2022 මාර්තු 13 වන ඉරිදා

මවගේ හිසට මිටියෙන් ගැසූ නරුම දියණිය

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 202

''ප්‍රේම සබඳතාව නවත්වන්න කීවාම දුව අම්මාගේ ඔළුවට මිටියෙන් ගහලා.''
''ප්‍රේමයට එරෙහි වූ මවට මිටියකින් පහරදුන් දියණිය''

ඇඟ කිලිපොලා යන මෙවැනි සිරස්තල යටතේ ප්‍රවෘත්ති වාර්තා කිහිපයක් පසුගිය දිනවලදී දකින්නට ලැබිණ. දාහත් හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියක වන දැරිය ඇයට වඩා වයසින් වැඩි පුද්ගලයකු සමඟ ඇතිකරගත් ප්‍රේම සබඳතාවක් නවතන ලෙසට මව ලබාදුන් අවවාදයකට උරණ වී මෙම ප්‍රහාරය සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා කර තිබිණ.

බේරුවල පොලිසියෙන් අසන්නට ලැබුණු සිදුවීම සම්බන්ධයෙන් මෙසේද කරුණු කියැවේ. 

බේරුවල කාලවිලකන්ද ප්‍රදේශයේ නිවෙසක මව, පියා, වැඩිමහල් දියණිය හා ඊට බාල පිරිමි දරුවන් දෙදෙනකු ඇතුව නිවැසියෝ ජීවත් වෙති. මෙම නිවෙසේ දරුවන්ගේ පියා සිවිල් ආරක්ෂක බළකායේ සේවය කොට තිබෙන අතර මේ වනවිට ආබාධිතව පසුවන්නෙකි. මවට ස්ථීර ලෙස ආදායමක් නැතත් විවිධාකාරයෙන් ඇය මුදල් උපයන බව කියයි. එබැවින් ගෙදරට මුදල් අගහිඟයක් හෝ ආර්ථික අපහසුකමක් නැති බවද කියයි. මේ නිසා සමහරු අතමාරුවක් ඉල්ලා ගැනීමට පවා මේ නිවෙස සොයා එති. මාස කිහිපයකට ඉහතදී හදිසි ණය මුදලක් ඉල්ලා ගැනීමට අසල්වැසි ගමක කෙනකු මෙම නිවෙසට පැමිණ තිබුණි.

එසේ පැමිණි අයගේ නිවෙසේ සිදුවූ හදිසි මරණයකි. එහි වැඩ කටයුතු අවසන් කිරීම සඳහා යැයි පවසමින් ණය මුදල ඉල්ලා තිබුණි. අවශ්‍ය කරන මුදල ලබාදීමට නිවැසියන් කටයුතු කර තිබෙන අතර නියමිත කාලය අවසන් වුවත් අදාළ මුදල නැවත ලබාදීම ප්‍රමාද කර ඇතැයි පැවසේ. මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර අවස්ථා කිහිපයකදී අදහස් හුවමාරු වී තිබෙන අතර කිහිපවිටක් නිවෙසට යන්නට එන්නට සිදුව තිබුණි. ණය මුදල ඉල්ලා ගත් නිවෙසේ පිරිමි පුද්ගලයකු මේ ගමන් සඳහා වැඩි වශයෙන් සම්බන්ධ වී ඇත.

යන එන ගමන්වලදී මේ තැනැත්තාගේ නෙත ගැටී තිබුණේ එම නිවසේ සිටි හැඩකාර දියණිය දෙසටය. ගනුදෙනුව පිළිබඳව මව පියා සමඟ කතාබහ කරන අතරතුර ඔවුන්ට හොරා දියණිය දෙස බලන්නට ඉඟිබිඟි කරන්නට ඔහු ක්‍රියාකර ඇත. ඊට කැමැත්තෙන් පසුවූ දැරියත් මවට හා පියාට හොර රහසේ ඉඟිබිඟි පා තිබුණි.

ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ දැරිය සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට ඇති අතර මේ වනවිට 17 වැනි වියේ පසුවන්නීය. වයසට වඩා තරමක් පෙනුමින් වැඩි ඇයට පිරිපුන් සිරුරක් හිමිව තිබුණි. එබැවින් පුරුෂ පාර්ශවය වරක් නොව දෙවරක් ඇය දෙස බලන්නට උත්සාහ කළේය. ණය ගනුදෙනුවක් කතා කර ගැනීමට නිවෙසට පැමිණි මෙම තැනැත්තාගේ ක්‍රියාවට දැරිය කැමැත්තෙන් පසුවී ඇත. ඒ බව තේරුම්ගත් පුද්ගලයා ඇය වසඟයට ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කර තිබුණි. 

ඒ ආකාරයට දෙදෙනා අතර ගොඩනගාගත් හිතවත්කම කල් නොයා ආදර සබඳතාවක් දක්වා වර්ධනය කර ගන්නට ඔවුන් සමත්ව ඇත. මේ අයුරින් ටික කලක් ගතවෙද්දී දැරියගේ පෙම් පලහිලව්ව පිළිබඳ ඇගේ මවට අවබෝධ වී තිබෙන අතර ඒ බව පියාට දන්වා තිබුණි. දවසක් දෙකක් බලා සිට දියණියට වයසට වඩා වැඩි වයසක පිරිමියකු සමඟ ඇති මේ සබඳතාව නවත්වන ලෙස උපදෙස් දී ඇත. ඊට විරුද්ධ වූ දැරිය මව හා පියා සමඟ අඩදබර ඇතිකර ගත්තාය. 

එම කතාවත් සමඟ උරණ වූ ඇය මවට හා පියාට ආමන්ත්‍රණය කර තිබුණේ පරුෂ වචනවලිනි. තතු දන්නා අය පවසන්නේ දැරිය එම සිදුවීම නිසාම නොව දන්නා කියන දා පටන් එසේ හැසිරෙන බවකි. ගැහැනු දැරියක වුවද ඇය ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවද වැඩිහිටියකුගේ අවවාද නුරුස්සන්නියක බවද තතු දන්නා අය පැවසූහ. මේ අතර දැරියගේ මවටද යහපත් චරිත ලක්ෂණ නොමැති බවට චෝදනා ඇතැයි පොලීසිය කියයි.

නොගැලපෙන මෙම පෙම් සබඳතාව නවත්වන ලෙස මව විසින් වරෙක අවවාද කළ මොහොතේ ඇය ආබාධිත පියාගේ කිහිලිකරුව රුගෙන මවට පහරදී තිබුණි. මේ ආකාරයේ හේතු කාරණා නිසා මව පියා දියණිය නොයෙක් වර ගැටුම් ඇතිකරගෙන තිබූ අතර මවද දියණියට පහරදී ඇත. හිතුවක්කාරකම ඉහවහා ගිය දියණිය මේ අවවාද නොතකා පෙම් සබඳතාව පවත්වාගෙන ගොස් ඇත. මේ අතර පසුගිය 5 වැනිදා පස්වරුවේ මව හා දියණිය අතර කතාවක් ඇතිව තිබුණේ එම ආදර සබඳතාව පිළිබඳවය. එහිදී කෝපයට පත් දැරිය නිවසේ මුළුතැන්ගේ පසෙක තිබූ යකඩ මිටිය අතට ගෙන මවගේ හිසට මිටි පහර කිහිපයක් එල්ලකර තිබුණේ දැඩි කෝපයෙනි. එහිදී තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණු අතර පහරදීම සම්බන්ධයෙන් බේරුවල පොලිසියට පැමිණිලි සිදුකර තිබුණි. පැමිණිල්ල විභාග කිරීම සඳහා දැරිය පොලීසියට කැඳවූ මොහොතේ ඇය පහසුවෙන් හඳුනාගන්නට පොලීසියට හැකිව තිබුණි.

ඇය මීට දෙමසකට පමණ ඉහතදී පාසල් නිල ඇඳුමෙන් සැරසී පොලීසිය වෙත පැමිණ සිට ඇත. පාසල් දැරියක මෙසේ පොලීසියට පැමිණීම පිළිබඳව විමසීමේදී ඇය කියා තිබුණේ සිය මවට විරුද්ධව පැමිණිල්ලක් සිදු කිරීමට පැමිණි බවය. එහිදී ඇය පවසා තිබුණේ මව සහ පියා තමන්ට නිතර නිතර පහරදෙන බවකි. එම පැමිණිල්ල විසඳා අවසන් කර වැඩි දිනක් යන්නට මත්තෙන් මෙම සිදුවීම වාර්තා වී තිබේ.

මෙම දැරිය ආදර සබඳතාව පවත්වන පුද්ගලයා ස්ත්‍රී දූෂණ සිදුවීම් දෙකක සැකකරුවකු බවට පොලීසිය සඳහන් කර ඇත. 17 හැවිරිදි දැරිය පරිවාස බාරයට පත් කිරීමට නීති ප්‍රතිපාදන නොතිබිණ. එබැවින් අධිකරණයට ඉදිරිපත් කළ ඇය රු.50,000ක ශරීර ඇප මත මුදාහැර ඇයගේ වැඩිමහල් සොයුරියක වෙත බාරකර ඇත. මේ පිළිබඳ අධිකරණ කටයුතු මැයි මස 30 වැනිදාට කල් තැබිණ. බේරුවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර