2022 මාර්තු 13 වන ඉරිදා

පුවත් මවන තෙල් පෝලිම්

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 61

වේදනා අතරේ සිනහවක් ද සොම්නස අතරේ වේදනාවක් ද දැනීම මනුෂ්‍ය වර්ගයා ලෙස අප ජන්මයෙන් ලද උරුමයකි. ජීවන වියදම හිස මත තබාගෙන ඉන්ධන පෝලිම්වල, ගෑස් පෝලිම්වල සිටින ජනයා අතරින් මොහොතකට සිනහ කැන්දන අපූරු පුවත් අසන්නට ලැබෙන්නේ එබැවිනි. එනිසාම අපි ඉන්ධන පෝලිම්වලින් ඇසෙන රස කතා පිළිබඳ සොයා බැලුවෙමු.

මෙම සිදුවීම වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙනි. සතියකට පමණ ඉහත දිනකදී ඉන්ධන ලබාගැනීම සඳහා වස්කඩුවේ සිට පොතුපිටිය දක්වා ගාලු පාරේ කිලෝමීටරයකට වඩා දිග වාහන පෝලිමක් විය. මෙම පෝලිමේ සිටි පිරිසට සංග්‍රහයක් කරන්නට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණි. එහි වූ සුවිශේෂී බව නම් එය කිරිබත් සහ සිසිල් පැන් සංග්‍රහයක් වීමයි. තොරතුරු වාර්තා වූ පරිදි පොතුපිටිය පූජාරාම විහාරස්ථානය ඉදිරිපිට රැස්වුණු ප්‍රදේශවාසීන් කිරිබත් සමඟ ලුණුමිරිසක් මහ පාරේම පිළියෙළ කර ඇත. අනතුරුව ඔවුන් මහා දන්සලක් ලෙසින් කිරිබත් බෙදා දීම සිදුකොට තිබේ. මෙම කටයුත්ත කුමන අරුතකින් සිදු කරනු ලැබූවක්දැයි අප නොදන්නා නමුත් ඒ තුළ දේශපාලන උත්ප්‍රාසයක් ඇති බව අපට පෙනී යයි. ඒ කෙසේ වෙතත් කිලෝමීටරයක පමණ දිගු පෝලිමක රැඳී සිටි ජනතාවට නම් කිරිබත් සහ සිසිල් පැන් දිව බොජුනක් වූවාට සැක නැත.

මේ අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නිර්මාණය වූ "රට රකින අපේ විරුවා" නම් ගීතය දුරකථන හරහා වාදන කිරීමේ රැල්ලක් ද ඉකුත් සති කිහිපය පුරාවට ඉන්ධන ගෑස් පෝලිම්වල දක්නට ලැබුණි. තැන් තැන්වල තරුණයන් මෙම ගීතය ගායනා කරන ආකාරයේ වීඩියෝ ද සමාජ මාධ්‍යයට එක්කොට තිබුණි. කෙසේ වෙතත් බොහෝ ස්ථානවල තරුණයන් මෙය සිදු කළේ හුදු විනෝදය සඳහාය. එහෙත් මෙම කටයුත්ත දේශපාලනික අර්ථ ගැනීම නිසා පසුව ගැටලු රැසක් වාර්තා විය. ඒ අනුව මෙම ගීය ප්‍රචාරය හේතුවෙන් ඇතැම් ඉන්ධන පෝලිම්වල ජනතාව අතර මතගැටුම් ද නිර්මාණය වූ බවට තොරතුරු ලැබිණි.

මේ අතර ඉන්ධන රැගෙන යාමට ගෙන ආ බැරල් වාද්‍ය භාණ්ඩ කොටගෙන ඒවාට තට්ටු කරමින් කණ්ඩායම් ලෙස එකතු වී ඉන්ධන පිරවුම්හල අසල ඇතැමුන් ගී ගැයූ අවස්ථා ද දිවයිනේ ස්ථාන කිහිපයකින්ම වාර්තා විය. ඉන්ධන පෝලිම්වල සිටි ඇතැමුන් උදෑසන දවල් ආහාර රැගෙන පෝලිම්වලට පැමිණි අවස්ථා පිළිබඳවද දැකගැනීමට ලැබුණි. එසේම ඉන්ධන ගෑස් පෝලිම් වෙළෙඳුන්ගේ ඉලක්කයක් වී ඇති ආකාරය දැකගත හැකි විය. සිසිල් වතුර බෝතල් සහ ක්ෂණික ආහාර ඉන්ධන පෝලිම්වල සිටින පිරිස් සඳහා අලෙවිය වෙළෙඳුන්ට වාසි සහගත විය.

