2022 මාර්තු 20 වන ඉරිදා

දරාගන්න බැරි උද්ධමනයට හේතු

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 1069

වාණිජ බැංකු පොලී අනුපාත නැවත වතාවක් වැඩිවෙමින් පවතින ප‍්‍රවණතාවයකය. ආර්ථිකයක් හැදෙන්නට අඩු උද්ධමනය, අඩු පොලී අනුපාත, ව්‍යාපාර ලෙහෙසිය සහ තරගකාරී විනිමය අනුපාත ඉතාම වැදගත්ය. මෑත කාලය තුළ ආර්ථිකයට සුදුසු පරිදි සියල්ල සිදුවෙමින් පැවැතිණ. හොඳට හෝ නරකට ආණ්ඩුව ගත් තීරණ දැන හෝ නොදැන අනුගමනය කරමින් සිටියේය. එහිදී පොලී අනුපාත කපා හැරියේය. එහෙත් කොවිඩ් වසංගත තත්ත්වය සමඟ සියල්ල නරක අතට හැරිණ.

අවුරුද්දක් ඇතුළත උද්ධමනය ඉහළටම පැමිණ තිබේ. පොලී අනුපාත වේගයෙන් වර්ධනය වන බව නිරීක්ෂණය කළ හැක. ව්‍යාපාර ලෙහෙසිදැයි දන්නේ ව්‍යවසායකයෝය. ආයෝජනය සඳහා උත්සාහ කරන පිරිසය. විනිමය අනුපාත හැසිරෙන ආකාරය විස්මිතය. සතියක් තුළ සියයට තිහකට වැඩි අගයකින් රුපියලේ අගය අවප‍්‍රමාණය වී ඇත. මෙම වාතාවරණය මැද මහජනතාවගේ පැවැත්ම කෙබඳුද?

• පොලී අනුපාත අඩු කරන්නේ මහ බැංකු නියමයෙන්

වත්මන් ආණ්ඩුව බලයට පත් වහා ආර්ථිකය පවතින තත්ත්වය සලකා බැලීය. එක පැත්තකින් පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාව ඉදිරියේ ගැටලු මතු වී තිබුණි. කොවිඩ් වසංගත තත්ත්වය සමඟ වහාම ඇති ආදායම අහිමිවීම සෑහෙන ප‍්‍රශ්නයක් විය. ඒ වනවිට පැවැති ඉහළ පොලී අනුපාත ව්‍යවසායකත්වය අසීරු තැනකට තල්ලු කළේය. ණය ගෙවා ගත නොහැකි වූ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසාය දෙස බලන්නට සිදුවූ බව මතක් කළ යුතුය. ණය ආපසු ගෙවන්නට සහන කාලයක් ප‍්‍රකාශයට පත්කළ අතර එම ණය සඳහා අඩු පොලී අනුපාත නියම කරන ලදී. වානිජ බැංකු එම අඩු පොලිය ගෙවමින් තිබුණ ණය සඳහා ආදේශ නොකරන ලද බවද මෙහි දී අවධාරණය කළ යුතු කරුණකි. ආණ්ඩුව පොලී අනුපාත අඩු කරන බව දක්වා ශ‍්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන නමුත් වානිජ බැංකු එය නොසලකා හැරියේය. තැන්පත් පොලිය අඩුකළ වානිජ බැංකු ණය පොලිය වෙනසක් කළේ නැත. ණය පොලිය අඩු නොකළහොත් තද පියවර ගන්නා බව මහ බැංකුව නැවතත් අනතුරු ඇඟවීය. 

ණය පොලිය අඩු කිරීම සමඟ පොලිය අඩු වනවිට ආණ්ඩුවේ ණය ගැනීම පහසු වෙයි. රාජ්‍ය ආයතනවල පොලී ගෙවීමේ හිසරදය පාලනය වෙයි. එය අතරවාරයේ අලුත් ණය අපේක්ෂා කරන ව්‍යාපාර හා කර්මාන්තවලට පහසුවක් ඇති වෙයි. පසුගිය කාලය තුළ විවිධ අපහසුතා මැද වානිජ බැංකු අඩු පොලියකට ව්‍යාපාර මෙහෙයවන ලද අතර එයින් අවාසි සිදුවූ බවක් පෙනෙන්නට නැත. තැන්පත් පොලිය හා ණය පොලිය අතර සියයට හතරකට වැඩි පරතරයක් පවත්වා ගැනීම එයට හේතුවකි. ණය නිකුත් කිරීමේදී ලියැකියවිලි ඇතුළු සියලු පිරිවැය ව්‍යවසායකයා වෙත පවරන වානිජ බැංකු ඒවායෙන්ද ආදායම ලබාගන්නා අතර පවත්වාගෙන යන ඉහළ පරතරය ලාභ තීරු නොවෙනස් කරන හේතුවක් වූ බව සඳහන් කළ යුතුය තිබේ.

