2022 මාර්තු 20 වන ඉරිදා

පාපැදියෙන් උසාවි යන ඇඹිලිපිටියේ නීතිඥයා

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 142

පාපැදිය යළි ජනතාව තුළට රැගෙන ඒමත් හා පවතින ඉන්ධන මිල ඉහළ යාම හමුවේ සිය නීතීඥ ගාස්තුව වැඩි නොකර එලෙසම පවත්වාගෙන යාමේ විසඳුමක් ලෙසත් නීතීඥ මහතෙකු පසුගිය 14 දින සිට පාපැදියෙන් උසාවියට එන පුවතක් ඇඹිලිපිටියෙන් අපට වාර්තා විය. අපි ඔහුව මුණගැසුණේ ඒ පිළිබඳව පාඨක ඔබටද කියන්නටය.

ඔහු නමින් නීතිඥ විජිත ජී. පුංචිහේවාය. වයස අවුරුදු 64ක් වන ඔහු එක්දරු පියෙකි. වසර 30ක් තිස්සේ ඇඹිලිපිටිය අධිකරණයේ නීතිඥවරයෙකු සේවය කරන ඔහු ඇඹිලිපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. මේ ඔහු අපත් සමඟ කී කතාවයි.

&ගෙවුණු මාසෙට විතරක් ඉන්ධන මිල කී වතාවක් වැඩි වුණාද බලන්න. මම වෙනදා උසාවි ආවේ මගේ මෝටර් රථයෙන්. මම ජීවත් වෙන්නේ උසාවි එන මිනිස්සු මට දෙන නීතිඥ ගාස්තුවෙන්. එතකොට වෙනදා පෙට්‍රල් ලීටරයක් ගහපු ගණනට මට දැන් පෙට්‍රල් ලීටරයක් ගහන්න පුළුවන්ද? බෑ. එතකොට ඉන්ධන මිල ඉහළ යාමත් බඩු මිල ඉහළ යාමත් එක්ක ඒ වැඩිවෙන ගාස්තුව මම වැඩිකරන්න ඕනේ මගේ සේවාදායකයාගෙනුයි. උසාවියට එන්නේ ගොඩක් අසරණ මිනිස්සු. මේ වෙලාවේ ඒ මිනිස්සුත් ඉන්නේ ඉතා අසරණ තත්ත්වයේ. 

එවැනි මොහොතක මම මගේ නීතීඥ ගාස්තුව වැඩි කරනවා කියන්නේ ඒක අසරණ මිනිස්සුන්ට කරන අසාධාරණයක් කියලයි මට හිතුණේ. ඒ නිසා තිබුණු එකම විකල්පය තමා මෝටර් රථය ගෙදර නවත්තලා පාපැදියෙන් උසාවි එන එක. මගේ එක් පාදයක් ශල්‍යකර්මයකටත් ලක්කරලා තියෙන්නේ. නමුත් මම ඉන්ධන මිල අඩුවෙනතෙක්ම මේ විදියට පාපැදියෙන් උසාවි එන්න තීරණය කළා. එක්කෝ ඉන්ධන මිල අඩුවෙලා මම නැවතත් සුපුරුදු පරිදි උසාවි ඒවි. නැත්නම් දිගටම මේ විදියටම පාපැදියෙන් උසාවි ඇවිත් අසනීප තත්ත්වය වැඩි වේවි. ඔය දෙකෙන් එකක් වෙනතුරු මම අඛණ්ඩව නීතීඥ කටයුතු සඳහා පාපැදියෙන් තමා යන්නේ.

ඔබගේ මිත්‍ර නීතිඥ මහතුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද යන පැනය මම ඔහුට යොමු කළෙමි

ඇත්තටම මම ඒ අයටත් ආරාධනා කළා අපි සියලුමදෙනා එකතුවෙලා පාපැදියෙන් උසාවි යමු කියලා. නමුත් ඉතින් ඒ අයට ප්‍රායෝගිකව ඒක කරන්න බැරිව ඇති. මොකද ගොඩක් නීතීඥ මහත්වරු උදේට බිරිඳත් වැඩට දමාගෙන, දරුවන් පාසලට ඇරලවාගෙන තමයි උසාවි එන්නේ. ඉතින් එහෙම කෙනෙකුට පාපැදියෙන් එන්න වුණොත් පාපැදි කිහිපයක් මිලට ගන්නත් වෙනවා. 

ඔබ රජය හෝ කිසියම් පාර්ශ්වයක් අපහසුතාවයකට පත්කරන්නද මේ විදියට පාපැදියෙන් යන්නේ?