එසේම දිගු ඉන්ධන පෝලිම්වල රැඳී සිට, ඉන්ධන පිරවුම්හල රාත්‍රී කාලයේ දී වසා දැමූ විට පෝලිම්වල නිදිමැරීම ද ඇතැමකුට අපූරු අත්දැකීමක් වී තිබුණි. ලොරි රථ, බස් රථ ඇතුළු විශාල වාහන මෙලෙස රාත්‍රී කාලයේ දී ඉන්ධන පෝලිම්වල රඳවා තබා රියැදුරන් එකතු වී මදු සාද පවත්වා ඇතැයි දැනගන්නට ලැබිණි. කොන්ගෝ, ගිටාර් ආදී සංගීත භාණ්ඩ ද රැගෙන ඉන්ධන පෝලිමට පැමිණි පිරිස් පිළිබඳ වාර්තා විය. කෙසේ වෙතත් මෙවන් විනෝදාත්මක කටයුතුවලින් මොහොතකට සැනසුමක් ලැබුවද රියැදුරන් ඇතුළු රථවාහන හිමියන් ඉන්ධන අර්බුදය හේතුවෙන් අධික ලෙස පීඩාවට පත්ව සිටින බව සිහිපත් කළ යුතුමය.

මේ අතර මෙරට ඉන්ධන හිඟය ජාත්‍යන්තරයේ පවා අවධානයට ලක්වූ අවස්ථා කිහිපයකි. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රීඩා වෙබ් අඩවියක් වන ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය සිය ට්විටර් සහ ෆේස්බුක්  ගිණුම්වල ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය ඡායාරූපයක් සහ අපූරු සටහනක් පළකොට තිබුණි. ඒ අනුව එහි දැකගත හැකිවූයේ වසා දැමූ ඉන්ධන පිරවුම්හලක තරුණයන් කිහිපදෙනකු ක්‍රිකට් ක්‍රීඩා කරන ඡායාරූපයකි. රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය සමඟ ඉන්ධන බෙදාහැරීම පමාවීමත් සමඟ ඉන්ධන පිරවුම්හල් සේවකයන් ඉන්ධන හල් වසා දමා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන බව එම සටහනේ දැක්වුණි.

සමාජ මාධ්‍ය තුළ ඉන්ධන පෝලිම්වල සම්බන්ධ විවිධ තොරතුරු සහ හාස්‍යජනක සිදුවීම් රැසක් වාර්තා වන බව පෙනී ගියේය. පෝලිමේ ආතල් නමින් ටික් ටොක් වීඩියෝ පවා නිර්මාණය විය. එසේම පෝලිම්වල මුණගැසුණු ජනප්‍රිය චරිත සමඟ ඇතිවුණු සෙල්ෆි ලබාගෙන සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. එසේම ඉන්ධන පෝලිම්වල අලුත් මිත්‍රකම් සබඳතා රැසක් ගොඩනැගුණු බව ද රහසක් නොවුණි. දින ගණනක් ඉන්ධන පෝලිම්වල සිටි පිරිස් පිළිබඳව ද මාධ්‍ය තුළ වාර්තා පළ විය.

මේ අතර පෝලිම් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට සේම යූටියුබ්කරුවන්ටද ජනතාව හොඳ හැටි බැණ වැදුණු අවස්ථා වාර්තා විය. එසේම ඉන්ධන පෝලිම් අතරට ඉන්ධන ලබාගන්නට ගිය දේශපාලන චරිතවලට ද හූ සංග්‍රහ ලැබී තිබුණි. කෙසේ වෙතත් ඉන්ධන පෝලිම්වල නූතනයට වඩා තිබුණේ ආවේගය නොසරුප් වචන, බැණ අඬගසා ගැනීම් සහ ගුටිකෙළි බව අවසානයේ කිව යුතුය. එහෙත් ඒ සියල්ල අතරේම අප සඳහන් කළ අපූරු සිදුවීම් ද ඉන්ධන පෝලිම්වලින් වාර්තා විය.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05