• වෙළඳ පොළ පීඩනය

අඩු පොලියකට තිබුණ වානිජ බැංකු පරිසරය වෙනස් වී ඇත. සියයට හතරක වාර්ෂික ප‍්‍රතිශතයක තිබුණ තැන්පත් පොලිය සියයට අටක මට්ටම දක්වා පැමිණ තිබේ. අවුරුදු පහකින් ආපසු ගන්නා තැන්පතුවලට සියයට දොළහක සිට දහ අට දක්වා ගෙවන්නට වානිජ බැංකු සූදානම් බව පෙනේ. මෙතෙක් පැවැති නියමය අනුව සෑම ස්ථිර තැන්පතුවකටම ගෙවන වාර්ෂික පොලි අනුපාතය භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දින 365 කට ලැබෙන ඵලදා අනුපාතයට සමාන කළ යුතුය. බැංකු හා මූල්‍ය ආයතන එම පොලී අනුපාත අනුගමනය කළ යුතු අතර ළමා හා වැඩිහිටි ස්ථිර තැන්පත්වලට සියයට 0.5 ක අමතර පොලියක් ගෙවිය හැකි බව තිබිණ. එහෙත් එම පරිසරය වෙනස් වී තිබේ. තැන්පත් ලබාගැනීමේ අරමුණ ඇති වානිජ බැංකු විශාල පොලී සඳහා යොමු වී ඇත. රජය තැන්පත් දිරිගන්නවන සේ දක්වයි. පසුගිය අයවැය යොජනාවලදීද තැන්පත් නංවන අවශ්‍යතාව පෙන්වා දී තිබුණි. දළ දෙශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ තැන්පත් අනුපාත තරගකාරී රටවලට වඩා පහළ අගයක් ගන්නා අතර එය ආයෝජනවලදී අවධානයට ගැනෙන කරුණකි. ව්‍යවසායකයන්ට රට තුළින් ලබාගත හැකි ප‍්‍රාග්ධනය ලැබෙන අදහසක් මෙම තැන්පත් අනුපාතය අනාවරණය කරයි. ලෝකයේ අනෙක් රටවලින් පහසුවෙන් ලබාගත හැකි, අඩු පොලී අනුපාත සහිත විශාල සංචිත ව්‍යවසායකයන් දිරිගන්වන්නේය.

පසුගිය මාර්තු 15 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී දින 91ක මිලදී ගැනීම් සඳහා ලැබුණ ඵලදා අනුපාතය සියයට 11.35 කි. කලින් සතියේ එය සියයට 10.27 ක් වූ අතර අවුරුදු දෙකකට කලින් මෙම අනුපාතය සියයට 7.90 කි. එය වසර ගණනකට පසු වැඩිම මට්ටම බව නිරීක්ෂණය කළ හැකිය. දින 364ක මිලදී ගැනීම් සඳහා ලැබුණ ඵලදා අනුපාතය සියයට 11.15කි. කලින් සතියේ එය සියයට 10.60ක් වූ අතර අවුරුදු දෙකකට කලින් මෙම අනුපාතය සියයට 7ක විය. ණය පොලී අනුපාතය සියයට 15-16 අතර මට්ටමක පවතින නමුත් එය වේගයෙන් වැඩිවිය හැක. එය ව්‍යවසායකයන්ට අවාසියකි. තැන්පත් පොලිය හා සමානව ණය පොලිය වැඩි වුවහොත් ඉදිරියේදී වානිජ බැංකු අයකරන පොලිය සියයට 18-20 අතර විය හැකිය.

• අවාසිය දැනෙන උද්ධමනයක්

බැංකු හා මූල්‍ය ආයතනවල තැන්පත් හා ණය පොලී අනුපාතිකයන්ගෙන් ගනුදෙනුකරුවන්ට වාසි ඇතිකරන බව බැලූ බැල්මට දැකගත හැකිය. නමුත් එහි සෘජු වාසිය ආණ්ඩුවට හා ආණ්ඩුවේ ආයතන වලට ලැබුණ බව ඉතාම පැහැදිලිය. ආණ්ඩුවේ ණය බර පාලනය වන අතර අවසානයේදී එහි සුළු පිටිවහලක් ජනතාවට ලැබෙන්නට ඉඩ තිබේ.

