ඉන්දියාව, නේපාලය, භූතානය, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවල් ඇතුළත් පස්වැනි බිම්ස්ටෙක් සමුළුව මාර්තු 30 වැනි දින ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. මෙම සමුළුව සඳහා එම සංවිධානයට අයත් සාමාජික රටවල නායකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය උනන්දු වන නමුදු ඇතැම් නායකයන් සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වනු ඇති බවටද විශ්වාස කෙරේ. භූතානය, මියන්මාරය, නේපාලය, තායිලන්තය යන සාමාජිකයින් සිව්දෙනකු දැනටමත් ඔවුන්ගේ සහභාගීත්වය තහවුරු කර ඇති අතර බංගලාදේශය සහ ඉන්දියාව ඉතා ඉක්මනින් ඔවුන්ගේ සහභාගීත්වය නිල වශයෙන් තහවුරු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මිය සමුළුවට ශ්‍රී ලකාවට පැමිණෙන්නේද නැතහොත් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වනවාද යන්න පිළිබඳව ස්ථිර වශයෙන් පවසා නොමැත. මෙම සමුළුව සඳහා මියන්මාරය සහභාගී කර ගැනීම සම්බන්ධයෙන් ඇතැම් රාජ්‍යවල දැඩි අවධානයක් යොමු වී තිබේ. පසුගිය වසරේ පෙබරවාරි 01 වැනි දින කුමන්ත්‍රණයක් මගින් එරට රාජ්‍ය පාලනය අල්ලාගත් ජෙනරාල් මින් අවුන් හ්ලේන් සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් පවතී. අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමයේ (ආසියාන්) 2021 වාර්ෂික සමුළුවටද ඔහුට ආරාධනා ලැබුණේ නැත.
මාර්තු 30 වැනි දින පැවැත්වීමට නියමිත සමුළුවේදී තීරණ ගැනීමේ පහසුව සඳහා බිම්ස්ටෙක් සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් සහ විදේශ ලේකම්වරුන් පිළිවෙළින් මාර්තු 28 සහ 29 යන දිනවල රුස්වීමට නියමිතය. බිම්ස්ටෙක් සාමාජික රටවල රාජ්‍ය ප්‍රධානීන් මෙවර එම සංවිධානය සඳහා ප්‍රඥප්තියක් අනුමත කිරීමටත්, ප්‍රවාහන සහයෝගතාව සඳහා වන ප්‍රධාන සැලැස්මක් සහ අපරාධ කටයුතුවලදී අන්‍යෝන්‍ය නෛතික සහය පිළිබඳ සම්මුතියක් අත්සන් කිරීමටත් නියමිත බව පැවසේ. බිම්ස්ටෙක් ප්‍රඥප්තිය පිළිබඳව මේ වනවිටත් සාකච්ඡා අවසන් කර ඇති අතර එය කොළඹදී පැවැත්වෙන සමුළුවේදී අත්සන් කරන බවට බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් පසුගිය ඔක්තෝබර් මාසයේදී පවසා තිබිණි.
BIMSTEC යනු ඉන්දියාව, නේපාලය, භූතානය, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව යන දකුණු ආසියාතික සහ අග්නිදිග ආසියාතික ජාතීන් හතකින් සමන්විත ජාත්‍යන්තර සංවිධානයකි. 1997 දී පිහිටුවන ලද මෙම සංවිධානය මේ වනවිට වසර 24ක් පමණ පැරණිය. එහි පළමු සමුළුව 2004 ජූලි 31 වැනි දින තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණි. දෙවැනි සමුළුව 2008 නොවැම්බර් 13 වැනි දින නවදිල්ලියේද, තුන්වැන්න 2014 මාර්තු 4 වැනි දින මියන්මාරයේ නේ පි තාවු හිද සිව්වැන්න 2018දී අගෝස්තුවේ කත්මණ්ඩු නුවරදීද පැවැත්විණි. 2022 පැවැත්වෙන මෙම සමුළුවේ සභාපතිත්වය දරන්නේ ශ්‍රී ලංකාවය. පසුගිය අගෝස්තුවේ සහ දෙසැම්බරයේ ශ්‍රී ලංකාව මෙම සමුළුව පැවැත්වීමට උත්සාහ කළද කොවිඩ් අර්බුදය හේතුවෙන් අසාර්ථක විය.
බිම්ස්ටෙක් කලාපය ලෙසින් ගැනෙන බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ ලෝක ජනගහනයෙන් සියයට 23ක් හෙවත් බිලියන 1.73ක පමණ ජනතාවක් වාසය කරති. ඒවායේ ඒකාබද්ධ දළ දේශීය නිෂ්පාදිතය 2021 වනවිට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.8 පමණ විය. මෙම සංවිධානයේ ස්ථිර ලේකම් කාර්යාලය බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටා ඇත. බිම්ස්ටෙක් යනු සමාන ආර්ථිකයක් සහිත කණ්ඩායමක් නොවේ. එහි සාමාජිකයන් විවිධ ආදායම් මට්ටම් ඇති සංවර්ධනයේ විවිධ අවධීන්වල සිටින රාජ්‍යයන්ය. සාමාජිකයන් හත්දෙනා අතරින් පස් දෙනෙක් SAARC සංවිධානයේද සාමාජිකයෝ වෙති.
මෙම සංවිධානයට මුල පිරුණේ 1997 ජූනි 6 වැනි දින, BIST-EC (බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්තයේ ආර්ථික සහයෝගීතාව) නමින් නව උප-ප්‍රාදේශීය සංවිධානයක් බැංකොක්හි පිහිටුවීමත් සමඟිනි. 1997 දෙසැම්බර් 22 වැනි දින බැංකොක්හි පැවැති විශේෂ සාමාජික මණ්ඩල රැස්වීමකදී මියන්මාරය ඇතුළත් කිරීමෙන් පසුව, සමූහය ‘BIMST-EC’ (බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව සහ තායිලන්තයේ ආර්ථික සහයෝගීතාව) ලෙස නම් කරන ලදී. 1998දී නේපාලය නිරීක්ෂකයෙක් විය. 2004 පෙබරවාරි මාසයේදී නේපාලය සහ භූතානය පූර්ණ සාමාජිකයන් බවට පත්විය.
2004 ජූලි 31 වැනි දින, පළමු සමුළුලුවේදී මෙම කණ්ඩායම BIMSTEC හෝ බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම ලෙස නම් කරන ලදී. බිම්ස්ටෙක්හි සලකා බැලෙන ප්‍රධාන අංශ 14 ක් ඇත. 1. වෙළඳාම සහ ආයෝජන, 2. ප්‍රවාහනය සහ සන්නිවේදනය, 3. බලශක්තිය, 4. සංචාරක ව්‍යාපාරය, 5. තාක්ෂණය, 6. ධීවර කර්මාන්තය, 7. කෘෂිකර්මය, 8. මහජන සෞඛ්‍යය, 9. දිළිඳුකම පිටුදැකීම, 10. ප්‍රති-ත්‍රස්තවාදය සහ ජාත්‍යන්තර අපරාධ, 11. පරිසරය සහ ආපදා කළමනාකරණය, 12. අන්තර් පුද්ගල සම්බන්ධතා, 13. සංස්කෘතික සහයෝගිතාව, 14. දේශගුණික විපර්යාස යන කරුණු ඒ අතර වේ.
2005 දී ඩකාහි පැවති 8 වැනි විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේදී 7 සිට 13 දක්වා අංශ එකතු කරන ලද අතර 14 වැනි අංශය 2008 නව දිල්ලියේ පැවති 11 වැනි විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේදී එක්කරන ලදී.
එක් එක් රටවල් අධ්‍යාපනික වෘත්තීය සහ තාක්ෂණික ක්ෂේත්‍රවල පුහුණු සහ පර්ෙය්ෂණ පහසුකම් සැපයීම සඳහා එකිනෙකාට සහයෝගය ලබාදීම, ආර්ථික, සමාජීය, තාක්ෂණික සහ විද්‍යාත්මක ක්ෂේත්‍රවල ක්‍රියාකාරී සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහය ප්‍රවර්ධනය කිරීම, සාමාජික රටවල සමාජ-ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට උපකාර කිරීමට බැඳී සිටියි.
2018 වසරේ කත්මණ්ඩු නුවර පැවති 4 වැනි බිම්ස්ටෙක් සමුළුවේදී මෙම අර්බුදවලින් ගොඩ ඒම සඳහා ප්‍රධාන පියවර තුනක් නිර්දේශ කර තිබුණි. බිම්ස්ටෙක් ලේකම් කාර්යාලය ශක්තිමත් කිරීම, බිම්ස්ටෙක් ආයතන සක්‍රීය කිරීම සහ බිම්ස්ටෙක් සංවර්ධන අරමුදලක් පිහිටුවීම එම නිර්දේශ විය.
පසුගිය දෙවසර තුළ මෙම සියලුම සාමාජික රටවල් කොවිඩ් ව්‍යසනයේ අහිතකර බලපෑමට නතුවිය. එහෙයින් වෙළඳ ප්‍රවර්ධනය, ප්‍රාග්ධනයට බාධා කරන අර්බුද ජය ගැනීමට හා කොවිඩ් සතුරාට එරෙහිව කටයුතු කිරීමට සහයෝගිතාවෙන් කටයුතු කිරීම බිම්ස්ටෙක් සාමාජික රටවල ඉදිරි අරමුණු වී තිබේ.
කොවිඩ් වසංගතයට පෙර දශකය (2010 සිට 2019 දක්වා) බිම්ස්ටෙක් රටවලට ඉහළ ප්‍රතිලාභ හිමිවිය. කුඩා ආර්ථිකයන් විශාල ඒවාට වඩා වේගයෙන් වර්ධනය විය. බිම්ස්ටෙක් කලාපය තුළ ඔවුන්ගේ වෙළෙඳාම ප්‍රචලිත විය. කෙසේ වෙතත්, වසංගතය අතරතුර, අන්තර් කලාපීය වෙළඳාම පිරිහීමට මුහුණදුන් අතර වෙළඳ පරිමාව පහත වැටුණි. බංග්ලාදේශය, භූතානය සහ නේපාලය හැර අනෙකුත් රටවල් 2020 දී ආර්ථික අවපාතයකට ඇදවැටුණි. බිම්ස්ටෙක් රටවල් 2020-22 කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.11 ක පාඩුවක් (ඇමරිකානු ඩොලර් බිලියන 355.37 ක්) ලබනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
බිම්ස්ටෙක් රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳවද සාකච්ඡා වෙමින් පවතී වසරින් වසර මෙම සමුළුවේ නායකත්වය හිමිවන්නේ රටේ නම්වල අකාරාදී පිළිවෙළටය. වසර 24කට පෙර 1997 බිම්ස්ටෙක් සංවිධානය පිහිටුවීමෙන් පසු විදේශ ලේකම්වරුන් 21 වතාවක්ද, විදේශ අමාත්‍යවරුන් 17 වතාවක්ද, රජයේ ප්‍රධානීන් සිව් වතාවක්ද හමු වූ අතර 2017 සිට ආරක්ෂක උපදේශකයන් තුන් වතාවක් හමුවී ඇත. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පස්වැනි සමුළුවෙන් පසු එහි සභාපතිත්වය තායිලන්තයට හිමි වනු ඇත.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා