2022 මාර්තු 13 වන ඉරිදා

විදුලි කප්පාදුවේ බලපෑම් මාධ්‍ය ආයතනවලටත්

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 113

විදුලිය කප්පාදුව නිසා මෙරට කර්මාන්ත ගණනාවකටම එල්ල වූයේ දැරිය නොහැකි පාඩුවකි. විදුලි කප්පාදුව බලනොපාන ලද කිසිදු ක්ෂේත්‍රයක් නැතැයි කීම නිවැරදි නිගමනයක වනු ඇතැයි සිතමි. විදුලි කප්පාදුවට අමතරව ඩීසල් හිඟය විකල්ප බලශක්ති උත්පාදනය අවහිර කළේය. එය වැහැරුණු මිනිසකු පිට යකඩ පොදියක් තැබුවාක් සේය. මෙම තත්ත්වය විසින් අතීතයේ කවරදාකවත් මුහුණ නොපෑ අභියෝගයන්ට මෙරට බොහෝ කර්මාන්ත තල්ලු වූවේය. විශේෂයෙන් මෙරට විද්‍යුත් මාධ්‍ය ආයතනයන්ට විදුලිය බිඳවැටීම සහ ඩීසල් හිඟය බලපෑවේ සිය විකාශන කටයුතු අතහැර දැමීම හෝ සීමා කිරීමට සිදුවීමෙනි. එවැනි තත්ත්වයකට යුද්ධය පැවැති කාලය තුළ පවා විද්‍යුත් මාධ්‍ය ආයතන මුහුණ නොපා තිබුණි. විද්‍යුත් මාධ්‍ය ආයතන පමණක් නොව මුද්‍රණ කර්මාන්තයටත් විදුලි අර්බුදයෙන් එල්ල වූ අභියෝග සුලුපටු නොවේ.

අප රටේ ගුවන්විදුලි නාලිකා හැට ගණනක් සහ රූපවාහිනී නාලිකා 20කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මකය. මීට අමතරව කේබල්, සැටලයිට් ටී.වී. කිහිපයක්ද ක්‍රියාත්මකය. බොහෝ විද්‍යුත් මාධ්‍ය ආයතන අගනගරය කේන්ද්‍ර කරමින් ක්‍රියාත්මක වන අතර දිවයින පුරා විකාශන කටයුතු සිදුකරනු ලබන්නේ උප විකාශන මධ්‍යස්ථාන හරහාය. විකාශන කටයුතු බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමට ප්‍රධාන විකාශන මධ්‍යස්ථානවලට සේම උප විකාශන මධ්‍යස්ථානවලටත් අඛණ්ඩ විදුලිය සැපයුම අවශ්‍යය. එහෙත් පසුගිය සති දෙක තුළ ක්‍රියාත්මක කරනු ලැබූ විදුලි කප්පාදුව නිසා මාධ්‍ය ආයතනවල විකාශන කටයුතු බිඳවැටිණි. ප්‍රධාන විකාශන මධ්‍යස්ථාන සහ උපවිකාශන මධ්‍යස්ථානවල විදුලිය ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩීසල් සොයා ගැනීමට සිදුවූ අපහසුතා ඊට හේතු වී තිබුණි.

මේ ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නුවන් ජූඩ් ලියනගේ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය දැනුවත් කළ බවය. විද්‍යුත් මාධ්‍ය ආයතන මුහුණ පෑ ගැටලු සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වීය. 

