ආහාර පාන රස ගැන්වීම සඳහා භාවිත කරන්නේ රසකාරකය. ඒ අතර කෘත්‍රිම රසකාරක මෙන්ම ස්වාභාවික රසකාරකද වේ. ස්වාභාවික රසකාරක සඳහා භාවිත කරන කුළුබඩු රාශියකි. මෙහි බහුතරය වත්ත පිටියේ දේශීය වශයෙන් වැවෙන හා වගාකරන කුළුබඩු වර්ගය. මෙකී ද්‍රව්‍ය අපනයනය කිරීම තුළින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයිය හැකිය. මේ කතාව දේශීය කුළුබඩු අපනයනය කිරීමේදී සිදුකරන කූඨ ජාවාරමක් පිළිබඳවය.
මේ ජාවාරම සම්බන්ධයෙන් ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාවක් විකාශනය කිරීමට ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් ඉකුත් දිනකදී කටයුතු කොට තිබිණ. එම ප්‍රවෘත්තිය ඔස්සේ අනාවරණය කෙරුණේ දේශීය කුළුබඩු පිටරට යවන ආයතනයක් මගින් රටට ලැබිය යුතු විදේශ විනිමය රටට නොගෙන එම මුදල් ඩොලර් වශයෙන් විදෙස් බැංකු ගිණුම්වල තැන්පත් කරන බවය.
මෙම ජාවාරම පසුපස ක්‍රියාත්මක ආයතනය අවිස්සාවේල්ල මාදොළ ප්‍රදේශයේ පිහිටි එකකි. දේශීය කුළුබඩු පිටරට යවන ආයතනයක් වන එය ලක්ෂ්මී එක්ස්පෝර්ට් ඇන්ඩ් ඉම්පෝර්ට් නැමැති ආයතනයයි. තොරතුරු හා සංඛ්‍යාලේඛන ඇසුරින් වාර්තා වන්නේ මේ ආයතනය හරහා විශාල වශයෙන් විදෙස් රටවලට කුළුබඩු අපනයනය කරන බවය. එමගින් උපයන බව කියන විදේශ විනිමය අති විශාලය. මේ සමාගමේ ගනුදෙනු අතරමැද සිදුකරන ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු හෙළිවීමත් සමඟ එම රූපවාහිනී මාධ්‍ය ආයතනයේ ගවේෂණාත්මක ප්‍රවෘත්ති ඒකකයේ මාධ්‍යවේදියකු වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අදාළ ආයතනයට දුරකථන ඇමතුමක් ලබාදී ඇත. එහි අපේක්ෂාව වී තිබුණේ අදාළ ආයතනයේ කූඨ ව්‍යාපාරය පිළිබඳව සත්‍ය තොරතුරු රටට හෙළි කිරීමටය. එහිදී සිදුකළ දුරකථන සංවාදය මෙවැන්නකි.
''හෙලෝ.... මේ ලක්ෂ්මී එක්ස්පෝර්ට් ඇන්ඩ් ඉම්පෝර්ට් එකද?''
''ඔව්...''
''කුළුබඩු ටිකක් එක්ස්පෝර්ට් කරන්න ඕන අජ්මාන්වලට. ඒ ගැන තොරතුරු ටිකක් මට දැනගන්න පුළුවන්ද? ඒ අය ඉල්ලනවා කරාබු නැටි, සාදික්කා වගේ තව මගේ ළඟ ලිස්ට් එකක් තියෙනවා.''
''ඒ කියන්නේ අපේ ලොකු කොන්ටිටි එකක් යන්නේ... කිලෝ දෙදාස් පන්සීයකුත් දාන්න පුළුවන් කන්ටේනර්වල. හැබැයි චාර්ජස් යන්නේ ඔය ගාණම තමයි. ගන්න මැටීරියල් එක මොකක්ද කියලා මට දැනගන්න ඕන. කොච්චර කොලිටියටද කියලා... එතකොට මම ඒක කරලා දෙන්නම්.''
ඔහුගේ මෙම දැනුම්වත් කිරීමට පසුව ගවේෂණාත්මක ප්‍රවෘත්තිය සැකසීමට උත්සාහ කරමින් සිටි මාධ්‍යවේදියා ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් යළිත් එම ආයතනයට දුරකතන ඇමතුමක් ලබාදී තිබුණි.
''අල්බා කියන එකෙන් කිලෝ පනහකුයි H3 කියලා මොඩල් එකක් තියෙනවාද? අන්න ඒකෙන් කිලෝ පනහකුයි...''
''හරි හරි මට ලිස්ට් එකක් හදලා වට්ස්ඇප් එකක් දාන්නකෝ මම බලලා කියන්නම්...''
මෙහිදී අදාළ ද්‍රව්‍ය සටහන් කළ වට්ස්ඇප් පණිවුඩයක් එම ආයතනය වෙත යොමුකොට නැවත දුරකතන ඇමතුමක් ලබාගෙන තිබුණි. එහිදී වූ සංවාදය මෙසේය.
''ඔබතුමාට මම වට්ස්ඇප් එක දැම්මා...''
''ඔව්. ඔව්. මම ඒක බැලුවා.''
