පසුගියදා ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැති අන්තර්ජාතික සිනමා උළෙලේදී ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටය ලෙසින් සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සම අධ්‍යක්ෂණය කළ ද නිවුස්පේපර්ස් (The NewsPapers) සම්මානයෙන් පිදුම් ලැබීය.
පසුගියදා 13 වැනි බැංගලෝර් ආසියානු සිනමා උළෙලේදී අපේ ද නිවුස්පේපර්ස් සිනමා පටයට ආසියානු කලාපයේ හොඳම සිනමා පටය ලෙසින් සම්මානය හිමිවුණා. මෙම සම්මාන උළෙල ඉන්දියාවේ පැවැත්වෙන හොඳම සම්මාන උළෙලක් ලෙසින් සැලකෙනවා. මමයි සරත් කොතලාවලයි මීට පෙර තණ්හා රතී රඟා චිත්‍රපටය වගේ හොඳ නිෂ්පාදකයෙක් මේ චිත්‍රපටයටත් සෙව්වත් අපිට ලැබුණේ නැහැ. මේ ගැන අපි දෙන්න මාස දෙක තුනක්ම බලාගෙන හිටියා. සරත්ගේ ගුරුවරයා තමයි ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා. එක්තරා උත්සවයකදී අපි දෙන්නා එතුමා එක්ක මේ ගැන කතා කරද්දී එතුමා මැදිහත් වී සරසවි පොත්හලේ අධිපතිතුමන් වන එච්.ඩී. ප්‍රේමසිරි මහතාත්, රවීන්ද්‍ර ගුරුගේ මහතාත් සම්බන්ධ කරගෙන මේ කොල්ලෝ දෙන්නට උපකාරයක් කරන්න ඕනේ කියලා මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න බාරගත්තා. එහෙම ඔවුන් අපි දෙන්නා එක්ක එකතු නොවුණා නම් සමහරවිට තවමත් ද නිවුස්පේපර්ස් පිටපතකට පමණක් සීමාවුණ කතාවක් වෙන්නට ඉඩ තිබුණා. යැයි ද නිවුස්පේපර්ස් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයකු වන ප්‍රවීණ රංගධර කුමාර තිරිමාදුර මහතා දේශයට අදහස් දැක්වීය.
ඒ අනුව කුමාර තිරිමාදුර, සරත් කොතලාවල එක්ව ලියූ ද නිවුස්පේපර්ස් (The NewsPapers) චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වන අතර සම නිෂ්පාදනයෙන් එච්.ඩී. ප්‍රේමසිරි, රවීන්ද්‍ර ගුරුගේ මහත්වරුන් සම්බන්ධ විය.
බැංගලෝරයේ පැවැති දහතුන්වැනි අන්තර්ජාතික සිනමා උළෙලේදී ආසියානු සිනමා තරගය (Asian Cinema Competition) සඳහා නිර්දේශ වී තිබුණි. ඒ අනුව මාර්තු මස 03 සිට 10 දක්වා ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පවත්වන ලද මෙම සම්මාන උළෙල සඳහා ජපානය, ඉරානය, ඉන්දියාව, පිලිපීනය ආදී ආසියානු කලාපීය රටවල් දහතුනකට අයත් චිත්‍රපට විසි අටක් තරග වැදී ඇත.
පසුගිය වසර පුරාවට ලෝකය පුරා ව්‍යාප්ත වුණු කොවිඩ් වසංගතය හේතුවෙන් එම වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ සම්මාන උළෙල කල් ගිය අතර මේ පැවැත්වූයේ 2020 වසර සහ 2021 වසර වෙනුවෙන් පැවැති සම්මාන උළෙලය. ඒ අනුව වසර දෙකටම තිරගත වූ චිත්‍රපටවලට අවස්ථා හිමිවූ අතර ද නිවුස්පේපර්ස් චිත්‍රපටය තිරගත වූයේ 2020 වසර වෙනුවෙනි.
චිත්‍රපටයට නිෂ්පාදකවරුන් සම්බන්ධ වුණාට පසුව අනෙක් සියලුම කලාකරුවන් කලාකාරියන් ඇතුළු මුළු කණ්ඩායමම මෙය තමන්ගේම පවුලේ වැඩක් වගේ හරිම සහයෝගයෙන් වැඩේ කළා. මට හිතෙන විදිහට ලංකා ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේත් දෙන්නෙක් එකතුවෙලා තිරපිටපතක් ලියලා, ඒ දෙන්නම චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක රඟපාමින් ඒ දෙන්නම අධ්‍යක්ෂණය කරපු මුල්ම චිත්‍රපටය වන්නේත් ද නිවුස්පේපර්ස් චිත්‍රපටයයි. කුමාර තිරිමාදුර වැඩිදුරටත් පැවසීය.
සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර විසින් මීට පෙර තණ්හා රතී රඟා සිනමා පටයේ තිර පිටපත ලීවේය. එහි ප්‍රධාන චරිත දෙක රඟපෑවේ ඔවුන් දෙදෙනාය. නමුත් ඔවුන් එය අධ්‍යක්ෂණය කිරීමට ප්‍රවීණ අධ්‍යක්ෂක නිලේන්ද්‍ර දේශප්‍රියට බාර කළේය. ද නිවුස්පේපර්ස් සිනමා පටය අධ්‍යක්ෂණය කිරීමට වෙනත් කෙනෙකුට බාරදීමට උත්සාහ කරද්දී ආචාර්ය බන්දුල ගුණවර්ධන ඔය දෙන්නා අත්දැකීම් තිබෙන දෙන්නෙක්නේ. ඔය දෙන්නටම මේක අධ්‍යක්ෂණය කරන්න පුළුවන්නේ යැයි කුමාරටත්, සරත්ටත් යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව සරත් සහ කුමාර එක්ක කළ පළමු සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන් මෙවැනි ගෞරවනීය සම්මානයක් ලැබීම ඔවුන් පමණක් නොව ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තයම ලද භාග්‍යයකි.