“විද්‍යුත් මාධ්‍ය ආයතනවලට විදුලිය අනිවාර්යයෙන්ම ඕන. දැන් විදුලිය කැපීම පැය හතහමාර, පැය තුනකට අඩු කරලා. නමුත් ගිය සතියේ පැය හතහමාරක් කැපුවා. පැය හතහමාරක් කරන්ට් එක කැපුවාම අපේ විකාශය සියයට සියයක්ම කරන්න වෙන්නේ විදුලි ජනන යන්ත්‍රවලින්. එතකොට අපි කවුරුත් එච්චර දීර්ඝ වෙලාවකට විදුලි ජනන යන්ත්‍ර සූදානම් කරන්නෙ නෑ. සාමාන්‍යයෙන් රටේ විදුලිය බිඳවැටීම් පැය තුනකට හතරකට සීමා වෙන හින්දා ඒකට හරියන්න තමයි අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන් අපේ ප්‍රති විකාශනාගාර තියෙන්නේ දුෂ්කර කඳුවල. සාමාන්‍යයෙන් මනුස්සයකුටවත් යන්න බැරි ඉතාමත් දුෂ්කර කඳුවල තමයි ඒවා තියෙන්නේ. ඒවායෙත් අපේ විදුලි ජනන යන්ත්‍ර තියෙනවා. නමුත් ඒ බොහෝමයක් ප්‍රතිවිකාශනාගාරයන් ඩීසල් හොයාගෙන එනකම් බිඳ වැටුණා. කොළඹ තියෙන ප්‍රධාන විකාශන ආයතනවලටත් මේ බලපෑම් ආවා.”

විදුලිය බිඳවැටීම නිසා විද්‍යුත් මාධ්‍ය ආයතනවලට සිදුවූ බලපෑම සහ මෙම ගැටලුව සම්බන්ධයෙන් විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජූඩ් මහතා වැඩිදුරටත් මෙලෙස පැහැදිලි කළේය. 
“මේ ගැටලුවෙන් විකාශන පිරිවැයත් සෑහෙන්න ඉහළ ගියා. මොකද ඩීසල්වලින් දුවන්න නෙවෙයිනේ විකාශනාගාර හදලා තියෙන්නේ. මේකට විසඳුමක් දෙන්න කියලා අපි ජනමාධ්‍ය ඇමතිතුමාගෙනුයි ලේකම්තුමාගෙනුයි ඉල්ලුවා. ඒත් ඒ එකකටවත් සාර්ථක පිළිතුරු ලැබුණේ නෑ. අපිම මහන්සිවෙලා හොයාගත්ත ඩීසල්වලින් තමයි මේ දුවන්නේ. මේ තත්ත්වය පහුගිය දවස්වල නම් බරපතළ ලෙස තිබුණා. දැන් විදුලිය කපන වෙලාව ටිකක් අඩුවෙලා තියෙන නිසා තත්ත්වය ටිකක් සමනය වෙලා තියෙනවා.”

විදුලිය බිඳවැටීම මාධ්‍ය ආයතනයන්හි විකාශන කටයුතුවලට පැහැදිලි ලෙසම බලපෑවේය. එමෙන්ම විකාශනය සඳහා වැයවන පිරිවැයද ඉහළ ගියේය. එපමණක් නොව මාධ්‍ය ආයතනයන්ට ලැබෙන ආදායම අඩුවීමටත් විදුලිය බිඳවැටීම බලපෑවේය. ඒ බව දේශයට විග්‍රහ කළේ ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති අසලංක අතපත්තු මහතාය. 

“රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා රන් වෙන්නේ සේවාදායකයන්ගෙන් ලැබෙන දැන්වීම් මත. සමහර වෙලාවට විදුලිය දිවා කාලෙත් කැපෙනවා, රාත්‍රී කාලෙත් කැපෙනවා. රාත්‍රී කාලයේ දැන්වීමකට දිවා කාලයට වඩා හතර පස් ගුණයකින් වැඩියෙන් අය කෙරෙනවා. ගුවන් විදුලි නාලිකාවක් හෝ රූපවාහිනී නාලිකාවක් සේවාදායකයාගෙන් දැන්වීම් සඳහා ගාණක් අය කරන්නේ මුලු ලංකාවෙ ඉන්න ග්‍රාහකයන්ට දැන්වීම ළඟාකරන පොරොන්දුවෙන්. නමුත් විදුලිය කැපීම නිසා සේවාදායකයාගෙන් ගන්න මුදලට සේවාවක් වෙන්නෙ නෑ. අදාළ ග්‍රාහකයන්ට දැන්වීම බලන්න හෝ අහන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඊට පස්සේ නාලිකා තවත් ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ ගත්ත මුදලට අදාළ දැන්වීම් ආපහු රී ෂෙඩූල් කරන්න වෙනවා. ඒ නිසා ගුවන් කාලය අපතේ යනවා. ඒකෙන් වෙන්නේ ලැබෙන ආදායම බිඳවැටීමක්.”

