මෙවර මාස් කන්නයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී තිබේ. දැනට වැඩි වශයෙන් අස්වනු නෙළීමේ කටයුතු සිදු කෙරෙනුයේ මහවැලි බී සහ සී කලාපවලය. කලකට පෙර මිනිස් ශ්‍රමය භාවිත කර දෑකැතිවලින් ගොයම් කැපීම සිදුකළද දැන් සෑම ගොවිබිමකම අස්වනු නෙළීම සිදුකරනුයේ යන්ත්රානුසාරයෙනි. එම නිසා මේ දිනවල රටේ පවතින ඩීසල් හිඟය වී අස්වැන්න නෙළීමේ කටයුතුවලටද දැඩි ලෙස බලපා ඇතැයි ගොවීහු කීහ. ඒ හේතුවෙන් කලට වේලාවට අස්වැන්න නෙළාගැනීමට නොහැකි වී තිබෙන බවද බොහෝ ගොවීහු අප සමඟ කියා සිටියහ. අස්වනු නෙළීමේ යන්ත්‍ර සඳහා මීට පෙර කන්නවලදී අය කළ කුලියට වඩා වැඩි කුලියක් මෙවර අයකරන බවද ඇතැම් ගොවීහු කියති. එමෙන්ම පසුගිය මාස් කන්නයේ ලබාගත් අස්වැන්න ප්‍රමාණය මෙවර ලැබී නොමැති බවත් එය විශාල වශයෙන් අඩුවී ඇති බවත් ගොවීහු ප්‍රකාශ කළේ හැඬූ කඳුළින් යුතුවය.
මහවැලි බී කලාපයේ දැනට වී අස්වනු නෙළන ගම්මානවලදී අපට මුණගැසුණු ගොවීන් බොහෝ දෙනකු කියා සිටියේ මෙවර වී අස්වැන්න වෙනදා ලබාගත් ප්‍රමාණයට වඩා හරි අඩකටත් වඩා අඩුවී තිබෙන බවයි. මේ හේතුවෙන් මෙවර වගාව සඳහා ලබාගත් ණයතුරැස් පවා ගෙවා දැමීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව ඔවුහු කියති. ලබන කන්නයේ රජය මගින් වී වගාව සඳහා රසායනික පොහොර ලබා නොදෙන්නේ නම් වගාව අත්හැරීමට සිදුවනු ඇතැයිද ඒ ගොවීහු කියා සිටියහ.
ගියපාර කිලෝ 7000යි: මේ පාර 2500යි
දිඹුලාගල, පැලෑටියාව, මහවැලි ගම්මානයේ ගොවි මහතෙකු වන යූ.ආර්. ප්‍රියන්ත අජිත්
''මේ වතාවේ වී අස්වැන්න හොඳටම අඩුයි. රජයෙන් ලබාදුන්න කාබනික පොහොර විතරයි යෙදුවේ. වෙනත් කන්නවලදී රසායනික පොහොර යොදලා හෙක්ටයාර් එකකින් වී කිලෝ 7000ක් විතර ගත්තා. නමුත් මේ සැරේ තියෙන්නේ වී කිලෝ 2500ක් විතර. ඒ වගේම මේ සැරේ බොල් වැඩියි. මේකට හේතුව රසායනික පොහොර නැතිකම. අපි ගොවිතැන් කරන්නේ අතේ මිටේ මිල මුදල් තිබිලා නෙවෙයි. ණය තුරැස් වෙලා, කනකර උගස් කරලා සල්ලි හොයාගෙන. මේ විදියට දහදුක් විඳලා ගොවිතැන් කරලා අන්තිමේ ලැබෙන වී ටික මෙපමණයි නම් කුඹුරු වගාකරලා වැඩක් නෑ. මේ වී ටික විකුණලා වගාවට ගත්තු ණයතුරැස් ගෙවාගන්නවත් බෑ. අස්වැන්න අඩුවීම වෙනුවෙන් ආණ්ඩුවෙන් වන්දි මුදල් දෙනවා කියලා තියෙනවා. සාධාරණ මුදලක් ඒ වෙනුවෙන් ලැබුණොත් හොඳයි. එහෙම නැත්නම් ඊළඟ කන්නේ ගොවිතැන් කරනවද නැද්ද කියලා හිතාගන්නවත් බෑ. අපි මේ ගොවිතැන් කරන්නේ ගොඩක් දුක් මහන්සි වෙලා.''
ලැබුණු මුදලින් ණය ගෙවාගන්නත් බෑ
වැලිකන්ද මඟුල්පොකුණ ප්‍රදේශයේදී අපට මුණගැසුණු මාලනී බස්නායක
''මගේ කුඹුරෙන් මේ වතාවේ ලැබුණේ වී කිලෝ 2500ක් විතර. වෙන කන්නවල ගන්න අස්වැන්නෙන් දෙකෙන් පංගුවකටත් වඩා අඩුවෙන් තමා මෙවර ලැබිලා තියෙන්නේ. ඒ ප්‍රමාණය විකුණලා ණය ගෙවාගන්නවත් මදි. මොකද කරන්නේ කියලා තමයි දහඅතේ කල්පනා කරන්නේ. මේ අස්වැන්න අඩුවීමට බලපෑවේ රසායනික පොහාර නැතිවීම තමා. ණයතුරැස් වෙලා ගොවිතැන් කරලා මෙහෙම අස්වැන්නක් අරන් වැඩක් නෑ. කුඹුර වගා කරන්න රුපියල් ලක්ෂයකට වැඩිය වියදම් වෙනවා. අපි ගොවිතැන් කරන්නේ ණය තුරැස් වෙලා. මෙහෙම පාඩු පිට ගොවිතැන් කරනවාට වඩා. මීට වැඩිය හොඳයි කුඹුරු පුරන් වෙන්න ඉඩ හරිනවා'' යැයිද ඇය කීවාය.