''මම ඔයාට පේ කරන්න ඕනේ කොහොමද එතකොට?''
''ඉස්සරලා මේ ටික කරන්නකෝ ඔයා... ඊට පස්සේ ගනුදෙනු කතාකරමු අපි... ඔයාට ලාභයක් තියෙන්නත් එපැයි. ඔයා ඒක තියාගෙන කෝට් කරන්න එයාට.''
අනතුරුව කුළුබඩු සඳහා මුදල් ගෙවිය යුතු ආකාරය දැන ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී දුරකථන ඇමතුම් ලබාදුන්නද ඊට නිසි පිළිතුරක් ලබාදී නැත. කෙසේ වෙතත් අවසානයේ ඔහු මෙවැනි පිළිතුරක් ලබාදීමට ඉදිරිපත් වී තිබුණි.
''හරි එහෙමනම් මම සල්ලි එවන කෙනාට මොකද කියන්න ඕන...''
''ඉන්න මම ඒ සේරම මේවා කරලා ඩොලර්වලින් කියන්න ඕන. මම ඉන්වොයිස් එකක් දෙන්නත් ඕන එයාගෙ නම ඇඩ්රස් එකට මගෙන් ඉන්වොයිස් එකක් දෙන්න ඕන. එතකොට තමයි ඩොලර් එක එවන්න පුළුවන් එයාට.''
''බෑන්ක් එකෙන් නේද මේක කරගන්න වෙන්නේ...''
''නෑ. නෑ. මම අපේ රහස් අංකයත් ඉන්වොයිස් එකේ දානවා. එයා ඒකට තමයි ඩොලර් දාන්න ඕනේ.''
''ඒ කියන්නේ උන්ඩියල් ක්‍රමයක් වගේද?''
''ඔව්... ඔව්... ඔව්...''
දුරකතන සංවාදය එසේය. මෙසේ අනාවරණය වන්නේ මෙරටින් ලබාගෙන රැස්කර ගන්නා කුළුබඩු තොග වශයෙන් අපනයනය කොට අදාළ සමාගම විශාල ඩොලර් ප්‍රමාණයක් උපයා ගන්නා බවය. එසේ උපයාගන්නා විදේශ විනිමය නැවත ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නැත. එම ඩොලර් විදේශ රටවල බැංකු ගිණුම්වල තැන්පත් කිරීමට ඔවුහු කටයුතු කරති. විදේශ විනිමය හිඟයක් පවතින මොහොතක රටේ ආර්ථිකය පවතින්නේ අසීරු තත්ත්වයකය. එබැවින් මෙම මහා පරිමාණ වංචාව සිදුකරන මහමොළකරු කවුරුන්ද යන්න ගැන සොයාබැලීමේදී ඔහු ඉන්දීය ජාතික ව්‍යාපාරියකයකු බවත් ඔහු වී. සරවනන් නැමැත්තකු බවත් අනාවරණය වී ඇත. ඔහුට එරෙහිව විදෙස් විනිමය වංචා රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලව පවතී. ඒවාට එරෙහිව විමර්ශන කිහිපයක් මේ වනවිට ඉන්දියාවේදී ක්‍රියාත්මකව පවතින බවද අනාවරණය වී ඇත. මෙම කූඨ ව්‍යාපාරිකයා ඉන්දියාවේ මූල්‍ය නීති කඩකරමින් වංචා සහගත ව්‍යාපාරවල නිරත වූවකු බව කියැවේ.
ලංකාවේ කුළුබඩු විශාල වශයෙන් මිලට ගන්නා රට වශයෙන් ඉන්දියාව සඳහන් වේ. ඉන්දීය තැරව්කරුවන් මෙරට සිට එම ව්‍යාපාරවල නිරත වන බවද කියැවේ. ඒ අනුව පාරම්පරිකව වසර ගණනාවක් තිස්සේ ඉන්දීය ජාතිකයෝ මෙම ව්‍යාපාරවල නියැලෙති. මෙරට ක්‍රියාත්මක අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේද බිම් මට්ටමේ ගොවියන් සමඟය. වෙළඳපළ තුළ මෙවැනි වංචා ජාවාරම් සිදුවන බව සෙවීමට තරම් යාන්ත්‍රණයක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ නොපවතින බව එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය. එසේම මෙම කුළුබඩු ව්‍යාපාරය සම්බන්ධයෙන් නියාමනය කරන ආයතනයන් හෝ එවැනි ක්‍රියාවලියක් මෙරට තුළ නැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
දැඩි ඩොලර් හිඟයක් පවතින ශ්‍රී ලංකාවේ මෙවැනි වංචනික ව්‍යාපාර රටේ ආර්ථිකයට මරු පහරකි. එය රටේ කීර්ති නාමයටද කැලලකි. මෙවැනි පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බලධාරීන්ගේ යුතුකමය. දේශීය වෙළෙඳපොළ හා දේශීය කර්මාන්තකරුවන් රැකීමට වගකිවයුතු අංශ වහා ක්‍රියාත්මක විය යුතුය.
සමන්ත ප්‍රදීප් විල්තෙර