිධානයෙහි සාමාජිකත්වය මෙම යුද්ධය වර්ධනය වී පස් වැනි දිනයෙහිදීත් ඉල්ලා සිටියේ රුසියාවෙන් එල්ලවන තර්ජන වළක්වා ගැනීමට පමණක් නොව තම රට බටහිර බලය හා සම්බන්ධ වන බවට නැවත පෙන්වා දෙමින් එයද තර්ජනයක් ලෙස රුසියාවට හැඟවීම සඳහාය. එහෙත් එය තවම නොලැබීම තුළ බටහිර සහ යුරෝපය යුක්‍රේනය නේටෝහි සාමාජික රටක් ලෙස නොසලකනු ලබයි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපය තුළ ඇතිවූ ප‍්‍රබලතම යුද තත්ත්වය මෙය බවද පැහැදිලිය. යුක්‍රේනයට පහර දෙමින් රට අභ්‍යන්තරයට රුසියානු හමුදා ගමන් කරමින්සිටී. එනම් යුක්‍රේනයට නැගෙනහිරින්, ක්‍රිමියාව දෙසින් සහ බෙලරුසියාව දෙසිනි. මේ වනවිටත් ලොව තහනම් කර ඇති පොකුරු බෝම්බ හෙළීමද දැකිය හැකි අතර විශාල හමුදා ඛණ්ඩද යුක්‍රේනයට ඇතුළු වෙමින් පවතී. රුසියාව ස්වකීය න්‍යෂ්ටික ආයුධ සීරුවෙන් තබා ඇති බවත්, ස්වකීය පවුලේ සාමාජිකයින් න්‍යෂ්ටික බෝම්බවලින් ආරක්ෂා වීම සඳහා සයිබීරියාවේ සඟවා ඇති බවත් පෙන්වා දෙමින් බටහිර ලෝකයට ප‍්‍රබල තර්ජනයක්ද එල්ල කර තිබෙන්නේ තමා යුද්ධයට සූදානම් බව පෙන්වා දීමක්ද ලෙසිනි. රුසියාව මුදල් සංචිත පවා ගොඩනගමින් යුද්ධයට පූර්ව සූදානමක් ගෙන තිබූ බව පැහැදිලි කරුණකි.

මෙම යුධ තර්ජනයත් සමඟින් යුක්‍රේනයට නේටෝ ඇතුළු යුරොපය සහ බටහිර රටවලින් බලාපොරොත්තු වූ සහාය නොලැබුණු බැවින් එම රටවල් තමා රුවටූ බවත්, නේටෝ පිළිබඳ දැඩි විශ්වාසයක් තබා තමන් කටයුතු කළත් එම සහාය මෙම මොහොත තෙක් නොලැබෙන බවත් යුක්‍රේන් ජනාධිපතිවරයා ලෝකයටම ප‍්‍රකාශ කර සිටියේය. යුක්‍රේනය මෙම බටහිර බලය හා සම්බන්ධවීමේ ආරම්භක සූදානම වසර 2013 /2014 බලයට පත්වූ ආණ්ඩුව කාලයෙහි සිටම දැකිය හැකි විය. මෙම ආණ්ඩු පෙරළියද බටහිර කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් බව පෙන්වා දෙයි. එහි ප‍්‍රතිඵල ලෙස බටහිර සහ නේටෝහි බලය රුසියාවෙහි එළිපත්තටම පැමිණීම දැකිය හැකිය.

