2022 මාර්තු 20 වන ඉරිදා

සිංහප්පූරු චණ්ඩියා මෙල්ල කර සම්මානලත් ශ්‍රී ලාංකිකයා

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 49

37 හැවිරිදි ෆාදිල් යුෂොප් පසුගිය බදාදා (16) සිංගප්පුරුවේ බුවැංකොක් නගරය දිගේ ඇදී ආවේ අමානුෂික ලෙසිනි. ඔහු අතේ වූයේ සමුරායි සටන්කරුවන් භාවිත කරන කඩුවකි. එම කඩුවෙන් ඔහු තමා පදිංචි වී සිටි නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් සමඟ පවා ඒ අවස්ථාවේ ගැටුම් ඇති කරගන්නට විය.

අවසානයේ ෆාදිල් සිය කඩුව රුගෙන ජයා මාවත ඔස්සේ එම නගරයේ ප්‍රධාන සාප්පු සංකීර්ණයක් වෙත එමින් සිටියේය. ඒ අවස්ථාවේ මාර්ගය අසල ගමන්ගත් වාහනයකට ඔහු වියරුවෙන් කඩුවෙන් කොටන්නට විය. මේ සිදුවීම දැකගත් පුද්ගලයෝ පොලීසියට දසතින් ඇමතුම් ලබාදෙන්නට වූහ.

එසේ පිස්සු නටමින් ඉදිරියට ආ ෆාදිල්ට හමුවූයේ තවත් පුද්ගලයෙකි. වෙලාව දහවල් 1.58 වී තිබුණේය. තළෙළු උස මහත පුද්ගලයකු වූ ඔහු ඒ වනවිටත් සාප්පු සංකීර්ණයෙන් එළියට පැමිණ තිබුණේ අතින් කටින් මලුද රුගෙනය. එහෙත් අණක් ගුණක් නැතිව සිටි ෆාදිල් තම අතේ වූ කඩුවෙන් ඔහුටද කොටන්නට විය. ප්‍රහාර දෙකකින් පසුව ෆාදිල් කඩුව සමඟ ඇද වැටුණේය. කඩු පහර කෑ පුද්ගලයාද ෆාදිල්ගේ සිරුර මතට වැටුණි. මහජනතාවට තබා පොලීසියටවත් මෙල්ල කළ නොහැකි වූ මොහොතක ෆාදිල්ගේ කඩු පහර කෑ පුද්ගලයා තුවාල පිටින් ෆාදිල් සමඟ පොරබදා ඔහුව යටත් කරගත්තේය. අවසානයේ පොලීසිය පැමිණ ෆාදිල් අත්අඩංගුවට ගත්තේය.

කෙසේ වෙතත් මෙම සිදුවීමේදී තුවාල ලබමින් ෆාදිල්ව යටත් කළ පුද්ගලයා ගැන එරට බොහෝදෙනාගේ කතාවට ලක්විය. ඔහුට හැමදෙනාම ඇගයුම් ලබාදුන් අතර ලෝකය පුරාම මෙම සිදුවීම ප්‍රචාරය විය. එම සිදුවීමේදී ශ්‍රීලාංකික නම ගෑවී තිබුණේ අර උස මහත පුද්ගලයා ඉදිරියෙන්ය. දරුණු වූ ෆාදිල්ව මෙල්ල කර තිබුණේ වර්තමාන සිංගප්පුරු ජාතිකයකු වන ශ්‍රී ලාංකිකයකු වූ කුමාරපේලී ආරච්චිගේ අමිල චින්තන නැමති අයය. ඔහු විසින් සිදුකළ මෙම ක්‍රියාව එරට රජයෙන් ඇගයුමට ලක්කළේ චින්තනව පොලිස් මූලස්ථානයට කැඳවා සම්මාන ලබාදෙමිනි.

කෙසේ වෙතත් අමිලට මෙවර ගෞරවයක් ලැබුණේ ඇයි? මෙවැනි සුළු සිද්ධියක් ඒ තරම් සිංගප්පුරුවට ලොකුද යන්න බොහෝ දෙනකුට ඇතිවන ප්‍රශ්නයකි. එයට හේතුව ඒ ෆාදිල් නිසාය. 

ෆාදිල් යනු එරට පොලීසියට අවස්ථා දෙකකදී කොටුවූ අයෙකි. මීට පෙර ෆාදිල් කොටුවූයේ 2016 වසරේදීය. ඒ සටන්කාමීන්ගේ ඡායාරෑප අන්තර්ජාලය හරහා එහා මෙහා කිරීම නිසාය. එහිදී ෆාදිල් ගැන පරීක්ෂණ කළත් ඔහු ත්‍රස්තවාදයට සම්බන්ධ වූ අයකු ලෙස තහවුරු වුණේ නැත. ඊටපසු ඔහු නැවතත් කොටුවන්නේ 2020 වසරේ ජනවාරි මාසයේදීය. ඒ පිහියක් ගෙන මස්ජීඩ් අල් මාවාඩා වෙත පැමිණීම නිසාය. එහිදී ඔහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා අතර එහෙත් එවරද ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් ත්‍රස්තවාදී ස්වරෑපයක් දකින්නට හැකිවී නැත. එහිදී තහවුරු වී ඇත්තේ ඔහු රුඩිකල් ස්වරෑපයක් ගත් තරුණයකු බවය. කෙසේ වෙතත් ඔහුගේ මෙම හැසිරීමට හේතුව ඩෙස්ක්ට්‍රොමෙතෝර්ෆන් නැමති රසායනය අඩංගු පෙති විශාල ප්‍රමාණයක් ගැනීම නිසා බව පසුව හෙළිවිය. අවසානයේ ඔහුට මාස නවයක් සහ සති දෙකක සිර දඬුවමක් නියම විය. එහෙත් දඬුවම කල් දැමීම නිසා ජූනි මාසයේදී නැවතත් එළියට පැමිණීමට ඔහුට හැකියාව ලැබිණි.

ඉන්පසුව පසුගිය බදාදා මෙම සිදුවීම වනතෙක් ඔහුගෙන් කිසිවකුටත් තර්ජනයක් එල්ල වී තිබුණේ නැත. කෙසේ වෙතත් එම සිදුවීමෙන් පසුව ඔහුගේ කාමරය පරීක්ෂා කිරීමේදී හඳුනා නොගත් කහ පැහැති පෙති වර්ගයක් එහි තිබී සොයාගත් බව එරට පොලීසිය සඳහන් කර ඇත. ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී තිබූ නිසා මීට පෙර අධිකරණ නියෝගයක් යටතේ මානසික සෞඛ්‍ය උපදේශනය වෙත පවා යොමුකර සිටි පුද්ගලයෙකි. මෙම නඩුව ලබන අප්‍රේල් 6 දක්වා කල්දමා ඇති අතර ඔහු මේ සිදුවීමට වරදකරු වුවහොත් වසර හතක සිර දඬුවමක් හෝ කස පහර හෝ දඩයක් හෝ ඒ සියල්ලම හිමිවිය හැකි බව සඳහන් වේ.

මෙම විත්තිකරුගේ හැසීරිම නිසා ඒ අවස්ථාවේ සිදුවෙන්න ගිය අනතුරු රැසක් අමිලගේ මැදිහත්වීම මත නැවතීම නිසා අමිලට සහ ඊට සහාය දුන් තවත් සිසුවකුට මෙම ඇගයුම එරට රජය විසින් ලබාදුන් බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් ප්‍රතිකාර පමණක් නොව විවිධ සහායද අමිල ඇතුළු ඔහුගේ පවුලට ලැබුණු බව දැනගන්නට තිබේ.

 ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05