බෙල්ලන්විල රජමහ විහාරයට ඉතා ආසන්නයේ පිහිටා ඇති බෙල්ලන්විල උද්‍යානයට (Bellanwila Park) පැමිණෙන ජනතාව දිනෙන් දින වැඩිවෙමින් පවතී. විශේෂයෙන් සවස් කාලයේදීත් සති අන්තයේදීත් මෙම ඇවිදින මංතීරුවේ එහා මෙහා යමින් ව්‍යායාම් කටයුතුවල යෙදෙන පිරිස අය මෙන්ම පාපැදි පදිමින් විනෝද වන අය බොහෝය. ඒ අතරට පසුගියදා දිනෙක බෙල්ලන්විල උද්‍යානයේ තවත් අපූරු ක්‍රීඩාවන් කිරීමට අවශ්‍ය පහසුකම් සැපයුණි. ඒ බෙල්ලන්විල වැවේ කොටසක Jet Ski Ride ක්‍රීඩා කිරීමේ පහසුකම් ඇති කිරීමය.
Jet Ski Ride බොහෝවිට නුවරඑළිය මෙන්ම දකුණු මුහුදු තීරයෙන් වැඩිවශයෙන් දක්නට ලැබුණ අතර විදේශිකයන් මෙන්ම මෙම ක්‍රීඩාවට හැකියාවක් මෙන්ම දක්ෂතා ඇති එක්තරා පිරිසකට පමණක් සීමාවුණ ක්‍රීඩාවක් ලෙසින් හැඳින්වෙයි. නමුත් බෙල්ලන්විල වැවේ ඇතිවුණු මෙම Jet Ski Ride ක්‍රීඩාව ඕනෑම කෙනකුට අත්හදා බැලීමට අවස්ථාව සැලසීම නිසා මේ වනවිටත් බෙල්ලන්විල උද්‍යානයට බොහෝ පිරිස් පැමිණෙමින් සිටිති.
කොළඹ නගරයට ආසන්න බෙල්ලන්විල ප්‍රදේශයේ පළමුවරට තමයි මෙම Jet Ski Ride ක්‍රීඩාව ආරම්භ කළේ. මේ සඳහා ජලයේ යන්නේ Jet Ski Boat එකෙන්. මේක බොහෝ මිල අධික බෝට්ටුවක්. ඒ නිසා මෙම බෝට්ටුවක් මිලදීගෙන මෙම ක්‍රීඩාවේ නියැලෙන්න අමාරුයි. බොහෝ අය මෙම ක්‍රීඩාවට කැමති වුණත් බෝට්ටුවේ ඇති මිල අධිකකම නිසා ක්‍රීඩාවේ නියැලෙන්න බැහැ. ඒ නිසා තමයි මට හිතුණේ එවැනි කැමැත්තක් දක්වන පිරිසට මේ අත්හදා බැලීමට අවස්ථාවක් ලබාදෙන්න.* යැයි Jet Ski Ride පුහුණුකරු දීපාල් පීරිස් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
දීපාල් පිරිස මෙම ක්‍රීඩාව සඳහා මනා දැනුමක් හා පුහුණුවක් ලැබූ කෙනෙකි. ඔහුගේ පළපුරුද්ද වසර විස්සකට වඩා අධිකය. නුවරඑළිය, කොළඹ මෙන්ම විදෙස් රටවල්වල පැවති Jet Ski Ride තරග බොහෝමයකටම සහභාගි වී ඇති දීපාල් ඉන් ජයග්‍රහණ ලත් ක්‍රීඩකයෙකි. නුවරඑළියේ පැවති Jet Ski Ride තරග කිහිපයකින්ම ඔහු වසර කිහිපයක්ම එකදිගට ජයග්‍රහණය කර ඇත.
