2022 මාර්තු 20 වන ඉරිදා

ඩොලරය අහසට!

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 187

ශ්‍රී ලංකා මහ බැංකුව මේ දක්වා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විදේශ අගය කෘත්‍රිමව පාලනය කර තිබුණද පසුගිය මාර්තු මස 10 දින සිට එම පාලනය ඉවත් කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වනවිට රුපියලේ විදේශ වටිනාකම නිදහසේ පාවීම ආරම්භ විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් එතෙක් ශ්‍රී ලංකා රුපියල් 203 තරමේ තිබුණු ඩොලරයේ වටිනාකම ශීඝ්‍රයෙන් ඉහළ නගින්නට පටන් ගත්තේය.

රුපියල පාවීමට ඉඩ හැරි මාර්තු 10 දිනම ඩොලරයේ විකිණුම් මිල රුපියල් 260ට ඉහළ ගිය අතර ඊට දින දෙකකට පසු 265ක් බවට පත් විය. මේ ලිපිය ලියන මොහොත වනවිට එහි වටිනාකම රුපියල් 275 දක්වා වැඩි වී තිබුණි. ආර්ථික විශේෂඥයන් පවසන්නේ ඉතාම නුදුරේදී ඩොලරය රුපියල් 300 දක්වා දුර්වල වනු ඇති බවය. රුපියලේ ඩොලර් අගය පාවීමට ඉඩ දී තිබූ පසුගිය සතියක කාලය තුළ එහි අගය රුපියල් 72කින් ඉහළ ගොස් ඇති බව පෙනෙන්නට තිබේ.

මෙම වසරේ ජනවාරි මස 1දා සිට මාර්තු 10 දක්වා කාලය තුළ අමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 20.5%ක ප්‍රතිශතයකින් අවප්‍රමාණ වී ඇත. මාර්තු මස 8 දින වනවිට අමෙරිකානු ඩොලරය සඳහා රුපියල් 229.99ක් ගෙවිය යුතුව තිබුණි. අනතුරුව රුපියල නිදහස් කිරීමෙන් පසු එය ඉහළ නැගීම ආරම්භ විය.

රුපියල අවප්‍රමාණ වන අතරතුර ශ්‍රී ලංකා මහ බැංකුවේ රන් සංචිතයද වාර්තාගත ලෙස පහළ ගියේය. එහිදී අනාවරණය වූයේ විදේශ ණය ගෙවීම සඳහා මහ බැංකු ඩොලර් සංචිත භාවිත කරන බවය. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන පරිදි පසුගිය පෙබරවාරිවල නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2313.8ක් හෙවත් ඩොලර් බිලියන 2.31ක් විය. ඉන් රන් සංචිතය මිලියන 97.7ක් වූ අතර විදේශ විනිමය ලෙස පවතින ඩොලර්වල වටිනාකම මිලියන 2025.1ක් විය. මේ වනවිට එම ප්‍රමාණය මිලියන 1010 දක්වා අඩු වී ඇතැයි පැවසේ. මෙලෙස දෙආකාරයකින් විදේශ මුදල් තත්ත්වය දුර්වල වීම රටේ ආර්ථිකයට දරුණු ලෙස අහිතකර වන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.

මුලදී ශ්‍රී ලංකා මහ බැංකුව රුපියලේ විදේශ අගය සීමා කරගෙන සිටීමට හැකි තරම් උත්සාහ කළද අවසානයේදී යථාර්ථයට මුහුණදීමට සිදුවිය. ණය ගෙවීම සඳහා ඇති තරම් ඩොලර් තිබෙන බව මහ බැංකු අධිපතිවරයා විටින් විට පැවසුවද රටට ලැබෙන සුළු විදේශ විනිමය ණය ගෙවීමට යොදාගැනීම නිසා රටේ ජනතාව කබලෙන් ලිපට වැටීමක් සිදුවිය. ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර මිලට ගැනීමට භාවිත කළ යුතු විදේශ විනිමය ණය ගෙවීමට යොදාගැනීම නිසා ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් සහිත නැව් සති ගණන් වරායේ නවතා තැබීමට සිදුවූ අතර ඒවාට ඩොලර් මිලියන ගණන් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවිය. මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු මිස යහපත් අතට පත්වෙන බවක් පෙනෙන්නට නැත.

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල නිදහස් කිරීම පිළිබඳ මාර්තු 07දා නිවේදනය කළේ එහි පරමාර්ථය වූයේ විනිමය අනුපාතිකයේ ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට ඉඩ සැලසීම බවය.

රුපියල මුදාහැරීමෙන් පසු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මාධ්‍යවලට පවසා තිබුණේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල රුපියල් 230ක මට්ටමක පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව වුවද එය මහ බැංකුවේ මතය පමණක් වන අතර, ඩොලරය රුපියල් 230 සීමාවේ නවත්වා ගැනීමක් ගැන මහ බැංකුව සඳහන් කර නොමැත. අද පවතින තත්ත්වය අනුව විනිමය අනුපාතිකය තීරණය කිරීමට වෙළෙඳපොළට ඉඩ දී ඇති අතර අනාගතයේදී එයට සීමා දැමීමක් සිදු නොවන බව ඔහු කියයි. මෙය බොහෝ විට ඔරුවේ පෙරළුණු පැත්ත හොඳ යැයි කීවා වැනි කතාවක් බව සමහරුන්ගේ අදහසය. මහ බැංකුව රුපියල මුදාහැරියේ එය තවදුරටත් තද කරගෙන සිටිය නොහැකි තැනට පත්වූ පසුව මිස එය කැමැත්තකින් කළ දෙයක් නොවේ. එහෙත් එහි අතුරු ප්‍රතිඵල අතිශයින් භයානක වූ අතර භාණ්ඩ සහ සේවාවල මිල ගණන් අහස උසට නැගි අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක්ද නිර්මාණය විය. දැන් බලධරයන් උත්සාහ කරන්නේ මෙම තත්ත්වය පාලනය කිරීමට වුවද එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව පෙනෙන්නට තිබේ.

රුපියල පාලනය කරද්දී ඩොලරය සඳහා කළුකඩ මිලක් ඇතිව තිබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මහ බැංකුව හරහා රටට ලැබිය යුතු විශාල ප්‍රමාණයක් ජාවාරම්කාරයන් අතට පත්විය. ඇත්තටම මෙසේ හොර පාරේ ගිය ඩොලර් ප්‍රමාණය කෙතෙක්දැයි සංඛ්‍යාලේඛන නොමැත. එසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුවට නිල වශයෙන් ලැබුණු සංචිතවලට වඩා හතර පස් ගුණයක් ජාවාරම්කරුවන්ට ලැබුණු අතර මේ අය වැඩි වශයෙන් විදේශිකයන් වීමද කැපී පෙනේ.

ශ්‍රී ලංකා මහ බැංකුවට විදේශ සංචිත ආකර්ශනය කර ගැනීම සඳහා රජය මේ වනවිට උපක්‍රම යොදමින් සිටින අතර ඉන් එකක් වන්නේ එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විගමාණික ප්‍රේෂණ සඳහා ලබාදෙන දිරි දීමනාව ඉහළ නැංවීමය. විදෙස් ශ්‍රමිකයන් ලංකාවට ප්‍රේෂණය කරන විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීමෙන් පසු එලෙස පරිවර්තනය කරන සෑම අමෙරිකානු ඩොලරයකටම රුපියල් 20ක අතිරේක දිරි දීමනාවක් ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ.
එයට අමතර වශයෙන් ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ආනයනය කිරීමට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර තිබේ. ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර දුනහොත් ඇතැම් පුද්ගලයන් සතුව පවතින ඩොලර් වේගයෙන් වෙළෙඳපොළට ගලා ඒමෙන් රටේ ඩොලර් ඌණතාවට යම් ආකාරයක විසඳුමක් ලැබේ යැයි මහ බැංකුව විශ්වාසය පළ කරයි. විදේශ රුකියාවල නියුතු අයට වාහනයක් ගෙන්වා ගැනීමට එයින් අවස්ථාව ලැබේ. කෙසේ වුවද සාමාන්‍ය ක්‍රමයට රටින් වාහන ගෙන්වීම තවදුරටත් අධෛර්යමත් කළ යුතුය යන්න මහ බැංකුවේ අදහසය.

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව පසුගිය 9දා මැදියම සිට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367කට ආනයන සීමා පැනවීමට තීරණය කර ඇත. මෙය ක්‍රම තුනකින් ක්‍රියාත්මක වන අතර සීමිත කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි තෝරාගත් ඇතැම් භාණ්ඩවලට බදු පැනවීම සහ සමහර ආනයනවලට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමටද කටයුතු කෙරේ. තුන්වැනි ක්‍රමය වන්නේ සමහර ආනයන සඳහා බදු සහ බලපත්‍ර යන දෙකම පැනවීමයි. මෙමගින් විදේශ විනිමය පිටතට යාම පාලනය කිරීමට අපේක්ෂිතය.

අමෙරිකානු ඩොලරය පා කිරීමෙන් පසුව රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ අදහස් දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන්නේ මෙය අනපේක්ෂිත තත්ත්වයක් නොව අපේක්ෂා කළ යුතුව තිබූ තත්ත්වයක් බවයි.

''ඩොලරය නිදහසේ පාවීමට ඉඩ දීම නිසා භාණ්ඩ සහ සේවාවල මිල ගණන් වැඩිවීම බලාපොරොත්තු විය යුත්තක්. මොකද වසර ගණනාවක් තිස්සේ ඔබාගෙන තිබූ ඩොලරයට නිදහස දීම නිසා එකවරම එහි ක්‍රියාකාරීත්වය ප්‍රසාරණය වීමක් සිදුවෙනවා. මෙය වළක්වා ගැනීම පාලකයන් සතු යුතුකමක් සහ වගකීමක්. එහෙම නොවුණහොත් ජනතාව අපහසුතාවයට පත්වෙනවා. අද සිදුව ඇත්තේ එයයි.

මෙය නැවැත්වීම සඳහා විනිමය අනුපාත ස්ථිර තත්ත්වයට පත් කළ යුතු වෙනවා. නම්‍යශීලී බවට යා යුතු වෙනවා. එය කවුරුවත් මැදිහත් වෙලා නීති දමලා කළ හැක්කක් නොවෙයි. ස්වාධීනව සිදුවිය යුතු දෙයක්. අපට ඩොලර් ලැබෙන මාර්ග වැඩිවන විට අද පවතින තත්ත්වය වෙනස් වෙනවා. අද මිල ඉහළ ගොස් ඇත්තේ ඩොලර් නැතිවීම නිසයි. ඩොලර් ඉපයීමට පියවර ගත යුතු වෙනවා. රට තුළට ලැබෙන විදේශ විනිමය වැඩි විය යුතුයි. රට තුළට ආයෝජකයන් පැමිණිය යුතුයි. විදේශ ප්‍රේෂණ ලැබිය යුතු වෙනවා. අපේ අපනයන වර්ධනය කළ යුතුයි. මෙම ක්‍රියාමාර්ග අරගෙන ඩොලර් ආදායම වැඩි කළ යුතු වෙනවා.

එහෙම නැතුව මෙය කෘත්‍රිම ක්‍රමවලින් කළ හැක්කක් නොවෙයි. අපි මෙච්චර කල් විදේශ ණය අරගෙනයි විදේශ විනිමය වැඩිකර ගන්න බැලුවේ. ණය අරගෙන විදේශ සංචිත වැඩිකර ගැනීමෙන් ප්‍රතිඵලයක් නැහැ. ඩොලර් නැති වුණාම කබලෙන් ලිපට වැටෙන තත්ත්වයකට පත්වෙනවා. දැන් වෙලා ඇත්තේ එයයි. මෙතෙක් කල් ආණ්ඩු කළේ ස්වභාවිකව ඩොලර් උපයා ගැනීමක් නොකර විවිධ උපක්‍රමවලින් ඩොලර් එකතු කිරීමයි. ඒවාට ස්ථාවරත්වයක් නැහැ. බැලුම් බෝලය හුළං බැස්සා වගේ ඇකිලෙනවා.

අනිත් භාණ්ඩල මිල වගේම ඩොලරයේ මිල තීරණය විය යුත්තේද ඉල්ලුම සැපයුම අනුවයි. එහෙම නැතුව බලහත්කාරයෙන් උස් පහත් කිරීම් කළ හැකි නොවෙයි. මිල යාන්ත්‍රණය අනුව ඩොලරයේ අගය තීරණය වීමට ඉඩ දිය යුතුයි. බලපෑම් කිරීමෙන් වන්නේ තත්ත්වය උග්‍රවීමයි.

රට තුළට එන ඩොලර් ප්‍රමාණය වැඩි කළහොත් ඉදිරියේදී මෙම තත්ත්වය පාලනය වේවි. එවිට දැන් පවතින භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම දිගටම පවතින්නේ නැහැ. එහෙත් ඒ සඳහා යම් කාලයක් ගත විය හැකියි. මෙය එකවරම කළ හැක්කක් නොවෙයි. ඒ නිසා යම් කාලයක් මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයා හිරිහැරයට පත්වෙනවා ඇති.''

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජනක් කුමාරසිංහ පවසන්නේ ඩොලරය පාකර හැරීමට ගත් තීරණය නහයට ඉහළින් වතුර දැමූ විට ගත් තීරණයක් හා සමාන බවයි.

''ශ්‍රී ලංකා මහ බැකුව ඩොලරය නිදහස් කිරීමට මේ අවස්ථාවේ ගත් තීරණය කාලෝචිත නැහැ. කාලෝචිත තීරණයක් යනු කාලය අනුව ගත යුතු හොඳම තීරණයක්. මේ තීරණය කල් ඉකුත් වූ එකක්. මා හිතන්නේ මේ තීරණය ගත යුතුව තිබුණේ බොහෝ කලකට පෙරදී කියලයි. මෙය අපේ රටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් අවස්ථාවේදීම කළ යුතුව තිබුණු දෙයක්. එහෙත් මේ දක්වා රුපියල නිදහස් කළේ නැහැ. රුපියලේ අගය රජයේ පාලනය යටතේ තිබුණා. මෙයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව නිශ්චිත විදේශ විනිමය අනුපාතය රුපියලත් සමඟ තීරණය කර එම අනුපාතය වෙළෙඳපොළේ පවත්වාගෙන යාමට අවශ්‍ය ඩොලර් සැපයුම රජයෙන් ලබා දීමයි.

ඩොලර් සැපයුම අඩු වූ අවස්ථාවල වාණිජ බැංකුවලින් රුපියල් ලබාගෙන මහ බැංකුව ආර්ථිකයට ඩොලර් නිකුත් කරනවා. 1977 සිට විනිමය අනුපාතය පාලනය කළේ මේ විදියටයි. එය කෘත්‍රිමව පවත්වා ගත් අනුපාතයක් මිස ඉල්ලුම සැපයුම අනුව තීරණය වන්න ඉඩ හැරීමක් නොවෙයි.

1960 වසරේ සිට 2020 දක්වා සෑම අවුරුද්දකම ඩොලර් හිඟය බිලියන 7.61යි. එයින් අදහස් කරන්නේ රටට අවශ්‍ය ආනයන සඳහා සෑම වසරකම ඩොලර් බිලියන 7.61ක් බැගින් ලෝකයට ණය වෙන්නට සිදුවීමයි. මෙය දිගටම කරගෙන යා හැක්කක් නොවෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව රට පිළිබඳ මැවූ චිත්‍රය වැරදි එකක්. ඒ කිසිම දෙයක් සිදුව නැහැ. ඔවුන්ගේ පුරෝකථන සත්‍ය වෙනවා නම් හොඳයි. ඒත් වෙන්නේ නැහැ. මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආනයන ආදේශන වෙනුවට අපේ නිෂ්පාදන ලෝකයට ගෙන යා යුතු වෙනවා. ඒ සඳහා ව්‍යවසායකයන් ශක්තිමත් කළ යුතුයි. ඒ පිළිබඳ ස්ථිරසාර වැඩපිළිවෙළක් ඇතිකළ යුතු වෙනවා. එහෙත් රටේ අද පවතින තත්ත්වය අනුව එවැන්නක් කිරීමට හැකිද යන්න ගැන සිතා බැලිය යුතුයි. රට සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු තමා මෙම ප්‍රතිසංස්කරණ ගැන හිතන්න වෙන්නේ.''

ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් රංජන් සේනානායක පවසන්නේ ඩොලරය මුදාහැරීමට ගත් තීරණය නිසා රාජ්‍ය බැංකු හිරිහැරයට පත්ව ඇති බවයි. රාජ්‍ය බැංකුවලට ඩොලර් ලැබෙන අවස්ථා පුළුල් කළ යුතු බව ඔහු කියයි.

''පවතින අර්බුදකාරී තත්ත්වය විසඳි ගැනීමට ඩොලරය පාවීමට ඉඩ හැරියද රට තුළට තවමත් ඩොලර් ගලා ඒමක් සිදුවන්නේ නැහැ. ඒ සඳහා රජය කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු වෙනවා. ඩොලර් ආදායම ඉහළ ගොස් නැතත්, අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා ඩොලර් මුදාහැරීමට රාජ්‍ය බැංකුවලට සිදුවෙනවා. මේ නිසා රටට ඩොලර් ලබාගැනීමේ වැඩපිළිවෙළක් ඉක්මනින් සකස් කළ යුතුයි. මීට අමතරව අපේ අපනයන ආදායම ඉහළ නැංවීමටද කටයුතු කළ යුතුයි. විදේශවලින් ණය ලබාගෙන ඩොලරය ස්ථාවර බවට පත් කරන්න බැහැ. එසේ වුවහොත් අනාගතයේදී විශාල අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනවා ඇති. දැනටමත් අපි ණය වී ඇති ප්‍රමාණය අපේ රට වැනි ආර්ථිකයක් ඇති රටකට ඔරොත්තු දෙන්නේ නැහැ. විදේශ ආදායම ඉහළ නැංවීමේ ස්ථිරසාර වැඩපිළිවෙළකට අවතීර්ණ විය යුතු වෙනවා.

ඩොලරය පාවීමට සැලැස්වූ පසු භාණ්ඩ හා සේවාවල මිල ගණන් ජනතාවට ඔරොත්තු නොදෙන තරමට ඉහළ ගිහින්.  මෙම තත්ත්වය වළක්වා ගැනීමට වහා කටයුතු කළ යුතු වෙනවා. දැන් සිදුව ඇත්තේ දිනපතා තත්ත්වය උග්‍රවීමක්.''

 යසවර්ධන රුද්රිගූ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05