ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ආණ්ඩුවේ අමාත්‍ය ධූරවලින් ඉවත් කොට මේ වනවිට සතියකට අධික කාලයක් ගතවී තිබේ. අප උත්සාහ කරනුයේ ගතවූ එම කෙටිකාලය තුළ දෙපාර්ශවයේම දේශපාලන භාවිතයන් පිළිබඳ විමසා බැලීමටයි.
විමල් බැසිල් දේශපාලන ගැටුම 2015ට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ පවා විටින් විට අසන්නට ලැබුණකි. ඒ කාලයේ නාමයෝජනා ගැටලු ලෙස සහ අමාත්‍යංශ සම්බන්ධ අර්බුද ලෙස මෙම ගැටුම පෙනෙන්නට තිබුණි. එහෙත් 2015 දී ලද පරාජයත් සමඟ වාදභේද අමතක කළ ඔවුහු නැවත රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් ඒකාබද්ධ වූහ. එහෙත් මැතිවරණ ජයග්‍රණයෙන් පසු ඉතා කෙටි කාලයක් තුළ එම ගැටලු නැවත කරළියට පැමිණියේය. විශේෂත්වය වූයේ ඇතිවූ දේශපාලන විපර්යාසයන් හේතුවෙන් විමල් සහ බැසිල් ඔවුන්ගේ දේශපාලන බල කඳවුරු නිර්මාණය කොටගෙන තිබීමයි.
කෙසේ නමුත් විමල්-උදය ඉවත් කිරීමට ආසන්නතම හේතුව වූයේ ආණ්ඩුව හා සම්බන්ධව සිටි පක්‍ෂ 11ක් එකතුව ‘රට හරි මඟට’ යන මැයෙන් පැවැත්වූ සම්මන්ත‍්‍රණයේ ඔවුන් සිදුකළ කතාවයි. මෙය කිසිසේත්ම හුදකලා සිදුවීමක් නොවූ අතර විමල් වීරවංශට අනුව මෙම සිදුවීම ඔහු පැහැදිලි කරනුයේ මෙලෙසය.
''2015 ජනවාරි 08 පැවැති ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුව බැසිල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතා හමුවී විපක්ෂ නායකකම ඉල්ලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා එම ඉල්ලීමට එකඟ නොවුණ නිසා ඔහු මහින්ද මහතාටත් නොකියා රටින් පිටවී ගියා. එහෙම අයකු ජනාධිපති අපේක්ෂකයා හෝ ජනාධිපතිවරයා ලෙස පත්කිරීමේ අසනීපයක් අපට තිබුණේ නැහැ.කෙසේ වුවත් එම ගැටුම දිගටම තිබුණා. එම ගැටුම එළියට පෙනුණ අවස්ථාත් නොතිබුණ අවස්ථාත් තිබෙන්න ඇති. 20 වැනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවය තිබෙන අයකුට අමාත්‍ය ධුර ලබාදීම පිළිබඳව අප තදින්ම විරුද්ධ වූවා. එම අවස්ථාවේදීත් මෙම ගැටුම මතු වූවා. ඒ අවස්ථාවේදී වගේම ඉන් අනතුරුව වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදීත් එම ගැටුම මතු වූවා. ඉන්පසුව යුගදනවි ගිවිසුම අත්සන් කළ අවස්ථාවේදීත් මෙම ගැටුම මතු වූවා.''
කෙසේ වෙතත් ආණ්ඩුවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන්ට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණයට පැමිණියේ කලක් ඉවසා බලා සිටීමෙන් අනතුරුවය. මේ වනතුරුත් මෙම ඉවත් කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා හෝ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකොට නොමැත. එහෙත් මෙම මොහොත දේශපාලනිකව හසුරුවා ගැනීමට ඔවුන් සියල්ලෝම කටයුතු කරන බව පෙනී යයි. ඊට පැහැදිලි උදාහරණ වූයේ පසුගිය සතියේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කැඳවීමයි.
මෙහිදී වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඇමැතිවරයාද ඉබේම ඉවත් වනු ඇතැයි යන අදහසින් බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවේ පවසා ඇත. එසේම ඉවත් කළ ඇමතිවරුන්ට ආණ්ඩුවේ හොඳ අමාත්‍යධූර ලබාදී වැඩ කිරීමට මුදල් ද ලබාදුන් බව ඔහු වැඩිදුරටත් කීය.
මෙම හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සිදුකළ ප්‍රකාශ මෙම අර්බුදයේ දේශපාලනික භාවය ප්‍රකට කරයි.