Jet Ski Ride ඉතා විනෝදජනක ක්‍රීඩාවකි. වැව්වල මෙන්ම මෙය බොහෝ පළපුරුදු ඇති අය ක්‍රීඩා කරන්නේ මුහුදේය. මේ නිසාම විදේශිකයන්ගේ විශාල කැමැත්තක් මෙම ක්‍රීඩාවට ඇත. ඉහළ පහළ යන රුල්ලත් සමඟ මෙම කුඩා බෝට්ටුව වේගයෙන් පැදයාමෙන් ඉතා අපූරු ආශ්වාදයක් ලබාගත හැකියි.
බෙල්ලන්විල උද්‍යානයට පැමිණෙන අයගේද වැඩි කැමැත්තක් මෙම Jet Ski Ride ක්‍රීඩාවට මේ වෙද්දී ලැබෙමින් තිබේ. බෝට්ටුව ධාවනය කිරීමට පළමුව ආරක්ෂක ජැකට්ටුවක් පැළඳීම අනිවාර්ය වේ. දීපාල්ගේ උපදෙස් මත Jet Ski බෝට්ටුව කිලෝමීටර් දෙකහමාරක් පමණ බෙල්ලන්විල වැව හරහා පැද යා හැකිය. එය අපූරු අත්දැකීමකි. ඇතැමුන් මෙම අපූරු ගමන යන්නේ ඡායාරෑප හා වීඩියෝ ගැනීමටය. බෙල්ලන්විල වැවේ ධාවනය වන Jet Ski Ride බෝට්ටුවේ මිල ලක්ෂ විසි දෙකකි. එවැනි මිලක් ගෙවා බෝට්ටුවක් තම පාවිච්චියට ගැනීම සිහිනයකි. මේ නිසාම මේ අපූරු අත්දැකීම ලබාගන්නට බොහෝදෙනා සති අන්තයේ බෙල්ලන්විල උද්‍යානයට පැමිණෙති.
බෙල්ලන්විල වැවේ මේ බෝට්ටුව කාටවත් තනියම පදින්න බැහැ. ඒ සඳහා බලපත්‍රයක් හිමි කෙනෙකු සමඟ ඔහුට ඇයට අවසරය ලැබෙනවා. මේ වෙද්දී පිරිමි පාර්ශ්වය වගේම කාන්තා පාර්ශ්වයද ඉතා උනන්දුවෙන් මෙතනට ඇවිත් මේ අපූරු අවස්ථාවට එකතු වෙනවා. මේ බෙල්ලන්විල වැවේ හැම පැත්තකටම බෝට්ටුව පදින්න අවසරය නැහැ. ඒ සඳහා වෙන්වුණු මංතීරුවක් තියෙනවා. සමහර තැන් ගැඹුරුයි. ඒ නිසා තනියම පදින්න නම් අවසරය දෙන්නේ නැහැ. හැබැයි කවුරුන් හෝ ඉදිරිපස හිඳ පදිනවා නම් මම පිටුපස ඉන්නවා. ඒ නිසා බයක් නැතිව මේ විනෝදය ලබාගන්න පුළුවන්. මේ ක්‍රීඩාවට විදේශිකයන්ගෙන්ද ලොකු ඉල්ලුමක් තිබෙනවා. වයස් සීමාවන් නැහැ. කැමැති ඕනෑම කෙනකුට බෙල්ලන්විල උද්‍යානයට පැමිණ Jet Ski Ride එකක් බෙල්ලන්විල වැවේ යන්න පුළුවන්. යැයි දීපාල් පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.
Jet Ski Ride එකක් යන්න කැමැති කෙනෙකුට බෙල්ලන්විල උද්‍යානයට පිවිස ඒ බෙල්ලන්විල වැවේ මේ බෝට්ටු සවාරිය යාමට හැකිය. උදෑසන 9 සිට දහවල් දොළහයි තිහ දක්වාත් නැවත සවස තුනේ සිට පහමාර දක්වාත් මෙම අපූරු අත්දැකීම විඳින්නට හැකියාව තිබේ.
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