වර්තමාන යුක්‍රේන් ජනාධිපතිවරයා වොලඩිමීර් සෙලෙන්ස්කි වන අතර ඔහු 2019 මැයි මස සිට මහජන ඡන්දයෙන් පත්ව ආණ්ඩුව මෙහෙයවයි. 2014 වන තෙක් රුසියානු හිතැති ආණ්ඩුවක් යුක්‍රේනයෙහි පැවතුණි. මෙම තත්ත්වය නිසාම ක‍්‍රිමියාවෙහිද මැතිවරණයක් පවත්වා 2014 වසරෙහි රුසියාවට ඈඳාගැනීම දැකිය හැකි විය. මෙම යුද්ධය තවමත් පවතින්නේ රටවල් දෙකක් අතර වුවද, මෙය මූලෝපායික මෙහෙයවීමක් විය හැකි බවද, යුක්‍රේනය මෙම ලෝක බල අරගලයෙහි වින්දිතයා බවට වර්තමානයෙහි පත්වන රට බවද පැහැදිලි කරගත යුතුය. මෙහි ප‍්‍රධාන සතුරු බලවේග දෙක වන්නේ නේටෝව සහ රුසියාවයි. නේටෝව සහ අනෙකුත් බටහිර රටවල් පැහැදිලි කරන්නේ මෙම අර්බුදයෙහිදී යුක්‍රේනය සඳහා හමුදාමය මැදිහත් වීමක්ද සිදු නොකරන බවයි. යුක්‍රේනය නොබැඳි පිළිවෙතක් අනුගමනය කළ යුතුව තිබුණත් ඔවුහු බටහිර උපක‍්‍රමවලට හසුවී ඇති බවත් බටහිර හැසිරීමේ ස්වරූප තුළින් පැහැදිලි කරගත හැකිය.

ඕනෑම රාජ්‍යයක් නිරායුධ කිරීම තුළින් ආණ්ඩු බිඳ වැට්ට විය හැකි අතර එය රුසියාව විසින් මේ වනවිටත් ඉටුකරමින් සිටී. ඒ අනුව ඔවුන් නිසි ඉලක්කවලට ප‍්‍රබල ප‍්‍රහාර එල්ල කරමින් ජනතා ඝාතනවලින් වැළකීමට ප‍්‍රබල උත්සාහයක්ද ගනියි. යුද්ධ ආදී උපක‍්‍රමවලින් ආණ්ඩු වෙනස් කළ හැකි වුවත් ගොඩනගන ආණ්ඩුවෙහි පැවැත්ම නිරන්තරයෙන් රැඳී පවතින්නේ ජනතා ජයග‍්‍රහණ තුළ බව පැහැදිලිය. ඒ අනුව රුසියාවට යුද්ධය ඉතා ඉක්මනින් අවසන් කිරීම අත්‍යවශ්‍ය වන අතර යුක්‍රේනයට සහ බටහිරට යුද්ධය තවදුරටත් අල්ලාගෙන සිටීම අවශ්‍ය වන්නේ එහි මූලෝපායික සැලැස්මක් ලෙසිනි.

එහි එක් ප‍්‍රබලතම උපක‍්‍රමයක් වන්නේ රුසියාවෙහි යුද ශක්තිය ප‍්‍රබල වන බැවින් එමගින් එය ලොව තුළ පරාජය කිරීමයි. රුසියානු නායකයා ප‍්‍රථම සාම සාකච්ඡාව සිදුකිරීමට පෙරත් යුක්‍රේනය ආයුධ බිම තැබිය යුතු බව සඳහන් කළත් ඒ පිළිබඳ යුක්‍රේනය සැලකිල්ලක් නොදැක්වීය. යුක්‍රේනය ආයුධ බිම තැබුවහොත් යුක්‍රේනයෙහි දේශපාලන සහ බල පැවැත්ම සඳහා එය ප‍්‍රබල ලෙස බලපානු ලබන අතර බටහිර විසින් යුක්‍රේනයෙහි ආයුධ බිම තැබීමට පසුබිම සකස් නොකරන බවත් පැහැදිලිය. 
බටහිර විසින් මෙයට වඩා යුද්ධ මූලික කරගෙන ප‍්‍රබල ආක‍්‍රමණයන් සිදුකොට ඇති බව ඉතිහාසය සහ වර්තමානය තුළින් පැහැදිලි කරගත හැකිය. නිදසුන් ලෙස යේමනය, හයිටිය, ඉරාකය, සෝමාලියාව, ඇෆ්ගනිස්තානය, වියට්නාමය, ලිබියාව, සිරියාව, යුගෝස්ලාවියාව ආදී රටවලට එරෙහිව බටහිර සටන් කරන අවස්ථාවන්හිදී බොහෝ රටවල් නිහඬව සිටීම දැකිය හැකි විය. අරාබි ලෝකයෙන් පැමිණි තර්ජන අරාබි වසන්තය මගින් විනාශ කර දමනු දැකිය හැකි වූ අතර ඒ අනුව අරාබි ලෝකයේ නැගී සිටීමද වසර ගණනාවකට සිදු නොවන බව පැහැදිලිය.  