“මොන අමාත්‍යවරයා ඉවත් කළත් මොන තීන්දුව ගත්තත් රාජපක්ෂවරුන්ගේ ශක්තිමත් පුද්ගලයෙක් ලෙස එතුමා ගන්න ඕනෑම තීන්දුවකට අපි (පසුපෙළ මන්ත්‍රීවරුන්) එතුමත් සමඟ ඉන්නවා කියන පොරොන්දුව අපි එතුමාට ලබාදුන්නා. ඔය අවලස්සන ඇමෙරිකානුවා කියලා චෝදනා කරන, ඇත්තටම අපි හිතුවා හොඳ ඇමතිවරු කියලා නමුත් විනයක් නැති, කටට බ්‍රේක් නැති විමල් වීරවංශ, උදය ගම්මන්පිල වගේ අය අපේ ආණ්ඩුවේ ඇමතිධුර මෙහෙයවපු එක ගැන අපිට ලැජ්ජයි.
ඇමෙරිකාවට මේ රට විකුණන්න හදනවා කියන චෝදනා සම්බන්ධයෙන් එතුමා විශාල වශයෙන් සංවේදී වුණා. මොකද එහෙනම් යුද්දෙ කාලෙදී තමයි ඇමෙරිකාවත් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණ කරනවා නම් එතුමාට කුමන්ත්‍රණ කරන්න තිබුණේ. මේ අමාරු වෙලාවේ මේ තරම්වත් ආර්ථිකය පවතින්නේ එතුමා නිසා තමයි කියන කාරණාව තමයි අපිට වැටහීමක් තියෙන්නේ.”
බැසිල් රාජපක්ෂ විසින් තම හිතවාදී කණ්ඩායම් බල ගන්වමින් සිටින බව මේ අනුව පෙනී යයි. එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් යම් මධ්‍යස්ථ මතවාද සිටින බව පෙනී යයි. ඔහු ඉවත් කළ විමල් සහ උදය තමා හමුවට කැඳවීමට පවා උත්සාහ ගෙන තිබුණි. එහෙත් එහි ඵලදායී බවක් නොවුණි. කෙසේ වෙතත් ආරම්භයේදී විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිස අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ ගෞරවයෙන් යුතුව අදහස් දැක්වූහ. එහෙත් හිටි හැටියේ රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවූයේ අමාත්‍යවරුන් විසින් පළකළ ව්‍යාජ ප්‍රචාර නිසා බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය ඉතා හාස්‍යජනක බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
මේ අතර මෙම ඉවත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව විශේෂිත විය. එසේම ශ්‍රීලනිපය සම්බන්ධව ආණ්ඩුවේ දැක්මද සුවිශේෂී විය. මීට ඉහතදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රධානීහු ඉකුත්දා සාකච්ඡාවක් ලබා දුන්හ. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනපති ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් සාවධානව ඇහුම්කන් දීමක් ලැබී ඇතැයි වාර්තා විය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළ පරිදි සර්ව පාක්ෂික සමුළුව කැඳවීමටද ආණ්ඩුව එකඟ වී තිබේ. මෙම හමුවූ අවස්ථාවේදී ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත් නොවන බව මෛත්‍රිපාල සිරිසේන මහතා පැහැදිලිව කියා සිටියේය.
ඒ අනුව විමල්-උදය ඉවත් කිරීම හරහා ගතවීමට ගිය දැවැන්ත දේශපාලන අර්බුදය කළමනාකරණය කර ගැනීමට කර ගැනීමට ආණ්ඩුව තාවකාලිකව සමත් වූ බව පැහැදිලිය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමඟ පැය දෙකකට ආසන්න කාලයක් සිදුකළ මෙම සාකච්ජාවෙන් පසු ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන හා ලේකම් දයාසිරි ජයසේකර වහාම ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයට ගොස් විමල් උදය අතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් හමුවී ඉදිරියටත් ඔවුන් සමඟ එක්ව කටයුතු කරන බවට සහතික වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ සියල්ල අත්හැර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර ඉල්ලා අස්වීමද මෙම සිදුවීමේ තවත් දිගුවක් විය. තමා ජනපති වෙත පිටු තුනකින් යුතු ලිපියක් යොමු කළ බව ඔහු ප්‍රකාශ කළේය. අනතුරුව දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කරමින් මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා තිබුණි. මෙම සිදුවීමත් සමඟම විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මාධ්‍ය ඔස්සේ සිය හඬ අවදි කිරීමට තීරණය කළෝය. ඒ අනුව සතිය පුරා අවස්ථා කිහිපයකදීම මාධ්‍ය ඉදිරියට පැමිණි ඔවුහු සිය විවේචන ඉදිරිපත් කරන්නට වූහ. ආණ්ඩුව පාර්ශ්වයේ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු මෙම සිදුවීම සම්බන්ධව හඬ අවදි කර තිබුණද ඔවුන් බහුතරය සාපේක්ෂ නිහඬවක සිටින බව පෙනී ගියේය.
චමිඳු නිසල් ද සිල්වා