කොයිතරම් නම් ප්‍රවීණ නිර්මාණකරුවන් වුවද අධ්‍යක්ෂණයේ යෙදෙන ගමන් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් වන්නේ නැත. මෙහිදී සරත් සහ කුමාර එකම රෑප රාමුවේ රඟපාන්නට තිබුණ අවස්ථා වැඩිය. ඒ හේතුවෙන් ඔවුන් ඒ සඳහා උපක්‍රම කිහිපයක් යොදාගත්හ. ද නිවුස්පේපර්ස් (The News Papers) චිත්‍රපටය සංස්කරණය කරන ලද්දේ රුක්මල් නිරෝෂ් විසිනි. සංස්කරණ ශිල්පියකු රෑගත කිරීමකට පැමිණෙන්නේ ඉතාම අඩුවෙනි. නමුත් රුක්මල් නිරෝෂ් මෙම චිත්‍රපටය රෑගත කිරීම් කරද්දී පැමිණියේය. එමෙන්ම මෙහි කැමරා අධ්‍යක්ෂණය කරන ලද්දේ ප්‍රවීණ සිනමාපට කැමරා අධ්‍යක්ෂක චන්දන ජයසිංහ විසිනි. ඒ අනුව මුළු කණ්ඩායමම ඉතා සහයෝගයෙන් මෙම චිත්‍රපටය සාර්ථක කර ගැනීමට තම සහයෝගය උපරිමයෙන්ම ලබාදුන්හ. ඔවුන්ගෙන් ලැබුණ ඒ සහයෝගය හා උපදෙස් මත සරත්ට සහ කුමාරට තම චරිත රඟපෑමට පහසු විය. ද නිවුස්පේපර්ස් (The NewsPapers) ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක තිරගත වුණ සිනමා පටයෙකි.
මේක කොවිඩ් රැල්ල කාලයේදියි තිරගත වුණේ. අපේ කාලයේදි සිනමා ශාලා එකසිය විස්සක් තිබිලාත් අපි සිනමා ශාලා අනූවක පමණ තිරගත කළා. ඔය කාලේදී කොවිඩ් පළමු රුල්ල ඉවරවෙලා කවුරුවත් සිනමාපට තිරගත කළේ නැහැ. ඒ නිසා අපිට බොහෝ සිනමාශාලාවල මෙම චිත්‍රපටය තිරගත කිරීමට අවස්ථාව ලැබුණා. කොවිඩ්වලට බය නොවී අපි මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කළා. සරත්ටත්, මටත් අපේ රටට අපිට පුළුවන් අන්දමට ගෞරවයක් අරගෙන දෙන්න ලැබීම ගැන ලොකු සතුටක් තිබෙනවා යැයි කුමාර තිරිමාදුර මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
2006 වසරේ ආරම්භයේ සනිටුහන් කොට ඇති බැංගලෝර් සිනමා උළෙලේ, 2006-2020 කාලවකවානුව තුළ ශ්‍රී ලාංකික දීර්ඝ වෘතාන්ත සිනමා පට 24ක් තිරගත වී ඇති අතර, ඉන් සිනමාපට එකොළහක් ආසියානු සිනමා තරගය නියෝජනය කර ඇත. ඉගිලෙන මාළුවෝ (2011), ඉනි අවන් (2012), තණ්හා රතී රඟා (2013), සක්කාරං (2014), ප්‍රේමය නම් (2016), ආලෝකෝ උදපාදි සහ රතු සමනල හීනයක් (2017) ගින්නෙන් උපන් සීතල සහ අසන්ධිමිත්තා (2019) වෙඩි නොවදින ළමයි (2020) ඒ චිත්‍රපටයන්ය. ඒ අනුව බැංගලෝර් උළෙල ඉතිහාසයේ ආසියානු තරග අංශය නියෝජනය කරන ලද දොළොස්වන ශ්‍රී ලාංකේය සිනමාපටය ද නිවුස්පේපර්ස් වේ.
ලොව පුරා ක්‍රියාත්මක සිනමා උළෙල ප්‍රමිතිකරණයේ හා වර්ගීකරණයෙහි නියැලෙන ලොව ප්‍රමුඛතම ආයතනය වන ෆිඇප්ක් - ( FIAC- Federation International des Associations de Producteure de Films) ආයතනයේ පිළිගැනීම (FIAF Accreditation) මෙම වසරේ සිට බැංගලෝර් අන්තර්ජාතික සිනමා උළෙල වෙන හිමිව ඇත.
සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නෙතලි නානායක්කාර, මාෂි සිරිවර්ධන, දයාදේව එදිරිසිංහ, ගිහාන් ප්‍රනාන්දු, ජයලාල් රෝහණ, පුබුදු චතුරංග රංගනයෙන් දායකවුණු මෙම චිත්‍රපයේ කලා අධ්‍යක්ෂණය අජන්ත අලහකෝන් වන අතර සංගීතය ගයත්‍රි කේමදාසගේය. වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩ එක්වේ.
දිශානි ජයමාලි කරුණාරත්න