රන් දූපත හෙවත් පරෙවි දූපත සෞන්දර්ය ආකර්ශනය පිරුණු තැනක් ලෙස මාතර පුරයේදී කාගෙත් නෙත ගැටෙන අපූරු තැනකි. මාතරට සංකේතයක් බඳු මේ දූපත ගල්පරවලින් හා මුහුදෙන් වටව පවතී. ඒ අපූරු තෝතැන්න ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපෝසථාගාරය ලෙස භාවිත කිරීමෙන් දැකුම්කලු පුණ්‍ය භූමියක් වශයෙන්ද පූජනීයත්වයට පත්ව තිබේ. මෙම උපෝසථාගාරයට පිවිසෙන සංගිලි පාලම එහි ගමන් කරමින් සිටි වන්දනා නඩයක පිරිසක්ද සමඟ කඩාගෙන මුහුදට ඇදවැටී අනතුරට පත්ව තිබුණේ පසුගිය 4 වැනිදාය.
පාලම සමඟ ඇදවැටුණු පිරිසට බරපතළ අනතුරක් සිදු නොවුණේ වාසනාවකට මෙනි. එම පිරිස කඩිමුඩියේ ආරක්ෂිතව මුදාගැනීමට කටයුතු කර තිබුණේ අවට රැස්ව සිටි ප්‍රදේශවාසී ජනතාව විසිනි. ඇදවැටුණු පිරිසෙන් දහ දොළොස් දෙනකුට පමණ සුළු තුවාල සිදු වී තිබිණි.
දකුණු පළාතේ සංචාරයේ යෙදෙන බොහෝ පිරිසක් මාතර හරහා ගමන් කරති. මාතර රන් දූපත උපෝසථාගාර විහාරය දැකබලා ගැනීමටත් වන්දනාමාන කිරීමටත් ඔවුහු පැමිණෙති. මේ අයුරින් මහියංගණය ප්‍රදේශයේ සිට විනෝද ගමනක් යමින් සිටි නඩයක පිරිසක් මාතරට පැමිණ පරෙවි දූපතේ උපෝසථාගාරය නැරඹීම සඳහා ගොස් සිටියදී මේ අනතුර සිදුවිය. සංගිලි පාලමට ඇතුළු වීමට පෙරාතුව ''එකවර පස්දෙනකුට වඩා ගමන් නොකරන්න'' යැයි අවවාදයක් සඳහන් පුවරුවක් දක්වා ඇතත් කිසිවකු එය අනුගමනය කර ඇති බවක් දකින්නට නැත. මහියංගණය සිට පැමිණි නඩයේ පිරිස සෙසු අය මෙන්ම පාලම දිගේ ගමන් කරන්නට වූහ. නඩයේ සිටි තරුණ පිරිස දූපත බලා ගමන් කරනවාට වඩා වැඩි වෙලාවක් ගත කර තිබුණේ සෙල්ෆි ඡායාරෑප ගැනීමටය. ඒ නිසා දූපත බලා ගිය ඇතැමුන්ට ගමන නවතා මොහොතක් පාලම මැද නතර වන්නට සිදුව තිබුණේ ඉඩ පහසු මදිකම හේතුවෙනි.
ඒ මොහොතේ සංගිලි පාලම මත රැඳී සිටි පිරිස පනහ ඉක්මවා සිටින්නට ඇත. එය පාලම පවතින තත්ත්වය අනුව සාමාන්‍යයෙන් දරන්නට හැකි බර මෙන් දස ගුණයක් තරමය. ඒ ගැන වගක් නොවුණු පිරිස තිගැස්සී තිබුණේ හිටිහැටියේම සංගිලි පාලම දෙකඩ වී මුහුද මැදට ඇදවැටීමෙනි. සෙල්ෆි ඡායාරූප ලබාගන්නවුන්ගේ ජංගම දුරකථන විසිවී ගොස් මුහුදට වැටී තිබුණි. ඒවා සොයාගන්නට නැත. තරුණියන් හා කාන්තාවන් අත තිබූ ගමන් බෑග් විසිවී ගොස් මුහුදට වැටී තිබුණි. එක රොත්තට පාලම සමඟ මුහුදට කඩා වැටුණු පිරිස මර ළතෝනි තැබුවේ ඔවුන් බේරාගන්නා ලෙස ඉල්ලමිනි. දරුවන් ඇතුළු බොහෝ පිරිසක් මුහුදට වැටුණු පාලමේ යකඩ කම්බි වැටේ එල්ලී ජීවිතය අයැදමින් සිටියහ. මෙය දුටු ප්‍රදේශයේ පිරිස් සිය ආරක්ෂාව පවා නොතකා මුහුදට පැන අනතුරට පත් පිරිස් බේරාගැනීමට කටයුතු කළහ. ඔවුන් කිසිවකුටත් ජීවිත හානියක් හෝ බරපතළ තුවාල කිසිවක් නොවුණද දස දෙනකුට පමණ සුළු තුවාල සීරීම් වැනි දෑ සිදුව තිබෙනු දකින්නට ලැබිණ.
පරෙවි දූපතට යන සංගිලි පාලම කඩා වැටීමත් සමඟ එය නැරඹීම සඳහා ගොස් සිටි දෙස් විදෙස් සංචාරකයන් රුසක්ද ගොඩබිමට පැමිණීමට නොහැකිව රුඳී සිට ඇත. එම අවස්ථාවේ පොලීසිය, යුද හමුදාව, නාවික හමුදාව හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ මැදිහත්වීම මත ඔවුන් ගොඩබිමට රැගෙන ඒම සිදු කෙරිණි.
මාතර රන්දූපත උපෝසථාගාරය දක්වා පිවිසීමට තිබූ කඩා වැටුණු පාලම මීටර් 114ක දිගින් යුතු එකකි. පසුගිය 4 වැනිදා පස්වරුවේ පාලම හරි මැදින් බිඳී කඩාගෙන වැටුණු අවස්ථාවේ ඒ මත සිටි අවුරුදු තුනක් පමණ වන පිරිමි දරුවකුද මුහුදට වැටී ඇත. මෙය දුටු ගොඩබිමේ සිට වඩේ වෙළෙඳාමේ නිරත තරුණයකු වහා මුහුදට පැන එම දරුවා නිරුපද්‍රිතව මුදාගෙන තිබුණි.
''පාලම කාලෙක ඉඳලම අබලන්ව තිබුණේ. බෝඩ් දාලා තිබුණත් මිනිසුන්ට වගක් නෑ. නඩය පිටින්ම යනවා එනවා. මග නැවතිලා ෆොටෝ ගහනවා. පාලම කඩා වැටෙනවා මම දැක්කා. මිනිස්සු පාලමේ එල්ලිලා මර ළතෝනි නැගුවා. මම එතැනට යද්දි පොඩි ළමයෙක් හිටියා වතුරට වැටිලා. ඉක්මනට එයා බේරාගෙන ගොඩට ගෙනාවා. ඒත් එක්ක තව හත් අට දෙනකුම බේරාගත්තා.''
මෙසේ පැවසුවේ එම වෙරළ තීරයේ වඩේ වෙළෙඳාමේ නිරත වන පී.ඩී. රොෂාන් මහතාය.
පරෙවි දූපත විහාරය ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපෝසථාගාරය වශයෙන් භාවිතයට ගැනෙන අතර 2003 වසරේ සිට රෝහණ පාර්ශ්වයේ භික්ෂූන් වහන්සේලා උපසම්පදාව සිදු කරන්නේ මෙම පුණ්‍ය භූමියේදීය. පරෙවි දූපත අවට පදිංචි පිරිස් හා ව්‍යාපාරිකයන් පවසන්නේ මෙම සංගිලි පාලම 2018 වසරේ පමණ සිට අබලන් තත්ත්වයෙන් පවතින බවය. පාලමේ අත්වැල හා ආධාරක දිරා අනතුරුදායක තත්ත්වයක පැවතීම නිසා බලධාරීන්ට එම තත්ත්වය දැනුම් දී තිබිණ. නමුත් අවශ්‍ය පියවර නොගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බව ඔවුන්ගේ අදහසය.
කෙසේ හෝ බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමුව ඇත්තේ පාලම කඩා වැටීම මාධ්‍ය ඔස්සේද ප්‍රචාරණය කෙරුණු පසුවය. එහිදී මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නිපුණ රණවක, ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක් එක්ව පාලම යළි ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇත. එහිදී තාවකාලික පාලමක් කඩිනමින් ඉදිකිරීමට තීරණය කර තිබෙන බව දැනගන්නට ලැබිණ.
සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක හා ලේඛකාධිකාරී ඕමාරේ කස්සප හිමියන් උද්ගත වූ තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කරුණු දන්වා ඇත. ඒ අනුව ජනපතිවරයා තීරණය කර ඇත්තේ පාලමක් අභිනවයෙන් ඉදි කිරීමටය. එම පාලම පැවති පාලමට සමානව මාස හයක් ඇතුළත ඉදිකිරීමට උපදෙස් ලබා දී තිබේ.
පරෙවි දූපතේ ඉතිහාසය ලන්දේසි පාලන සමය දක්වා ඈතට දිවෙන්නකි. එවකට මුහුදේ යාත්‍රා කරන නෞකාවලට පෙනෙන පරිදි කොඩි කණු ඔසවා තැබීමට මෙම ස්ථානය භාවිත කර ඇති බව කියැවේ. එවකට සිටි ජූලියර් නැමැති පාලකයා මෙම ස්ථානය විවේක ගැනීම සඳහා භාවිත කර ඇති අතර වරක් ඔහුගේ බිරියට වූ අසනීපයක් සුව කිරීමට ලන්දේසි වෛද්‍යවරුන් අසමත් වූ බවද පැවසේ. කෙසේ වෙතත් දියගහ රතනපාල විහාරයේ වෙද හාමුදුරුවෝ ඇය සුවපත් කිරීමට සමත්ව තිබෙන අතර ඒ සතුටට එම ජූලියර් පාලකයා මෙම භූමිය ලියමනක් මගින් එම ස්වාමින් වහන්සේට පූජා කර ඇතැයි ජනප්‍රවාදයේ පවතී. එසේ පුණ්‍ය භූමියක් වූ දූපත වර්තමානය වන විට අධිකරණ ක්‍රියාමාර්ගයකින් පසුව මාතර මහ නගර සභාවට අයත්ව තිබෙන භූමියකි.
සමන්ත ප්‍රදීප් විල්තෙර