2021 වසර වෙනුවෙන් පැවැත්වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාර්තු මස 13 වැනිදා අන්තර්ජාලයට නිකුත් කෙරිණි. මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 340,626ක් අයැදුම් කර ඇති අතර එයින් 335,158 දෙනෙක් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටියහ.
සෑම වසරකම නියමිත පරිදි අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ පහ වසර ශිෂ්‍යත්ව විභාගය කොවිඩ් වසංගතය හේතුවෙන් මාස පහක් පමණ කාලයකට කල් ගියේය. ඒ අනුව පැවැත්වීමට තිබුණු පහ වසර ශිෂ්‍යත්ව විභාගය 2021 වසර සඳහා පැවැත්වීමට හැකි වූයේ 2022 වසරේ ජනවාරි 22 වැනිදාය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි බොහෝ දරුවන්ට එයට මුහුණදීමට සිදු වූයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේය. කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් නොපැමිණීම නිසා සිසු සිසුවියන් වැඩි වශයෙන් අධ්‍යාපනය ලැබුවේ මාර්ගගත ක්‍රමයටය. ආර්ථික අපහසුතා ඇති බොහෝ දෙමව්පියන්ගේ දරුවන් ස්මාර්ට් දුරකථනයක් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය අතහැර දමා තිබුණි. අමතර පන්තිවලට සහභාගි වීමට නොහැකි වූ සිසු සිසුවියෝද තම බලාපොරොත්තු අතහැර දැමූහ.
මෙවැනි පසුබිමක් තුළ මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලබා තිබුණේ යාපනයේ කොකුවිල් හින්දු ප්‍රාථමික විදුහලේ අධ්‍යාපනය ලැබූ තමිල්වෙල්වන් ගජලක්ෂ්මන් සිසුවාය. එම විභාගයෙන් ඔහු ලකුණු 198ක් ලබා ගත්තේය.
ගජලක්ෂ්මන් සිසුවාගේ මව ගුරුවරියකි. පියා ව්‍යාපාරිකයෙකි. පාසලෙන් මෙන්ම දෙමව්පියන්ගෙන්ද තම අධ්‍යාපන කටයුතුවලට විශාල සහයෝගයක් ලැබුණු බව ඔහු පවසයි. ගජලක්ෂ්මන්ගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ඉංජිනේරුවකු වීමය.
පහ වසර ශිෂ්‍යත්වය දරුවන්ගේ මෙන්ම දෙමව්පියන්ගේද සිහිනයකි. උසස් පාසලක් වෙත යාම මෙන්ම ශිෂ්‍යාධාර ලබාගැනීමේ සුදුසුකම් ලැබීම හේතුවෙන්ද මේ සඳහා සිසුන්ගේ මෙන්ම දෙමව්පියන්ගේද උනන්දුවක් පවතී. නමුත් මාස පහක් විභාගය කල් යාමත් සමඟ දරුවන්ගේ උනන්දුව අඩු වූ බව දෙමව්පියෝ පවසති.
මේ අතර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 155ක් ලබා සමත් වුණු වී. අජෙයි නැමති සිසුවාගේ ප්‍රතිඵලය නිකුත් වන විට ඔහු ජීවතුන් අතර නොසිටියේය. යාපනය මිසාලෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි අජෙයි මියගොස් තිබුණේ ඩෙංගු රෝගය වැළඳීමෙනි. යාපනය මිසාලෙයි වීරසිංගම් ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලැබූ අජෙයි ප්‍රතිඵල නිකුත් වීමට දින කිහිපයකට පෙර ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගොස් තිබුණි.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය මාස ගාණක් කල් ගියා. ඒ නිසා දරුවන් හිටියේ විභාගය එපාවෙලයි. ඇත්තම කිව්වොත් දෙමව්පියන් විදිහට අපිටත් මේ විභාගය කල් යාම හිතට ලොකු බරක් වෙලයි තිබුණේ. අනිත් විභාග වගේ නෙමේ. මේ පොඩි දරුවන්ට මේ පීඩනය දරාගන්න බැරි වුණා. සෙල්ලම් කරන කාලෙදි ලොකු ඉස්කෝලෙට දාගන්න ශිෂ්‍යත්ව විභාගය තමයි හොඳම අවස්ථාව. ඒ නිසා දරුවන්ටත් වඩා මේ කාලෙදි දෙමව්පියන් මහන්සි වුණා. කොවිඩ් නිසා මේ පුංචි දරුවන්ගේ බලාපොරොත්තු ගොඩක් සුන් වුණා. නමුත් හැම දරුවකුටම ජයග්‍රහණ වගේම පරාජයටත් මුහුණ දෙන්න කියලා දෙන්න මේක හොඳ අවස්ථාවක්.* යැයි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවකුගේ මවක් මාධ්‍යයට පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2943කදී සහ කොවිඩ් ආසාදිත සිසුන් සඳහා වෙන්වුණු මධ්‍යස්ථාන 108කදී පැවැත්විණි. මේ අනුව මෙම විභාගයේ සිංහල මාධ්‍ය සඳහා කඩඉම් ලකුණු සංඛ්‍යාව ලකුණු 152කි. එය කොළඹ, ගම්පහ, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල, කළුතර යන දිස්ත්‍රික්ක සඳහා නිර්දේශ කර තිබුණි. කඩඉම් ලකුණු 148 සඳහන් කර ඇත්තේ හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහාය. සිංහල මාධ්‍යයෙන් පුත්තලම, බදුල්ල, මොණරාගල,පොළොන්නරුව, අනුරාධපුර දිස්ත්‍රික්ක සඳහා නිර්දේශ කර ඇති අවම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 146කි. අම්පාර, ත්‍රිකුණාමලය, නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා අවම කඩඉම් ලකුණු වන්නේ ලකුණු 145කි. වව්නියාව දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය සඳහා අවම ලකුණු වන්නේ ලකුණු 142කි. මුලතිව් දිස්ත්‍රික්කය සඳහා අවම ලකුණු 140ක් ලෙස සඳහන් කර තිබුණි. දෙමළ මාධ්‍යයෙන් වැඩිම කඩඉම් ලකුණු වන්නේ ලකුණු 149කි.
මේ අනුවර 2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා මේ මස 31 වැනිදා දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිශානි ජයමාලි කරුණාරත්න