2022 මාර්තු 13 වන ඉරිදා

ඇනස්ලි, සැමුවෙල් සොයා ගිය බර්ටි ගුණතිලක

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 296

සිංහල සිනමාවේ සිටි ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පියා වූ බර්ටි ගුණතිලක පසුගියදා ජීවිත සිනමාවෙන් සමුගත්තේය. හරියටම මීට අවුරුදු හැත්තෑවකට ඉහත 1952 දී තිරගත වූ ''බණ්ඩා නගරයට පැමිණීම'' චිත්‍රපටයෙන් ඔහු රඟපෑම ආරම්භ කළේ තම නැගණිය වූ චාන්දනී ගුණතිලක සමඟය. විකට චරිත රඟපෑ බර්ටි ඉන්පසු ජනප්‍රිය වූයේ ගුවන්විදුලියේ ප්‍රචාරය වූ ''විහිළු තහළු'' හා ''විනෝද සමය'' විකට නාට්‍යවලින් ශ්‍රාවකයන් සිනහ සයුරේ ගිල්වමිනි. එකල විකට ත්‍රිත්වයක් වූ බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස් හා සැමුවෙල් රුද්‍රිගූ ගුවන්විදුලියේ සුපිරි තරු වූහ.

1924 වසරේ අගෝස්තු 02 වැනිදා අම්පාරේදී උපත ලැබූ මෙස්ටියගේ දොන් හෙන්රි සංඝතිස්ස ගුණතිලක පසු කලෙක කලා ලෝකයට එක්වූයේ ''බර්ටි ගුණතිලක'' නමිනි. මහනුවර අම්පිටියේ හැදී වැඩුණු ඔහු මහනුවර අම්පිටිය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. පාසල් වේදිකාවේ ''අන්දරේ'' නාට්‍යයෙන් ප්‍රේක්ෂකයන්ගේ හද දිනූ මේ පුංචි අන්දරේ පසු කලෙක මුළු රටම සිනා සයුරේ ගිල්වීමට සමත් විය.

බර්ටිගේ පියා වූ හෙන්රි ගුණතිලක වතු පාලකයෙකි. මව වූයේ මියුරියල් පෙරේරාය. හත්දෙනකුගෙන් යුත් පවුලක බර්ටි දෙවැනියාය. වැඩිමහල් අයියා ලයනල්ය. ඔහුගේ බාල සොහොයුරු සොහොයුරියන් වූයේ හේසල්, කොලින්, මේබල්, ජුනී, අයිලින්ය. පුංචි කාලේ දඟයකු වූ බර්ටි අම්පිටියේ විද්‍යාලයෙන් අස්කොට මහනුවර සංඝරාජ පිරිවණට ඇතුළු කිරීමට පියා තීරණය කර එහි පරිවෙණාධිපති මේධංකර නාහිමියන්ට භාර කළේය. බර්ටිගේ පියාගේ ඥාතියකු වූ මේ හිමිගේ අරමුණ වූයේ තම ඥාති පුත්‍රයාට සිංහල, පාලි, සංස්කෘත උගන්වා ප්‍රාචීණ විභාගය සමත් කොට මහණ කිරීමටය.

මහණ වුණාම හොඳට දානේ කන්න පුළුවන් බව දැන සිටි බර්ටි ප්‍රාචීණය සමත්ව, ජ්‍යෙෂ්ඨ ද සමත් වූ පසු මහණ වීම පසෙක දා ආයුර්වේද වෛද්‍යවරයෙක් වීමට සිතුවේය. කෙටි කලක් ආයුර්වේද විද්‍යාලයේ ඉගෙනගත් ඔහු ගුරු වෘත්තිය තෝරාගත්තේය. ලේඛන කලාවට ඇළුම් කළ බර්ටි ගුරු වෘත්තියට ආයුබෝවන් කියා පුවත්පත්වලට ලිපි ලියා ඇත. එතැනින් නොනැවතුණු ඔහු සෝදුපත් බලන්නකු ලෙස ''සිංහල බෞද්ධයා'', ''සිංහල ජාතිය'', ''සිංහලේ'' පත්‍රවල වැඩ කොට ලේක්හවුස් ආයතනයට බැඳුණේද සෝදුපත් බලන්නකු ලෙසය. එකල සෝදුපත් බලන්නා යනු පත්‍රයක දෙවැනි කර්තෘ වැනි රාජකාරියක් බවත්, තමා සමඟ සෝදුපත් බලන්නන් ලෙස විශ්‍රාමික විදුහල්පතිවරුන්, ප්‍රකට කවියන්, ලේඛකයන් සිටි බවත් ඔහු පවසා තිබුණි. ලේක්හවුසියේ සෝදුපත් බලන කණ්ඩායමේ මූලිකයා වී ඇත්තේ ප්‍රකට කවියකු වූ එච්.එම්. කුඩලිගමලු.

බර්ටි තරුණ වියේ සිට වාමාංශිකයෙකි. වසර 15ක් ලේක්හවුස්හි සේවය කළ ඔහු වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා වැඩවර්ජනයක යෙදීම හේතුවෙන් පාලකයන්ගේ කෙණෙහිලිකම් නිසා ඉල්ලා අස්වී ඇත. පසුව ඔහු වත්තල නගරයේ පොත් සාප්පුවක් පවත්වාගෙන ගියේ ලෙනින්, මාක්ස් ආදීන්ගේ ද ටෝල්ස්ටෝයි, ගෝර්කි, චෙකොෆ් ආදීන්ගේ පොත් සහන මිලකට විකුණමිනි.

