අර්බුදකාරී සිදුවීම් රැසක් හේතුවෙන් ඉකුත් සමයේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පැවැතියේ ගැටලුවකි. ඒ සම්බන්ධයෙන් රජය වැඩි අවධානයක් යොමුකර තිබුණි. ආරක්ෂක අංශවලට අයත් බුද්ධි අංශ දිගින් දිගටම තොරතුරු රැස්කරන පසුබිමක සිදුකළ විමර්ශනවලදී ඇතැම් පුද්ගලයන් හා පිරිස් ජාවාරම්වල නිරත වෙමින් නීති විරෝධීව මුදල් උපයන බවත් ඒ මගින් නොසිතන ලෙස පොහොසතුන් බවට පත්වන ආකාරයත් නිරීක්ෂණය කොට ඇත. හැඳිනගත් තොරතුරු අනුව අදාළ විමර්ශන සිදු කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතෙත් ආරම්භ කෙරුණේ මීට මාස හතකට පමණ ඉහතදීය.
මුදල් විශුද්ධිකරණ පනත අනුව ආරම්භ කෙරුණු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ මූලික අරමුණ නීති විරෝධී ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටය. අනතුරුව නීති විරෝධීව උපයාගත් බවට තහවුරු කරගන්නා මුදල් හා දේපල යන වත්කම් තහවුරු කොටගෙන ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමය. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත විමර්ශන ක්‍රියාත්මක කරමින් තිබෙන කොට්ඨාසයේ නිලධාරීහු 150ක් පමණ සිටිති.
ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට මෙම කොට්ඨාසයට ගතව තිබෙන මාස 7ක කාලයේදී සැකකරුවන් 950 දෙනකුට අධික පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තිබේ. ඒ අනුව මේ වනවිට නීති විරෝධී ආකාරයට මුදල් ඉපයූ ජාවාරම්කරුවන් 23 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. එම සැකකරුවන්ගෙන් හඳුනාගත් රුපියල් කෝටි 78කට අධික වටිනා දේපල රැසක් මේ වනවිටත් තහනමට ලක්කර ඇත. මේවා බැංකු ගිණුම්, යාන වාහන, ඉඩම්, ගෙවල්, රත්‍රං, ඩොලර්, සුපිරි වෙළෙඳසල් වශයෙන් හඳුනාගෙන ඇත. ඇතැම් අයට අයත් බස් රථ හා මාර්ග බලපත්‍රද අත්අඩංගුවට ගෙන ඇත. එවැනි එක් අයකුගේ බස් රථය හා මාර්ග බලපත්‍රයේ වටිනාකම රුපියල් දෙකෝටි හතළිස් ලක්ෂයක් වන බවද වාර්තා විය. මේ අයුරින් හඳුනාගෙන තිබෙන දේපල සියල්ල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
මාකඳුරේ මධූෂ්, අංගොඩ ලොක්කා, දෙමටගොඩ රුවන්, කොස්ගොඩ තාරක, හරක් කටා ඇතුළු පාතාලයේ නමගිය අපරාධකරුවන් රැසකට අයත් දේපළ මේ අයුරින් රාජසන්තක කිරීම සිදු කෙරේ. මේ හැර ගණිකා ජාවාරම සඳහා මුදලට කාන්තාවන් අලෙවි කිරීම සඳහා වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය අයෙක්ද වෙයි. පසුගිය සමයේ ගල්කිස්ස ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවතක් වාර්තා විය. ඇය අලෙවි කිරීම සඳහා වෙබ් අඩවිය භාවිතා කර තිබුණේ මෙම සැකකරු විසිනි. මේ අතර හරක් කටා නැමැති පාතාල නායකයාගේ ගෝලයකු විමර්ශන සඳහා අත්අඩංගුවට ගෙන ඇත. කුඩු ජාවාරම සිදු කරමින් නීති විරෝධී දේපල රැස්කරගෙන සිටි මොරටුමුල්ල ප්‍රදේශයේ කාන්තාවකද අත්අඩංගුවේ පසුවේ. ඇයට අයත් බව කියන ලොරි රථයක්, ත්‍රිරෝද රථයක්, ඉඩමක් හා සුඛෝපභෝගී නිවෙසක් වන බවද පැවසේ. මේ ආකාරයට හඳුනාගන්නා සැකකරුවන්ට අයත් දේපල ඔවුන්ගේ අනියම් බිරිය, අනියම් ස්වාමියා හෝ ඥාතීන් හිතවතුන් අතට පත්කර තිබෙන අවස්ථා රුසකි. එබැවින් එවැනි පුද්ගලයන් සොයා දීර්ඝ ලෙස විමර්ශන සිදුකිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කෙරුණු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රථමයෙන් අවධානය යොමුකර තිබුණේ දෙමටගොඩ රුවන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පිළිබඳ විමර්ශනය කිරීමටය. ඔහු දෙමටගොඩ චමින්ද නැමැති පාතාල නායකයාගේ සොහොයුරෙකි. එම සැකකරු දෙමටගොඩ රුවන් හෙවත් සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න ලෙස හඳුනාගෙන ඇත. සංවිධානාත්මක අපරාධකරුවකු වූ ඔහු උපයාගෙන ඇති දේපළ රැසක් මේ වනවිට හඳුනාගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තිබුණේ නීති විරෝධී වත්කම් උපයා ගැනීම සඳහා හොරොයින් ජාවාරම සිදුකර තිබෙන බවය. මොහු තොග වශයෙන් විදේශ රටවල සිට මුහුදු මගින් මෙරටට මත්ද්‍රව ගෙන්වූවෙකි.
දෙමටගොඩ රුවන් හෙරොයින් ජාවාරම, මිනීමැරීම ඇතුව බරපතළ අපරාධ රැසකට සම්බන්ධ වූවකු බවට තහවුරු වී තිබේ. 2017 වසරේ සිට සැකකරු අත්අඩංගුවට ගත් ඉකුත් වසර දක්වා රුපියල් කෝටි 700කට අධික වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බව තහවුරු වී ඇත. මොහුට අයත් බව කියන අධික මිලක් වන රේන්ජ් රෝවර්, ලෑන්ඩ් කෘෂර් හා BMW රථ කිහිපයක්ද අත්අඩංගුවට ගනු ලැබ ඒවා රජයට පවරාගෙන තිබේ.
මේ අතර දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත්ව තිබූ සුපිරි වෙළෙඳසලක් තංගල්ල නගරයේදී හඳුනාගෙන එය සීල් තබා මේ වනවිට ලංකා සතොස ආයතනය වෙත පැවරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත. මේ අයුරින් තවත් ජාවාරම්කරුවන් රැසකට අයත් නීති විරෝධී දේපළ හා වත්කම් රටපුරා ඇති බවට පොලීසිය විශ්වාස කරයි. ඒවා හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කර රාජසන්තක කිරීමට නියමිතය.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
විල්තෙර