ආසියාවෙහි බලයටද ප‍්‍රබල තර්ජනය එල්ල වෙමින් තිබෙන ආකාරය දැකිය හැකි වේ. රුසියාව යම් ආකාරයකින් මෙම යුද්ධයෙහි පසුබෑමක් ගොඩනගා ගතහොත්  යුරෝ ආසියානු කලාපයටද බටහිර විසින් ප‍්‍රබල බලපෑමක් සිදුකරන බව පැහැදිලිය. විශේෂයෙන් තායිවාන් අර්බුදය තවදුරටත් උත්සන්න කරමින් චීනයට බලපෑම් කිරීමත් සමඟින් යුරෝආසියානු ආර්ථික සහ බල දේශපාලනයෙහි ශක්තිමත් වීමට එරෙහි වෙමින් බටහිර බලය මෙම කලාපය තුළද ගොඩනංවනු ඇත.

මේ අනුව ලොව යුද ශක්තිය පමණක් නොව භූගෝලීය ආර්ථික සහ අනෙකුත් බලශක්තීන්ගෙන්ද ඉදිරියෙන් සිටින ප‍්‍රබල රටක් බවට රුසියාව පත්වෙයි. රුසියාව යනු ලොව විශාලතම රාජ්‍යයක් වන අතර එය ලෝක භූමියෙන් 1/8 ක් පමණ වේ. ලොව භූමියෙන් විශාලතම රටවල් ලෙස රුසියාව, කැනඩාව, චීනය, ඇමෙරිකාව, බ‍්‍රසීලය,  ඕස් ට්‍රේලියාව, ඉන්දියාව, ආජන්ටිනාව වැනි රටවල් පිළිවෙළින් සැලකිය හැකිය. එහෙත් ජනගහනයෙන් විශාලතම රටවල් ලෙස චීනය, ඉන්දියාව, ඇමෙරිකාව, ඉන්දුනීසියාව, පාකිස්ථානය, බ‍්‍රසීලය, නයිජීරියාව, බංගලාදේශය සහ රුසියාව දක්නට ලැබේ. රුසියාව සම්පත් වලින් බහුල රටක් වන අතර තෙල් සහ ස්වභාවික ගෑස් නිධි සහ ගල් අඟුරු නිෂ්පාදනවලින්ද යුක්තය. ලොව ප‍්‍රධාන පිටි නිෂ්පාදකයන් අතර රුසියාව, චීනය, ඉන්දියාව පිළිවෙළින් සිටින අතර යුක්‍රේනය එහි පස්වැනි ස්ථානය ගනු ලබයි. මේ වනවිටත් මැදපෙරදිග සහ උතුරු අප‍්‍රිකානු රටවල පිටි අර්බුදයක් හටගෙන තිබේ.

රුසියාව දිනකට තෙල් බැරල් මිලියන 4ත් 5ත් අතර ප‍්‍රමාණයක් අපනයනය කරනු ලබයි. මේ වනවිටත් ලොව වඩාත්ම සම්බාධකවලට මුහුණ දෙන රට බවට පත් වන්නේත් රුසියාවයි. මේ වනවිටත් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය රුසියාවෙන් තෙල් ආනයනය කිරීම සීමා කිරීමට සාකච්ඡා කොට තිබේ. ඇමෙරිකාව සෞදි අරාබියෙන් තෙල් නිකුත් කිරීම වැඩිකරන ලෙසත් ඉල්ලා ඇති අතර මේ පිළිබදව වෙනිසියුලාව සහ ඉරානය සමඟද සාකච්ඡා කොට තිබේ. යුද්ධය ආරම්භ වන මොහොතෙහිම ගෝලීය තෙල් අර්බුදයක් ගොඩනැගීම දැකිය හැකිවූ අතර අද වනවිට එය උත්සන්න වෙමින් පවතී. ශ‍්‍රී ලංකාවෙහිද තෙල් මිල ඉහළ යාමටද මෙහි බලපෑම ප‍්‍රබල වනු ඇත. මේ අනුව 40%කටත් වඩා ප‍්‍රමාණයකින් තවද තෙල් මිල ලෝක වෙළෙඳ පොළෙහි වැඩිවීම නොවැළැක්විය හැකිය. එමෙන්ම කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදනයටද ප‍්‍රබල ගැටලු මේ තුළින් නිර්මාණය වී තිබේ.

ලොව ප‍්‍රබලතම අවි මේ වනවිටත් රුසියාව සතුව ඇති බවට විශ්වාසයක් ලෝකය තුළ පවතී. ලෝකයෙහි යුද කටයුතු පිළිබඳ විශාල වැය ඇස්තමේන්තුවක් ඇමෙරිකාව සතු වුවත් එය බොහෝ දුරටම ලෝකයෙහි පවතින හමුදා කඳවුරු නඩත්තුකරණය සඳහා  වැයවන බව පැහැදිලි වුවත් රුසියාව බොහෝ දුරටම යුද කටයුතු සඳහා වෙන් කරන මුදල් යුද්ධයට අවශ්‍ය තාක්ෂණික සහ පර් යේෂණ කටයුතු සඳහා වැයකරන බවත් පැහැදිලිය. ඒ අනුව නව තාක්ෂණික ආයුධ නිෂ්පාදන, නව යුධ අභ්‍යාසකරණ, නව උපක‍්‍රම සහ සැලසුම් අතින් රුසියාව ඉදිරියෙන් සිටින බව පැහැදිලිය.  

ඇමෙරිකාව ඇතුළු රටවල් දැඩි ලෙසම රුසියාවට සම්බාධක පැනවීමත් සමඟින් ලෝක සිතියමෙන් ඔවුන්ව වෙන් කිරීමට සැලසුම් කරන බවද පැහැදිලිය. යුක්‍රේන නායකයාද මෙම යුද්ධය අත්නොහරින බව ප‍්‍රකාශ කරයි. මෙය අනාගතයෙහි ප‍්‍රබල ගරිල්ලා සංවිධාන නිර්මාණය වීමේ ගැටලුවක්ද මතුකොට තිබේ. සම්බාධක යනු යුද්ධයක් ඇති අවස්ථාවක ප‍්‍රබල අවියක් වුවත් එහි ප‍්‍රතිඵල රුසියාවට හෝ සම්බාධක පනවන රටවලට පමණක්ද නොව ලෝකයෙහි අනෙකුත් රටවලට සහ ලෝක ආර්ථිකයටද ප‍්‍රබල බලපෑමක් සිදුකරනු ඇත.

මුළු ලෝකයම වර්තමානයෙහි සම්බන්ධ වන්නේ ආර්ථික කාරණාවන් මූලික කර කරගෙනය. චීනය දැනටමත් මෙම යුද්ධය නිසා වෙළෙඳ ගැටලු නිර්මාණය වන බව පෙන්වා දී ඇත. වර්තමානය වනවිට ලොව විශාලතම ආර්ථිකය විදේශ වෙළඳාම පදනම්ව පවතින බැවින් ලෝකයෙහි පරිභෝජනය පිළිබඳ ගැටලු නිර්මාණය වුවහොත් එය වෙළෙඳ ආර්ථිකය බිඳ දැමීමට ප‍්‍රබල හේතුවක් බවට පත්වන බවත් පැහැදිලි කරයි.