පොලිය අඩු කිරීමෙන් කෙලින්ම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවලට ගෙවන ඵලදා අනුපාතිකය පාලනය වෙයි. වර්තමාන බැඳුම්කර අනුපාත අනුව එය දැන් අහෝසි වෙන්නට ඉඩ ඇත. බිල්පත් හා බැඳුම්කර පියැවීමට අලුතින් මුදල් නෝට්ටු නිකුත් කිරීම හෝ නැවත වතාවක් එකී වටිනාකමට සමාන බිල්පත් හෝ බැඳුම්කර නිකුත් කිරීම සිදුවෙයි. බිලියන ගණනින් සිදුවන මෙම හුවමාරුවේදී සියයට පොලිය වැඩිවීම සෑහෙන අවාසියකි. උද්ධමනයට බලපායි. 2021 වසර අවසන් වනවිට මෙරට ආහාර මත උද්ධමනය සියයට 25කි. එය දරාගත හැකි තත්ත්වයක් නොවේ. ඉන්ධන මිල සංශෝධනය හා පනවන ලද අලුත් බදු හේතුවෙන් මෙම වසරේදී තවත් වධයකින් උද්ධමනය ඉහළ නගින බව නිසැක කාරණයකි. ආර්ථිකය ගැන අවධානයෙන් සිටින විද්වත් අංශ මෙම කරුණු ගැන නොයෙක් වර පෙන්වා දී ඇත. එහෙත් ආණ්ඩුවටත්, මුල්‍ය වෙළඳ පොළටත් තැන්පත් ආකර්ෂණය කරගත හැකි අවස්ථාවක අනෙක් පිළියමක් නැත.

• ඉහළ පොලිය කෙටිකාලීන යහපතක්

වානිජ බැංකු පොලී අනුපාත අනුව මෙරට බැංකුවල ස්ථිර තැන්පත් ආරම්භ කරන ගනුදෙනුකරුවන්ට ඉදිරියේදී වාසියක් සිදුවෙයි. සියයට හතරකින් පමණ අඩු පොලී අනුපාතයක් සහ එම පොලිය උද්ධමන අනුපාතිකයට ඉතාම කිට්ටු අගයක තිබුණි. දැන් එය වැඩිවෙමින් පවතී. උද්ධමනයට සමාන ප‍්‍රමාණයකට කෙසේ වෙතත් කලින් තිබුණ පොළියට වඩා දෙගුණයක් පමණ වැඩිවන ප‍්‍රවණතාව මත තැන්පත්වලින් ආදායමක් ලබන පිරිසට හොඳ අවස්ථාවකි. පොලී අනුපාත අඩු මටට්මක තිබුණ කාලයේදී ආයෝජකයෝ අවදානමක් සහිත කොටස් වෙළඳාමට පවා පෙළැඹින. එයින් කොටස් වෙළඳාම ආකර්ෂණීය තැනක් බවට හැරිණ. ඉදිරියේදී එහි උනන්දුව තරමක් අඩුවීමට ඉඩ තිබේ.

පසුගිය කාලයේ ඉඩම් හා දේපොළ මිල ඉහළ ගිය බව නොරහසකි. වාහන මිල දරාගත නොහැකි තරමට වැඩිවිය. වාහන ගෙන්වීම පාලනය කරන අතර බැංකු පොලිය අඩුවීම හේතුවෙන් වාහනයක් මිල දී ගත්තේ ආයෝජනයක් වශයෙනි. ඉතිරි කිරීම නිෂ්ඵල දෙයක් බවට පත්ව තිබුණ අතර එවැනි තත්ත්වයක් ඇති වීමද නරක ප‍්‍රතිඵල ඇති කර සාමාන්‍ය තත්ත්වය තරමක විපරීතභාවයක් ඇති කරන ලද බවද මතක් කළ  යුතුය. හේතුව ඉඩම් හා වාහන මිලට දරුණු ලෙස බලපෑමය. දැන් එය පාලනය වෙන්නට ඉඩ ඇත. ජනතාව පරිභෝජනයට නැඹුරු වෙන්නට අවකාශය අඩුවිය හැකි අතර ඉතිරි කරන්නට හැරෙනු ඇත. ආනයන තවත් වටයකින් දුර්වල කරන්නට හේතුවකි. එය දැනට පවතින ආනයන හා අපනයන අතර පරතරය සඳහා වාසිදායක විය හැක. එක තීරණයක් තවත් පැති ගණනාවකින් පීඩනයක් එල්ල කරන අතර හොඳ ආර්ථිකයක් හැදීම හැර අනෙක් අවකාශයක් නැත.

 සාරා කන්දෙගොඩ