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ධාරාවන්ට අමතරව ඩිජිටල් මාධ්‍ය අවකාශයද ක්‍රියාත්මකය. මුලුමනින්ම විදුලිය මත යැපෙන ප්‍රවෘත්ති වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති ජාලාද විදුලිය කැපීමෙන් සිදුවූ හානියට මුහුණ පෑවේය. අසලංක අතපත්තු ඒ පිළිබඳ මෙලෙස පෙන්වා දුන්නේය. “වෙබ් අඩවි නිතර යාවත්කාලීන වෙන්න ඕන. නමුත් විදුලිය කප්පාදුවත් එක්ක, වෙබ් අඩවි ටික යාවත්කාලීන කරන්න බෑ. ජෙනරේටරයක් තියාගෙන ඒක කරන්න බෑ. ඒක බොරු වැඩක්. ඉතින් ඩිජිටල් මාධ්‍ය නැත්තටම නැති වෙනවා විදුලිය කප්පාදුව සහ ඩීසල් හිඟය ප්‍රශ්නය නිසා.” දෙමටගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරමින් ක්‍රියාත්මක වෙබ් ප්‍රවෘත්ති සේවයක් සම්බන්ධ කරගනිමින් දේශය කළ විමසීමේදී එම ආයතනයේ මාධ්‍යවේදී ලක්මිණි මහත්මිය කියා සිටියේ තම ආයතනය ක්‍රියාත්මක වන ප්‍රදේශයේ විදුලිය බිඳවැටීමක් සිදු නොවන නිසා කිසිදු හානියක් පුවත් වාර්තාකරණයට එල්ල නොවූ බවය.

දේශය සමඟ වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති අවධාරණය කළේ විදුලි අර්බුදය අඛණ්ඩව පැවතීම මාධ්‍යවේදීන්ගේ වෘත්තියද දැඩි අභියෝගකාරී තත්ත්වයකට මුහුණපාමින් තිබෙන බවය. 
“අපිට ගොඩාක් පැමිණිලි ඇවිල්ලා තියෙනවා, යෝජනා ඇවිල්ලා තියෙනවා මාධ්‍යවේදීන්ගේ වෘර්තීමය ආරක්ෂාව එක ගැන. මේ කාලසීමාවේ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ගේ ආදායමත්, විදුලි කප්පාදුව වගේම යම්කිසි කප්පාදුවකට ලක්වෙලා තියෙනවා. නිදහස් මාධ්‍යවේදීන්ගේ වෘත්තිය සැලකිය යුතු ප්‍රමාණයකින් නතර කරන්න සිදුවෙලා. ප්‍රධාන මාණ්ඩලික වාර්තාකරුවෝ 20ක් විතර හිටිය, මාධ්‍ය ආයතනවල දැන් ඉන්නේ දෙන්නයි තුන්දෙනයි. ඒකට හේතුව තමයි හැමදේම වැඩිවෙන අස්සේ ඉන්ධන කප්පාදුවත් ආපු එක. ඒ වගේම මාධ්‍යවේදීන්ට අමතර කාලයක් සහ පිරිවැයක් දරන්නත් වෙලා. විදුලිය විසන්ධි කරලා නැවත විදුලිය ලැබුණට පස්සෙ තව පැය ගාණක් ඒ ගොල්ලො වැඩකරන්න ඕන. ඒ පැය ගණනට අමතර ගෙවීමක් කරන්නෙ නෑ. ඒ පැය ගණන වැඩකරලා ගෙදරට යන්න ටැක්සියක් දාගන්න වෙනම වියදමක් යනවා. සමස්ත ආර්ථිකයට විදුලි කප්පාදුව සහ ඩීසල් හිඟය බලපාපු ආකාරයට මාධ්‍ය ආයතනවලටත් බලපාලා තියෙනවා. ඒකයි මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ගේ රුකියාවට මෙහෙම වෙලා තියෙන්නේ. සේවකයෝ ගෙන්නගෙන දාඩිය දදා නිකන් තියාගෙන ඉන්න වෙලා. ඔවුන් ආවොත් වැටුප් ගෙවන්න වෙනවා. ඉතින් ආයතන පරිහානියට පත්වෙනවා ආදායමක් උපදවන්නේ නැතිව දිගින් දිගටම අමතර වියදමක් දරන්න වීම සම්බන්ධයෙන්. මේවා ගැන කීප අවස්ථාවකම රජයට දැනුවත් කළා. නමුත් රජය පැත්තෙන් තියෙන්නේ නිහඬ පිළිවෙතක්.''

