රුපියල පාවෙන අතරේ ජීවන වියදම සුනාමියක් ලෙස ගෙදර කුස්සියට කඩා වැදී තිබේ. ඉන්ධන ඉහළ යෑමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් ඇත. යූක්‍රේන අර්බුදය ඇතුළු ලෝක ආර්ථික අර්බුදයත් මේ සඳහා හේතුවිය. ඒ අනුව මේ වනවිට භාණ්ඩ සහ සේවා රැසක හිඟයක් ද ඇතිව තිබේ. මෙම තත්ත්වය පිළිබඳ සැකෙවින් සොයා බැලීමට අප තීරණය කළේ එබැවිනි.
ඉන්ධන මිල ඉහළ යෑමත්, රුපියල අවප්‍රමාණය වීමත්, යූක්‍රේන ගැටුමත් හේතු කොටගෙන දේශීය වශයෙන් ප්‍රමුඛව බලපෑමට ලක්වූයේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන්ය. කෙසේ වෙතත් ගෙවුණු සතිය තුළ නිරීක්ෂණ වූ මෙම තත්ත්වය ආරම්භයක් පමණි. මෙම තත්ත්වය තවදුරටත් බරපතළ වන බවට ලකුණු පහළ වූයේය.
ගෙවුණු සතියේ ශ්‍රී ලංකාවට තිරිඟු පිටි (පාන් පිටි) ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙකම මිල වැඩි කිරීමට තීරණය කළේය. ඒ අනුව සෙරෙන්ඩිබ් සමාගම පාන් පිටි කිලෝවක් රුපියල් 35 කින් ඉහළ දැමීට කටයුතු කළ අතර ප්‍ර්‍රීමා සමාගම රුපියල් 40 කින් මිල ඉහළ දැමුවේය. රුපියල් 120ත් 130ත් අතර පැවති පාන් පිටි කිලෝවකට ඒ අනුව රුපියල් 150ත් 160ත් අතර මිලක් නියම විය.
මෙම තත්ත්වය තුළ ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළේය. ඊට අමතරව බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන මිල රුපියල් 10කින් ද ඉහළ දමා තිබේ. තවද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ බත් පැකට්ටුවක මිල රුපියල් 20 කින් ද කොත්තුවක මිල රුපියල් 10 කින් ද ඉහළ දැමීමට කටයුතු කරන බවකි. මේ අතර සීනි කිලෝවක මිලද රුපියල් 10ත් 15ත් අතර මිලකින් ඉහළ ගොස් තිබේ.
ආහාර ද්‍රව්‍යවලට අමතරව අත්‍යවශ්‍ය ඖෂධ 60 ක පමණ මිල ගණන්ද ඉහළ ගොස් ඇත. ඩොලරයේ අගය ඉහළ යෑමට සමානුපාතිකව මෙරට ඖෂධ මිල සියයට 29 කින් ඉහළ නංවන බව ඖෂධ නිෂ්පාදන නියාමන හා සැපයුම් පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ පසුගිය සතියේදී සඳහන් කළේය. කෙසේ වෙතත් මේ වනවිට වෙළෙඳපොළ තුළ ඖෂධ හිඟයක්ද දක්නට ලැබේ. එසේම නමුත් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ පෞද්ගලික ඖෂධ වෙළෙඳුන් ඖෂධ හිඟයක් ඇති කිරීමට ක‍්‍රියා කළ නමුත් පෞද්ගලික අංශය සතුව ඉදිරි මාස 04කට අවශ්‍ය ඖෂධ තොග ඇති බවකි.
පසුගිය සතියේ ගමනාගමන වියදම්ද ඉහළ ගියේය. නව බස් ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 17 ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 20ක් බවට පත්ව තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිකුත් මෙම සංශෝධනයට අනුව අවස්ථා 350 කින් යුත් නව බස් ගාස්තු සටහන වෙනස් කොට ඇත. ඒ අනුව උපරිම බස් ගාස්තුව රුපියල් 1303 සිට 1498 දක්වා ඉහළ දමා තිබේ. කෙසේ වෙතත් බස් ගාස්තු මිල සංශෝධනය නොපිළිගන්නා බස් සංගම් කිහිපයක් සීයයට තිහකින් බස් ගාස්තු මිල ඉහළ දමන ලෙස ඉල්ලා සිටිති.