මෙම ලෝක සම්බාධක රුසියාවට පැනවීමත් සමඟ රුසියානු රූබලය ද වේගයෙන් කඩා වැටෙමින් තිබෙන බව පෙනේ. එරට පොලී අනුපාතික වේගයෙන් ඉහළ යමින්  පවතී. එංගලන්තය ද විරෝධය පළ කරමින් එහි වරායන්ට රුසියානු නැව් ඇතුළුවීම සහ තෙල් ආනයනයද තහනම් කොට තිබේ. ස්විට්සර්ලන්තයද මැදහත් ප‍්‍රතිපත්තියෙන් ඉවත් වී මෙම යුද්ධයට විරෝධය එල්ල කරමින් සම්බාධක පැනවූ රටවල් අතර ප‍්‍රධාන රට බවටද පත්ව සිටින අතර ස්වකීය රටෙහි තිබෙන රුසියානු වත්කම් ද තහනම් කිරීමට තීරණය කොට තිබේ. ක‍්‍රීඩා තරග සඳහාද රුසියානුවන්ට සම්බාධක පනවා තිබේ.  රුසියානුවන්ට රුසියානු ජාතික ගීය හෝ වර්ණ සහ රුසියානු අනන්‍යතා භාවිත කිරීම ලෝක ක‍්‍රීඩා සංගම් තුළ තහනම් කොට තිබේ. රුසියානු බැංකු ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියෙන්ද විසන්ධි කිරීමද දැකිය හැකි වේ. මෙලෙස රුසියාව ජාත්‍යන්තරයෙන් ඉවත් කිරීමට  බටහිර දරන උත්සාහය සරල නොවන බව පැහැදිලිය.  

මෙම බටහිර හැසිරීම්හි ප‍්‍රතිඵලයක් ලෙස රුසියාව චීනය සමඟ ආර්ථික දේශපාලනික සහ සමාජ සබඳතා තහවුරු කරගනිමින් ලෝක බලතුලනයෙහි ප‍්‍රබල වෙනසක් නිර්මාණය කිරීමද අනාගතයෙහි දැකිය හැකිවේ. චීනය නිරන්තරයෙන් රුසියානු සබඳතා ගොඩනගන අතර රුසියානු ප‍්‍රධාන අපනයනයන්ටද චීන භූගෝලීය සහ සමාජ සීමාවන් පෙරට වඩා විවෘත වීම් දැකිය හැකි වේ. උතුරු කොරියානු සහ චීනය අතරද තවද සබදතා තහවුරු වනු ඇත. මෙම යුක්‍රේන  සහ රුසියා අර්බුදය යනු එම දෙරටට පමණක් සීමා නොවන අතර ලෝකයෙහි ආර්ථික සමාජ සංස්කෘතික සහ දේශපාලන පමණක් නොව මෙම සියලු කාරණාවන් පාදකව ගොඩනැගෙන බල තුලනයෙහි සහ යුධ ආකෘතීන්වලද ප‍්‍රබල වෙනසක් නිර්මාණය කරනු දැකිය හැකි වේ.
වර්තමානය වනවිට මූල්‍ය ධනවාදය සහ ජාල ක‍්‍රමවේදය අතර ගොඩනැගෙන ප‍්‍රබල අන්තර් සබඳතාව මගින් ඉතිහාසයට වඩා ආර්ථිකයෙහි සහ සත්‍යයෙහි ද වෙනස්කම් ජාලය තුළ මිනිසුන් රඳවා ගැනීම් සහ ඔවුන්ගේ මානසික තත්ත්ව වෙනස් කිරීම් අරමුණු කරගෙන  ක‍්‍රියාත්මක වනු දැකිය හැකි වේ. වර්තමානය වනවිට ගෝලීය මූල්‍ය අර්බුදය ප‍්‍රබල වී ඇති ආකාරය දැකිය හැකි අතරම පශ්චාද් ගෝලීය ක‍්‍රමවේදය තුළ කලාපීය ස්වරූපයන්හි බලගැන්වීම්ද දක්නට ලැබේ. 

ඒ අනුව ජාතික අවශ්‍යතා සහ ප‍්‍රමුඛතාවන් ගොඩනඟාගත් චින්තනය සහ චර්යා පද්ධති අත්‍යවශ්‍ය යුගයක් බවට මේ වනවිටත් පත්ව තිබේ. මේ තුළ අනවබෝධිත සැලසුම් සහ ප‍්‍රතිපත්තිවලින් ඉවත්ව අනාගත සමාජ සංරක්ෂණ ප‍්‍රයෝග උපයෝගී කරගනිමින් සමාජ දේශපාලනික ආර්ථික සහ සංස්කෘතික කරුණු මෙහෙයවීම අතිශය වැදගත් වනු ඇත. මේ අනුව දේශීය මිනිසා ශක්තිමත් කිරීමේ කාලය පැමිණ ඇති බැව් ද පැහැදිලිය.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05