බර්ටි හා ගුවන්විදුලියට සම්බන්ධ වන්නේ යූ.ඒ.එස්. පෙරේරා (සිරි අයියා) මෙහෙයවූ ''ළමා තීරය''ට එක්වෙමිනි. ඒ 1947 දී පමණය. කුඩා කල සිටම හාස්‍යයට, විනෝදයට කැමැති බර්ටි විකට ගුවන්විදුලි ශිල්පියකු ලෙස අත්පොත් තැබුවේ 1952 වසරේදීය. ඒ වනවිට බර්ටි රඟපෑ ''බණ්ඩා නගරයට පැමිණීම'' චිත්‍රපටයේ ඔහු රඟපෑ විකට චරිතය අතිශයින්ම ජනප්‍රියව තිබුණේය. එච්.ඩී. විජේදාස රචනා කොට නිෂ්පාදනය කළ ''විහිළු තහළු'' වැඩසටහනේ ''සූප්පුවා'' චරිතය රඟපාමින් බර්ටි ගුවන්විදුලි ශ්‍රාවකයන් අතර ජනප්‍රිය විය. බර්ටි, ඇනස්ලි, සැමුවෙල් තුන් කට්ටුව අතිශයින්ම ජනප්‍රිය වූහ. ඒ අතරට ඇල්ෆ්‍රඩ් පෙරේරා, ස්වර්ණ ශ්‍රී සරත්වීර, එච්.ටී. බස්නායකද එක්වූහ.

බර්ටි සිනමාවට එක්වන්නේ එවකට සිටි විකට රාජා වූ ජෝසෆ් සෙනෙවිරත්න නිසාය. ගුවන්විදුලියේ විකට ජවනිකා රඟපෑ ඔහු පුවත්පත්වලට විකට නාට්‍ය රචනා කළේය. ජෝසෆ් තමා ප්‍රධාන චරිතය රඟපෑ ''බණ්ඩා නගරයට පැමිණීම'' චිත්‍රපටයට බර්ටි මෙන්ම ඔහු නැගණිය චාන්දනී සෙනෙවිරත්නද රංගනයෙන් සහභාගි කර ගත්තේය. පසුව චාන්දනී විවාහ කර ගත්තේද ජෝසෆ් සෙනෙවිරත්නය.

බර්ටි මුල් යුගයේ රඟපෑ චිත්‍රපටය වූයේ ''එදා රෑ'' (1953), අබුද්දස්ස කාලේ (1968), සමාජ සතුරෝ හා බිනරමලී (1969), ලක්සෙට කොඩිය (1970), ජීවන ගංගා (1974), සිකුරුලියා (1975) චිත්‍රපටයයි. එතැන් සිට 2003 තිරගත වූ ''හිත හොඳ පිස්සෝ'' චිත්‍රපටය දක්වා චිත්‍රපට 25ක පමණ රඟපෑ අතර ඒවා අතරද කෝලංකාරයෝ, මරුවා සමඟ වාසේ, සොමි බෝයිස්, නැව ගිලුණත් බෑන් චූන් චිත්‍රපට විශේෂය.

වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය නළුවකු වූ ඔහු වඩාත් තෘප්තිමත් වී ඇත්තේ ගුවන්විදුලියේ ''විහිළු තහළු'', ''විනෝද සමය'' නාට්‍යවලය. ඒ කාලයේ සර් ජෝන් කොතලාවල බණ්ඩාරනායක අගමැතිවරුන්ගේ ඇතැම් ක්‍රියාකලාප විවේචනය වන ලෙස විකට වැඩසටහන් ඉදිරිපත් කර ඇතත් කිසිදා අමාරුවේ වැටී නැත. ගුවන්විදුලි නාට්‍ය රචකයකු වූ ඔහු ඒ සඳහා බස් රියේ, දුම්රියේ මගියකු ලෙස ගමන් ගන්නා විට ලැබූ අපූරු සිද්ධි ඇසුරෙන් නිර්මාණය කර තිබිණි.

කොපමණ විකට චරිත රඟපෑවද, ගෙදරදී බර්ටි දරුවන්ට ආදරය සඟවා තරවටු කරමින් තද පාලනයක් ගෙන ගොස් ඇත. ඔහු වැඩිමහල් පුතා භාරත කියා ඇත්තේ, තාත්තා හාස්‍ය හා විහිළුව රඟපෑවත් ඒවා ගෙදර නොගෙන ආ බවය. සෝමා ගුණතිලක බර්ටිගේ ආදරණීය බිරියයි. භාරත, ජීවනී, කුමුදුනී මේ යුවළගේ දූ දරුවන්ය.

ජීවිතයේ අන්තිම කාලයේ බර්ටි ''ඇත්ත'' පත්‍රයට ලිපිත්, විනෝද කතාත් ලියා ඇත. ගොඩකවෙල තම දියණියකගේ නිවෙසේ පදිංචිව සිටි බර්ටි තම විකට තුන්කට්ටුවේ සිටි මියගිය ඇනස්ලි ඩයස් හා සැමුවෙල් රොද්‍රිගූ සොයා යමින් ජීවිතයෙන් සමුගත්තේය. 

 ඒ.ඩී. රන්ජිත් කුමාර