මාස් කන්නේ අස්වැන්න හොඳටම අඩුයි
මහවැලි ගොවිබිමේදී අප සමඟ අදහස් දැක්වූ 32 හැවිරිදි සිසිර කුමාර
''මෙදා මාස් කන්නේ අස්වැන්න හොඳටම අඩුයි. අපි දැන් කබලෙන් ළිපට වැටිලා ඉන්නේ. පොහොර ප්රශ්නය තමයි බලපෑවේ. වෙන හේතුවක් නෙවෙයි. දැන් ගොවිතැන් කරන එක ලේසි පහසු කටයුත්තක් නොවෙයි. වියදම් පැත්ත හරිම වැඩියි. විය පැහැදම් කරලා අවසානයේ සාර්ථක අස්වැන්නක් ගන්න බැරිවුණොත් ඒ ගොවිතැන වැඩක් නෑ. ඒ මොකද අපි මුළු ජීවිතේම ගැටගහ ගන්නේ මේ රැකියාවෙන් නිසා.''
මම දැම්මේ රසායනික පොහොර
නෙළාගත් වී අස්වැන්න මහා මාර්ගයේ අතුරා වේලමින් සිටි තරුණ ගෙවිලියක වන ශාලිකා සඳමාලි මහත්මිය අපට මුණගැසුණේ මහවැලි බී කලාපයට අයත් පැලෑටියාව මඟුල්දමන ප්‍රදේශයේදීය. ඇය කීවේ ප්‍රදේශයේ බොහෝ ගොවීන් පැවැසූ දෙයට වඩා වෙනස් කථාවකි.
''අපි ගොවිතැන් කරන්නේ අපේ දෙමව්පියන්ගෙන් ලැබුණු කුඹුරු ඉඩම්වල. අක්කර දෙකහමාරක් මේ වතාවේ වගාකලා. කීරි සම්බා වගා කළේ. කාබනික පොහොර නෙවෙයි රසායනික පොහොර විතරයි යෙදුවේ. කාබනික පොහොර ටිකක්වත් යෙදුවේ නෑ. රසායනික පොහොර ගත්තේ වැඩි මිලට. පොහොර මිටියක් රුපියල් 13,000 ගණනේ. අවස්ථා දෙකකදී පොහොර මිටි 06ක් කුඹුරට යෙදුවා. මඩ පොහොර ගහන්න බැරි වුණා. වෙනදා වගේම තමා අස්වැන්න අඩුවක් නෑ. ලබන කන්නයෙත් කොහොම හරි රසායනික පොහොර යොදලා තමයි කුඹුර වගා කරන්න බලාපොරොත්තුව. එහෙම නැතුව වැඩි අස්වැන්නක් ගන්න බෑ. වියදම් කරලා ගොවිතැන් කරලා බලාපොරොත්තු අස්වැන්න නොලැබුණොත් පාඩුයි. එහෙම වුණොත් මේ ගොවිතැන කරගෙන යන්න බැරි වෙනවා. අපිට වෙනත් ආදායම් මාර්ග නෑ. මේ කුඹුරු ගොවිතැනින් ලැබෙන ආදායම විතරයි. අනෙක් කාරණය ණයවෙලා ගොවිතැන් කරන්නේ. හොඳ ආදායමක් ලැබුණොත් විතරයි ඒ ණය ගෙවාගන්න පුළුවන් වෙන්නේ.''
මාස් කන්නයේ ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීම මේ වනවිටත් ආරම්භ කර ඇතැයි වී අලෙවි මණ්ඩලය කියයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 22ක් මේ වනවිට ආරම්භකර ඇති බව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පැවසීය. මේ වනවිට වී මෙට්‍රික් ටොන් 4550ක් මිලට ගෙන තිබෙන බව කී ඒ මහතා මෙවර මාස් කන්නයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 50,000ක් මිලදී ගැනීමේ රජයේ ඉලක්කයක් පවතින බවද ප්‍රකාශ කළේය. නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 90ක් සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 92ක් සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 95ක් වශයෙන් රජයේ සහතික මිලක් ලබාදෙන බවද ඒ මහතා කීවේය. එමෙන්ම ඊට අමතරව වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන එන සෑම වී කිලෝවක් සඳහාම රුපියල් දෙක බැගින් ප්‍රවාහණ ගාස්තුවක්ද ගෙවීමට කටයුතු යොදා ඇති බවද හෙතෙම කීය.
ගොවීන් පවසන්නේ සිය එකම ජීවනෝපාය වන වී ගොවිතැන ඉදිරියට කරගෙන යාම අසීරු කරුණක් බවය. එයට හේතුව දිනෙන් පාඩු ලබන රැකියාවක් බවට පත්වෙමින් තිබෙන නිසා යැයිද කියා සිටිනුයේ හේතුසාධක රැසක් සමඟිනි. ආසන්නයේ පැන නැඟී තිබෙන ප්‍රධාන ගැටලුව වගාවට ඇවැසි රසායනික පොහොර නොමැතිකම බවත් එය අස්වැන්න අඩුවීමට විශාල වශයෙන් බලපා තිබෙන බවත් පෙන්වා දෙන මේ ගොවීන් පවසන්නේ එළඹෙන යල කන්නයේ රසායනික පොහොර නොලැබුණහොත් වී වගාවට තිත තබන්නට සිදුවනු ඇති බවයි.
කරුණාරත්න ගමගේ