2022 මාර්තු 20 වන ඉරිදා

අසරණ වූ යුක්‍රේන මිතුරන් බලාගන්නා අපේ මිනිස්සු

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 69

ලොවේ කොතැනක ඇවිලී ගියද මිනිස් හදවත් දවාලන යුද්ධය වන් භයානක ගින්නක් තවත් නොමැත. යුධ ගිනි නිසාවෙන් මිනිස් හදවත් ගිනිගෙන දැවෙනුයේ යුධ බිමේදී පමණක් නොවේ. නැගෙනහිර යුරෝපයේ යූක්‍රේනය නම් රාජ්‍යයේ යුධ ගිනි හේතුවෙන් දකුණු දිග ආසියාවේ ශ්‍රී ලංකාව නම් දූපත් රාජ්‍යයේ මිනිස් හදවත් පවා ගිනිගෙන දැවෙයි. එසේ ගිනිගෙන දැවෙන හදවතක් ඇති මිනිසෙකු හා අප සම්මුඛ වීමු. ජාතික සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්යවරයකු වන ඔහු නමින් කනිෂ්ක සංජීව ලොකුආරච්චිය.

''හරියටම යුද්ධය ආරම්භ වෙනකොට හිටියේ යූක්‍රේන සංචාරක කණ්ඩායමක් එක්ක. අතරින් පතර රුසියන් සංචාරකයෝත් හිටියා. දේශසීමාවලට රුසියන් හමුදා එනකොට මොනවා හරි සිද්ධවෙයි කියලා එයාලා දැනගෙන හිටියා. ඒත් කවුරුත් විශ්වාස කළේ නෑ යුද්ධයක් ඇතිවෙයි කියලා. මුලින්ම යූක්‍රේනයේ සංචාරකයන්ට කාඩ්වලින් සල්ලි ගන්න බැරිව ගියා. එයාලා කියපු විදිහට යූක්‍රේනයේ බැංකු ඉස්සරහා විශාල පෝලිම් ඇතිවීමත් එක්ක යූක්‍රේන බැංකු ගණුදෙනු කිරීම අත්තිටුවලා තිබුණේ.''
රුසියානු භාෂා ප්‍රවීනයකු වන කනිෂ්ක සංජීව මහතාගේ පැහැදිලි කිරීමට අනුව යුද්ධය ඇතිවීමත් සමඟ ඔහු සමඟ සිටි බොහෝ යූක්‍රේන සංචාරකයන් දැඩි ලෙස කම්පනයට පත්ව ඇත. තම දරුවන් සිය රට දමා පැමිණි දෙමාපියන්, දෙමාපියන් සිය රට දමා පමිණි දරුවන් තමා සමඟ සංචාරය කරමින් සිටි බව ඔහු පවසයි. එම නිසාවෙන් සංචාරක යූක්‍රේන ජාතිකයන් සෑම අතින්ම අසරණවී තිබේ. කෙසේ වෙතත් කනිෂ්ක සංජීව මහතා පවසනුයේ ඇල්ල සංචාරයේ නියුතු සිටි රුසියානුවන්ද මෙම ආක්‍රමණය පිළිබඳ සතුටු නොවූ බවකි.

මෙම සිදුවීම් පෙළ අතරේ දැඩි මතයක සිටි යූක්‍රේන සංචාරකයන් කිහිප දෙනෙකු පලකළ අදහස් කනිශ්ක සංජීව මහතා අප සමඟ බෙදාගනියි.

''හිතේ හයිය තියන සමහර සංචාරකයෝ  කිව්වා මේක එකපාර සිද්ධවුණ දෙයක් නෙවෙයි. මේක මෙතැනින් ඉවර වෙන්න යුද්ධය ඇතිවුණ එක හොඳයි කියලා. එයාල කියන්නෙ දැන් දශක දෙකක් විතර මේ ප්‍රශ්න තිබුණාලු. අවස්ථා ගණනාවකදී අභ්‍යන්තර යුද ගැටුම් කැරළි ඇතිවෙලා තියෙනවා. යූක්‍රේන සටන්කාමීන් එක්ක තිබුණු සටන් නිසා පහුගිය කාලේ මිනිස්සු මැරුණාලු. ඒ නිසා එයාලා හිතනවා මේ යුද්ධයෙන් පස්සේ අර්බුද ඉවර වෙයි කියලා.''

යූක්‍රේනය නේටෝව සමඟ එක්වීමට ගත් තීරණයට පක්ෂ වූවන් සේම විපක්ෂ මත දැරුවන් පසුගිය කාලය තුළ තමන් හට හමුවූ බව කනිෂ්ක සංජීව මහතා සඳහන් කරයි. වසර පහළොවක සිට යූක්‍රේන සහ රුසියානු සංචාරකයන් සමඟ සමීපව කටයුතු කරන කනිශ්ක සංජීව මහතාට යූක්‍රේනයේ සහ රුසියාවේ බොහෝ මිතුරු සබඳතා තිබේ. පසුගිය සති කිහිප පුරා ඔහු යූක්‍රේන ජාතික හිතවතුන් සම්බන්ධ කර ගනිමින් තොරතුරු විමසා ඇත. ඇතැම් පිරිස් රට හැරගොස් ඇති බවත් තවත් බොහෝ දෙනකු හා සම්බන්ධ වීමට අපහසු බවත් ඔහු පවසයි.

''මගේ හිතවත් පවුලක තාත්තා නැතිවෙලා. එයාලා හිටියේ කිව් අගනුවර. උදේ වීඩියෝ කෝල් එකක් අරගෙන කතා කළා. හවස ෂෙල් එකක් වැදිලා එයා නැතිවෙලා. හිතාගන්න බෑ. ගොඩක් ඉන්නේ ගොඩනැගිලිවල බිම් මහල්වල. ඉන්ටර්නෙට් සමහර වෙලාවට තියෙනවා. සමහර වෙලාවට නෑ. මම ඊයේ පවුලක් එක්ක කතා කරා. එයාලා තාම යූක්‍රේනයේ ඉන්නේ. පුංචි දරුවෝ ඉන්නවා මෙහෙ ඇවිල්ලා ගිය කට්ටිය. ඒ දරුවෝ කියනවා ලංකාවට එන්න ඕනෑ කියලා. එයාලා බයවෙලා ඉන්නේ.''
දිගින් දිගටම සිය හිතවතුන් සම්බන්ධ කරගැනීම උත්සහා දරන බව කනිෂ්ක සංජීව මහතා අප සමඟ පවසයි. යූක්‍රේන ජාතිකයන් ඉතා සංවේදී මිනිස්සු බව සිය අත්දැකීමෙන් පවසන ඔහු ඉතා හොඳ මානව සබඳතා පවත්වාගෙන යන්නන් බව ඔහු කියා සිටියි. මේ මොහොතේ තවදුරටත් ශ්‍රී ලංකාවේ සිරවී සිටින යූක්‍රේන ජාතිකයන්ට කනිෂ්ක ඇතුළු බොහෝ ශ්‍රී ලාංකීකයෝ උපකාර කරති.

''අපි ගෙයක් අරන් දීලා තියෙනවා ගල්ලේ බද්දේගම පාරේ. අපි වගේ ගොඩක් ලංකාවේ මිනිස්සු මෙයාලාට උදව් කරනවා. අපි මේ මිනිස්සුන්ගෙන් කීයක් හරි හොයාගත්තා. එක අපේ රස්සාව. අපිට දැන් බෑ මෙයාලව අතහරින්න. අපි අරන් දීපු තැන පහළවක් විතර ඉන්නවා. අපි විතරක් නෙවෙයි මේ සංචාරක කර්මාන්තයේ ඉන්න හැමෝම මේ අයට උදව් කරනවා.''

මේ වනවිට බොහෝ යූක්‍රේන සංචාරකන් සතු මුදල් අවසන්ව ඇත. ඔවුනට තවදුරටත් මුදල් ලබා ගැනීමටද ක්‍රමවේදයක්ද නොවේ.

''අපි ගියා මේ ළඟදී පොඩි දරුවොත් එක්ක කට්ටියක් නැවතිලා ඉන්න තැනකට. ඒ දරුවන්ට පැම්පස් එකක්වත් අරගෙන දෙන්න එයාලට බැරිවෙලා. මම දැකලා නෑ මිනිස්සු මේ විදිහට අසරණ වෙනවා කවදාවත්. අපි එක්ක කතා කරලා රට වටේ සංචාර කරලා ලස්සනට ජීවත්වුන මිනිස්සු මේ. එයාල මානසිකව වැටිලා ඉන්නේ. අපි දන්නවා මේ අය වියදම් කරපු විදිහ කාපු බීපූ විදිහ. ඇත්ත මේක විශාල කඩාවැටීමක්. ගොඩක් දෙනෙක් කියන්නේ හිසට වහළක් නැතිව ගිය වෙලාවේ අපි එයාල වෙනුවෙන් කරන දේ හිතාගන්න බෑ කියලා. ඇත්තටම කිව්වොත් එයාල පිං දෙන එක තමා කරන්නේ.''

කනිෂ්ක සංජීව ලොකුආරච්චි මහතා පෙන්වා දෙන ආකාරයට යූක්‍රේන සංචාරකන් සම්බන්ධ සහන සැලසීමට මේ වනතුරුත් නිසි රාජ්‍ය වැඩපිළිවෙළක් නොමැත. ආගන්තුක සත්කාරය සිය සංස්කෘතික උරුමයක් කරගත් ශ්‍රී ලංකිකයන් පෞද්ගලිකව මෙම පිරිස් වෙත සහන සලසමින් සිටිති. මුදල් අවසන් වීම හේතු කොටගෙන මෙරට ඉතිරිව සිටින යූක්‍රේන ජාතිකයෝ මේ වනවිට පීඩාවට පත්ව සිටිති.

''අපිට යුද්ධය සම්බන්ධ අත්දැකීම තියනවා. කවුරු කොහොම මොනවා හේතුව නිසා යුද්ධ කරත් අපිට ඒක අනුමත කරන්න අපිට බෑ. ඒ නිසා අපි පුළුවන් උපරිමයෙන් මේ වෙලාවේ මේ මිනිස්සු එක්ක ඉන්න ඕනෑ. අපි දන්නවා මේක අපිටත් අමාරු වෙලාවක්. ඒත් හැමදේටම වඩා මනුස්සකම ලොකුයි.''

 සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා