2022 මාර්තු 20 වන ඉරිදා

දුව පැනගිය කේන්තියට ගෙයක් ගිනිතැබූ ප්‍රාෙද්ශීය ලොක්කා

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 291

රීඩ්න් පාර්ක් නමින් හඳුන්වන මාවත සහ එම ප්‍රදේශය මාතර නගරයට ආසන්නයේ පිහිටි එකකි. අගහිඟ නැති අතමිට සරු පදිංචිකරුවන් පිරිසක් එහි වාසය කරති. ඔවුන්ගේ දරුදැරියන් බොහොමයක් නගරයේ ජනප්‍රිය පාසල්වල ඉගෙනුම ලබති. එබැවින් ගැහැනු පිරිමි දරුවන් බොහොමයක් හිතමිතුරෝ වූහ.

ඇතැම් දරු දැරියන්ගේ කතාබහ හිතවත්කම පාසල් ප්‍රේමයට මඟපාදා තිබුණි. මිතුරු මිතුරුයන්ගේ එවැනි සබඳතා සෙසු දරු දැරියෝද දැන සිටියහ. වටින් ගොඩින් තම දරුවන්ගේ ආදර පලහිලව් පිළිබඳ ආරංචි වීමෙන් පසුව සමහර මවුපියන් අවවාද කොට තිබුණු අතර තවත් සමහරු තරවටු කර තිබුණු බවද කියැවේ.

රීඩ්න් පාර්ක් මාවතේ පදිංචිව සිටි නිවාස දෙකක දරුවකු හා දැරියක අතර පැවති ආදර සබඳතාව කාලයක සිට පැවති එකකි. එය නිවැසියන්ට කෙසේ වෙතත් පාසල් මිතුරු මිතුරියන්ට රහසක් වූයේ නැත. කෙසේ හෝ සිය දැරියගේ ආදර සබඳතාව පිළිබඳව සැලවීමත් සමඟ ඇගේ පියා සහ මව අවස්ථා කිහිපයකදී අවවාද කොට ඇතැයි පැවසේ. එවැනි තත්ත්වයක් තුළ දැරිය නිවසින් අතුරුදන්ව ඇත්තේ ඉකුත් වසරේ නොවැම්බර් 14 වැනිදාය. ඒ කොවිඩ් අවදානමද බරපතළ තත්ත්වයක පවතින මොහොතකය.
දැරියගේ අතුරුදන්වීමත් සමඟ කලබලයට පත්වූ නිවැසියන් ඇයගේ පෙම්වතා බව කියන අසල්වැසි තරුණයා පිළිබඳව සොයා ඇත. එවිට තහවුරු වී තිබුණේ එම තරුණයාද නිවසින් අතුරුදන්ව ඇති බවකි. මේ අතර ආරංචියක් ලැබී තිබුණේ තරුණයා සමඟ දැරිය පලාගොස් ඇති බවකි. ඒ බව තහවුරු කර ගැනීමත් සමඟ දැරියගේ නිවැසියන් ගන්දර පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබුණේ රීඩ්න් පාර්ක් ප්‍රදේශයේ පදිංචි තරුණයකු සිය දැරිය පැහැරගෙන ගොස් ඇති බව කියමිනි.

මෙසේ පැහැර ගැනීමට ලක්වූ දැරිය 15 හැවිරිදි වියේ පසුවූ සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානමින් පසුවූ තැනැත්තියකි. පැහැර ගැනීම සිදුකළ බවට චෝදනා කරමින් පැමිණිල්ල ඉදිරිපත් කොට තිබුණේ 18 හැවිරිදි තරුණයකුට එරෙහිවය. කෙසේ හෝ නිවැසියන් ඥාතීන් මෙන්ම පොලිසිය විසින්ද සිදුකළ සෝදිසි කිරීම්වලින් පසුව රහසේ පැනගිය යුවළ සොයාගැනීමට හැකිව තිබුණි. පසුව එම දෙදෙනාම පොලිසියට ප්‍රකාශකොට තිබුණේ පැහැර ගැනීමක් සිදුනොකළ බවත් දෙදෙනාගේ කැමැත්තෙන් පලාගිය බවය. සිදුවීමෙන් පසුව දැරිය නැවත නිවසට කැඳවාගෙන පැමිණ තිබුණු අතර ඇයව වෛද්‍ය පරීක්ෂණයකටද ලක්කර තිබුණි.

නිවසට වී දැඩි කල්පනාවක සිටි දැරිය නිවැසියන් සමඟ වැඩි කතාබහක් නොකළාය. මේ අතර හිටිහැටියේම දැරිය නැවත වරක් නිවසින් අතුරුදන්ව තිබුණේ පසුගිය දිනකය. සොයාගැනුණු තොරතුරු හා ආරංචි මාර්ග අනුව පැහැදිලිවම දැරියගේ පියා තහවුරු කරගෙන තිබුණේ නැවත වරක් දියණිය පෙර කී තරුණයා සමඟ පැනගොස් ඇති බවය. කේන්තියෙන් පසුවූ දැරියගේ පියා මාතර ප්‍රාදේශීය සභා සභාපති බිමල් ප්‍රියජනක මහතාය.

ඔහුගේ නමටත් තනතුරටත් වූ කැළල ඔහුට නොරිස්සුවේය. දැරිය සමඟ පලාගිය තරුණයාගේ නිවැසියන්ගෙන් හෝ පළිගැනීමට ඔහු කල්පනා කොට ඇත. මේ අයුරින් දිනක් දෙකක් ගතවූ පසුව ඉකුත් සතියේ දිනක ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඔහුගේ ඥාතියකු වන සම වයසේ අයකු හා 27 හැවිරිදි වියේ පසුවන තරුණයකු සමඟ මධුවිත පානය කළෝය. ඒ අතරතුර සාකච්ඡා කොට තිබුණේ තරුණයාට පාඩමක් ඉගැන්වීමටය.

මධ්‍යම රාත්‍රිය ඉක්මවමින් තිබූ මොහොතක බීමතින් තරුණයාගේ නිවස සොයාගොස් එම නිවසට ඇතුළු වී තිබුණේ පසුපස දොරෙනි. නිවසේ තිබූ රූපවාහිනියක් පොළොවේ ගසා හානිකර කැබිනට්ටුවට භූමිතෙල් දමා ගිනි තබා වහලේ සීට් ලෑලි දෙකක් කඩා බිඳ දමා ඔවුන්ගේ කේන්තිය පළකර තිබුණි. සිදුවීමත් සමඟ එම ස්ථානයෙන් පලාගිය ත්‍රිරෝද රථයක් අසල්වැසියන් දැක ඇත. මේ කරුණු දක්වමින් සිය නිවසට අලාභහානි සිදුකළ බවට පැමිණිල්ලක් මාතර පොලීසිය වෙත ඉදිරිපත් කිරීමට එම නිවැසියන් කටයුතු කර තිබුණි.

සිදුවීම පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කරන අතරතුර මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති බිමල් ප්‍රියජනක මහතා හා ඔහුගේ ඥාතීන් දෙදෙනකු වන 51 හැවිරිදි හා 27 හැවිරිදි පුද්ගලයන් පැමිණ පොලීසියට බාරවී පාපොච්චාරණය කර තිබුණේ එම නිවසට හානිකර ගිනි තැබීමට තමන් ඇතුළු පිරිස කටයුතු කළ බව කියමිනි.

මේ අනුව මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අයකුට ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප මත මුදාහැර තිබුණි. නඩු විභාගය ඉදිරි දිනකට කල්තැබුණු අතර වැඩිදුර විමර්ශන මාතර පොලීසිය විසින් සිදුකරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර