මේ වනවිට රට පුරා පවතින විදුලි කප්පාදුව හේතුවෙන් වෙළෙඳසල්වල ඇති අධි ශීතකරණ සහ ශීතකරණවල ඇති ආහාර ද්‍රව්‍යවල ගුණාත්මකභාවයේ යම් වෙනසක් ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් එවැනි ආහාරපාන මිලදී ගැනීමේදී වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
මෑත ඉතිහාසයේ ලංකාවේ මේ විදිහට පැය ගණනාවක් එක දිගට විදුලි කප්පාදු කිරීමක් තිබුණෙම නැහැ. මේ විදුලි කප්පාදුවේදි අධි ශීතකරණ සහ ශීතකරණ භාවිත කරන බොහෝ වෙළෙඳසල්වලට ජෙනරේටර් නැහැ. ඒ නිසා විදුලි කප්පාදුව පවතින කාලසීමාවේදී අවශ්‍යතා අනුව වෙළෙඳසල් හිමියන්ට ශීතකරණ සහ අධි ශීතකරණ නැවත නැවත විවෘත කිරීමට සිදුවෙනවා. ඒ නිසා අධි ශීතකරණයේ සහ ශීතකරණවල තිබිය යුතු උෂ්ණත්වය නිසි පරිදි තියාගන්න බැරි වෙනවා.* යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
ගුණාත්මකභාවයට ගැටලුවක් ඇතිවන ප්‍රධාන ආහාරපාන ලෙස කිරි, යෝගට් සහ අයිස්ක්‍රීම් සැලකිය හැකිය. විශේෂයෙන් කිරි සහ යෝගට්වල ඇති උෂ්ණත්වය සියුම් වන බැවින් ඒවායේ උෂ්ණත්වය වැඩිවීමෙන් කල් ඉකුත්වීමේ දිනය ඉදිරි දිනයක් වුවද ඒවායේ දිලීර වර්ධනය වීමට හැකිය. එවැනි ආහාරපානවල කල් ඉකුත්වීමේ දිනය තව ඉදිරියට තිබුණද රසයෙහි එතරම් වෙනසක් නොදැනුණද ඇසට නොපෙනෙන එම ආහාරපානවල දිලීර වර්ධනය වීමට ඉඩකඩ පවතී. මේ නිසා මෙම ආහාර පානවල පැහැය හෝ යම් සුළු වෙනසක් ඇතිදැයි සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. විශේෂයෙන් කිරි හට්ටි සහ යෝගට් ආහාරයට ගැනීමේදී ඉතා සැලකිලිමත් විය යුතුය.
&මේ අතරේ අයිස්ක්‍රීම් වැනි දෑ අධි ශීතකරණය තුළ යම් මට්ටමකින් දියවී විදුලිය ලැබුණු සැණින් නැවතත් ශීත වන්නට පටන් ගන්නවා. ඒ නිසා එහි වෙනස මතුපිටින් පෙනෙන්නේ නැහැ. නමුත් අයිස්ක්‍රීම් කන්න පටන් ගනිද්දී එම වෙනස දැනෙන්න පටන් ගන්නවා. මේ සම්බන්ධයෙන් සැලකිලිමත්ව ඒවා ආහාරයට ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම මස් සහ මස් සහිත නිෂ්පාදනවලටත්, මාළු සහ මාළු නිෂ්පාදනවලටත් මේ තත්ත්වය බලපානවා. විශේෂයෙන් මස් වර්ගවලට අවශ්‍ය උෂ්ණත්වය සහිත අධි ශීතකරණය පැය ගණනාවක් ක්‍රියාත්මක නොමැතිව තිබීමෙන් මස් නරක් වන්නට බොහෝ ඉඩකඩ තියෙනවා.* යැයි උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.
එසේ පැය ගණනාවක් නිසි පරිදි උෂ්ණත්වය නොලැබුණු අධි ශීතකරණයේ ඇති මස් නැවතත් විදුලිය පැමිණි පසු අයිස් වන්නට පටන් ගැනුණද ඒවායේ නිසි ගුණාත්මකභාවයක් නොමැත. නිවසට ගෙන යන මස්වල අයිස් දියවීමෙන් අනතුරුව කැබලි කැපීමෙන් පසුව හෝ ඒවා පිසීමෙන් පසුව වෙනසක් දැකිය හැකිය. ඇතැම්විට අයිස් දියවීමෙන් පසුව ඒවායේ දුගඳක් හමන අතර වර්ණයේ වෙනසක්ද ඇතිවිය හැකිය. එබැවින් ශීතකරණවල ඇති මස්, මාළු මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතුය. ආහාරපාන නරක් වීමට පෙර ඒවායේ ඇසට නොපෙනෙන ක්ෂුද්‍රජීවීන් වර්ධනය වී සෞඛ්‍යට හානිකර තත්ත්වයක් ඇතිවිය හැකිය.
එබැවින් විදුලිය කප්පාදු කරන කාලයේදී ශීතකරණ සහ අධි ශීතකරණවල ඇති මෙවැනි ආහාර මෙන්ම පළතුරු බීම වැනි පාන වර්ග ආහාරයට ගැනීමට පෙර දෙවරක් සිතා බැලීම වැදගත් වේ. මෙම භාණ්ඩ ගබඩා කිරීමේදී අවශ්‍ය උපදෙස් එම භාණ්ඩයේ සඳහන් කොට ඇත. ශීතකරණ, අධි ශීතකරණ හෝ සාමාන්‍ය උෂ්ණත්වය යටතේ ගබඩා කළ යුතු යැයි සඳහන් වුවහොත් එම කාලසීමාව තුළදී ඒවා එම උෂ්ණත්වය යටතේ රඳවා තබාගැනීම ඉතා වැදගත් වේ. යම් හෙයකින් විදුලිය පවතින විටදී හෝ නොමැති විටදී අධි ශීතකරණයක ගබඩා කළ යුතු ආහාරපාන අවශ්‍ය උෂ්ණත්වයේදී ගබඩා කර නොමැති නම් ඊට එරෙහිව ආහාර පනත යටතේ නීත්‍යානුකූලව කටයුතු කළ හැකිය. විශේෂයෙන් විදුලි කප්පාදුව ඇති මොහොතේදී අධි ශීතකරණ සහ ශීතකරණ විවෘත කිරීම සීමා කළ යුතුය. විවෘත නොකිරීමෙන් එහි උෂ්ණත්වය නිසි පරිදි පවත්වා ගැනීමට හැකිය.
මේ අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ මස් හා කිරි ආශ්‍රිත ආහාර අලෙවි කළ වෙළෙඳසල් 387කට එරෙහිව නඩු පවරා තිබේ.
දිශානි ජයමාලි කරුණාරත්න