“විශේෂයෙන්ම අවුරුදු 90කට වැඩි ඉතිහාසයක් තියෙන රාජ්‍ය ගුවන් විදුලි ආයතනය සියලුම විකාශන රාත්‍රී 10න් පස්සේ අත්හිටුවලා තියෙනවා. ඒ වගේම පෞද්ගලික මාධ්‍ය ආයතන කිහිපයක්ම ඩීසල් සොයාගැනීමට තියෙන අපහසුව සහ යන අමතරව වියදම දරන්න බැරිකම නිසා රාත්‍රී 10න් විකාශන කටයුතු නවත්තලා තියෙනවා.” හේ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ප්‍රධාන පෞද්ගලික රූපවාහිනි ආයතනයක සේවය කරන මාධ්‍යවේදියෙකු සමඟ මේ ගැටලුව සම්බන්ධයෙන් දේශය කළ විමසීමේදී එම මාධ්‍යවේදියාගේ පිළිතුර වූයේ, 

“අපේ කාර්යාලය ජෙනරේටරයෙන් දුවන නිසා අපිට ලොකු ප්‍රශ්නයක් නෑ. පිට පළාතක ඉඳන් කොළඹ ඇවිත් වැඩකරන මාධ්‍යවේදියෙක් විදිහට, කන්න විදිහක් නැති එක තමයි ලොකුම ප්‍රශ්නය. වැඩකරන දවස්වලට, ගෙදර ඉඳන් වැඩට එන අයට කියලා තමයි කෑම ගෙන්න ගන්නේ. නිවාඩු දවස්වලට කන්න විදහක් නෑ. කඩවල්වල ගෑස් නැති නිසා.”

විදුලි අර්බුදය පොදුවේ මාධ්‍යවේදීන්ට තොරතුරු ගවේෂණය කිරීමටද බාධා ඇති කොට තිබේ. එමෙන්ම විද්‍යුත් මාධ්‍යයන්ට පමණක් නොව මුද්‍රිත මාධ්‍යයන්ට මෙමගින් එල්ල වී ඇති අභියෝග සුලුපටු නොවේ. මුද්‍රිත මාධ්‍ය ආයතනයන්හි පිරිවැයද සැලකිය යුතු මට්ටමකින් ඉහළයාමට විදුලිය විසන්ධි වීම බලපා ඇත. විදුලි අර්බුදයට අමතරව දිනෙන් දින වැඩිවන කඩදාසි හිඟය නිසා අප්‍රේල් මාසයෙන් පසු පුවත්පත් මුද්‍රණ කටයුතුවලට පවා බාධාවනු ඇතැයි වාර්තා වේ.

 සටහන - සකීෆ් සාම්