ත්‍රීරෝද රථ ගාස්තු මිලද ඉකුත් සතියේ ඉහළ ගියේය. ධාවනයේදී පළමු කිලෝමීටරය සඳහා අය කෙරෙන ත්‍රීරෝද රථ ගමන් ගාස්තුව රුපියල් 80 ක් දක්වා ඉහළ දැමීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය යෝජනා කර තිබුණි. කෙසේ වෙතත් රුපියල් 70 දක්වා එම ගාස්තුව ඉකුත් සතිය වනවිට ඉහළ දමා තිබුණු බව නිරීක්ෂණය විය. ඊට අමතරව උබර්, පික් මී ඇතුළු ප්‍රවාහන සේවාවන් ද සිය ගාස්තු ගෙවුණු සතිය තුළ ඉහළ දැමීට කටයුතු කළේය.
සියලු ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ගණන්ද ඉකුත් සතියේ ඉහළ ගොස් තිබුණි. ඒ අනුව රුපියල් 1375ක මිලට අලෙවි වූ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 475කින් ඉහළ නැංවීමට සිමෙන්ති සමාගම් තීරණය කළේය. ඒ සමඟ සිමෙන්ති කොට්ටයක මිල වෙළෙඳපොළ තුළ සටහන් වූයේ රුපියල් 1850ක් ලෙසය. යකඩ ඇතුළු සියලු ලෝහ ද්‍රවයවල මිල ඉහළ යෑම හේතුවෙන් යකඩ කම්බි සහ යන්ත්‍ර උපකරණ සඳහා භාවිතා කරන තඹ ඇතුළු සියලු ලෝහ ද්‍රව්‍යවල මිල ගණනද ඉහළ ගියේය.
මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ සේවාවලට අමතරව මහජනතාව දෛනිකව පරිභෝජන කරනු ලබන තවත් භාණ්ඩ සහ සේවා රැසක මිල ඉහළ දැමීම ඉකුත් සතිය තුළ සිදුවිය. උදාහරණයක් ලෙස මත්පැන් මිල ඉහළ දැමීම පෙන්වා දිය හැකිය. පසුගිය සතියේ මත්පැන් සමාගම් විසින් මත්පැන් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව අති විශේෂ අරක්කු මිලිලීටර් 750ක මිල රුපියල් 1820 දක්වා රුපියල් 135කින් ඉහළ දමා ඇත. එසේම පරණ අරක්කු මත්පැන් මිලිලීටර් 750ක මිල රුපියල් 2120 දක්වා රුපියල් 160කින් ඉහළ දමා තිබේ.
මෙලෙස මිල ඉහළ යෑම් එකිනෙක වාර්තා වන අතරේ අනතුරු ඇඟවීම්ද රුසක් අසන්නට ලැබිණි. සහල් සඳහා පාලන මිලක් පැනවීමට රජය මගින් කටයුතු නොකළහොත් ඉදිරි සති කිහිපය තුළ සහල් කිලෝවක මිල රුපියල් 200 සීමාව ඉක්මවිය හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය සඳහන් කළේය. එසේම විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විදුලි බල අමාත්‍යංශය තීරණය කර ඇතැයි කියැවේ. විදුලිබල ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට ඔවුන් එළඹ ඇත.
තවද අඩුම මුදලකින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කියැවේ. මේ තත්ත්වය යටතේ යම් මිල සංශෝධනයකට නොගියොත් දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන්ධනවල වියදම දරා ගැනීමට බැරිවන බව දිලුම් අමුණුගම මහතා පසුගිය සතියේදී පැවසීය. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී දුම්රිය ගාස්තු මිල ගණන් ඉහළ දැමීමද සිදුවිය හැකිය.
මේ වනවිට සිදුව ඇති මිල ඉහළ යාම පිළිබඳ මෙම විමසීම සැකවින් කරනු ලැබූවකි. වෙළෙඳපොළේ සියලු භාණ්ඩ හා සේවාවල මිල ගණන් මේ වනවිටත් ඉහළ ගොස් තිබේ. එහෙත් තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මෙම සියලු මිල ඉහළ යෑම් හමුවේ පීඩාවට පත්වන්නේ සාමාන්‍ය මහජනතාවයි. සහන පිළිබඳව කොතරම් පුවත් මැවුණද තවදුරටත් පවතින ආර්ථික වටපිටාව තුළ ඒහා සම්බන්ධ බලාපොරොත්තු තබා ගැනීම පහසු නොවේ
චමිඳු නිසල් ද සිල්වා