නීතිඥ මහත්තයෙන් පාපැදියෙන් උසාවි ගියා කියන එක රටේම ප්‍රවෘත්තියක් බවටත් පත්වුණා. හැමෝමත් කතාවෙන්න ගත්තා. මම සාමාන්‍ය පවුලකින් ආව කෙනෙක්. නිදහස් අධ්‍යාපනයට පිං සිද්ධවෙන්න තමයි ඉගෙනගෙන නීතිඥවරයෙක් වෙන්නේ. ඒ කියන්නේ ජනතාවගේ සල්ලිවලින් තමයි මාත් ඉගෙන ගත්තේ. නීතිඥවරයෙක් වෙලා මම අද ජීවත්වෙන්න ඕනි නිසා මගෙන් සේවය ලබාගන්න එන අයගෙන් යම් මුදලක් අය කරනවා. මට රජයෙන් කියලා ගෙවීමක් කරන්නේ නැහැනේ. ඉතින් ඒකට තියෙන හොඳම විකල්පය ලෙස මම පාපැදියෙන් උසාවි එන්න තීරණය කළා. මේක කවුරුවත් අපහසුතාවයකට පත් කරන්න කරපු දෙයක් නෙමෙයි. 

ඇත්තමට අද මේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය අපි විසින් ඇති කරගත් දෙයක් මිසක් ඉබේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. 1978දී අපේ ජාතික දළ දේශීය නිෂ්පාදනය 24%යි. ඒක 2013 දී ඒක 13%යි. 2019 වර්ෂයේදී දළ දේශීය නිශ්පාදනය 06෴යි. 2021 වසර වෙනකොට ඒක බිංදුවයි හයයි අතරේ තියෙන්නේ. මේවාට හිටපු වගේම ඉන්න පාලකයොත් වගකියන්න ඕනේ කියන චෝදනාව නම් රටේ පුරවැසියෙක් විදියට මම කරනවා. මෙරටට නොගැලපෙන බොහෝ තීන්දු තීරණ නිසා අදටත් මේ රටේ මිනිස්සු දුක් විඳිනවා. හොඳම උදාහරණයක් කියන්නම්කො. ඝර්ම කලාපීය රටක් ලෙස මෙච්චර හිරු එළිය තියෙද්දී රට වටා පිහිටි මුහුද වටාම සුළං තිබියදී මොකටද පාලකයෝ ඩීසල් බලාගාර පවත්වාගෙන යන්නේ කියන්නකෝ. රටේ මෙච්චර ඉන්ධන ගැටලුවක් තියෙද්දීත් අපි කරන්නේ ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමයි. මේ කවුරුහරි පාලකයෙක් මේ රටේ අනාගතය ගැන හිතුවා නම් මේවා වෙනස් කරන්න තිබුණේ නැද්ද. පත්වෙන හැමකෙනාම ඩීසල් බලාගාර පවත්වාගෙන ගියේ කොමිස් ගන්න පුළුවන් නිසානේ. ප්‍රාදේශීය සභාවේ ඉඳන් පාර්ලිමේන්තුව දක්වාම ඉන්න බහුතරයක් දේශපාලඥයෝ ඉන්නේ කොමිස් ගහන අය. මේ අයට රට ගැන, රටේ ජනතාව ගැන කිසි කැක්කුමක් නෑ. ඒ නිසා ජනතාව ලෙස අපි හරි දැන් මේ පවතින ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. බොහෝ රටවල රාජ්‍ය නායකයන් වගේ මැති ඇමැතිවරුත් වැඩට යන්නේ පාපැදිවලින්. ඉන්දියාව ගත්තම බොහෝ දෙනෙක් යන්නේ පාපැදියෙන්. දැන්නම් මම දන්න විදියට ලංකාවේ ඇමැතිවරුන්ට නම් පාපැදියෙන් පාරක යන්න ලැබෙන්නේ නෑ. මොකද එහෙම ගියොත් ඉන්ධන පෝලිමේ ඉන්න මිනිස්සු ගෑස් පෝලිමේ ඉන්න මිනිස්සු ඇමැතිට එලව එලවා ගහනවා. 

මම කියන්නේ මේ වෙලාවේ අපි යළි ජනතාවගේ සිතුම් පැතුම් ඉඳලම වෙනස් කරන්න කාලය එළඹිලා තියෙනවා කියලයි. ජාවාරම්කාරයන්ට කොමිස් කාරයන්ට ජනතාව පාඩමක් කියා දිය යුතුයි. මම පාපැදියෙන් ගියාම ඒක දිහා ගොඩක් දෙනෙක් බලන්නේ වපර ඇහෙන්. තීරණයක් ගතයුතු හොඳම වෙලාවේ මම එම තීරණය ගත්තා. ඇයි නීතීඥවරයෙකුට පාපැදියෙන් යන්න බෑ කියලා කොහෙවත් තියෙනවද? කළු කෝට් එක ඇඳන් පාපැදියෙන් යන්න හොඳ නෑ කියලා තියෙනවද? නෑ. මෙතන තියෙන්නේ ජනතා සිතුම් පැතුම්වල ඇතිකරපු වෙනසකුයි. කාලාන්තරයක් තිස්සේ මෙරට බිහිවෙච්ච පාලකයෝ සාමාන්‍ය මිනිහාගේ සිතට ඇතුළත් කරලා තියෙනවා ඇමැති නම් මන්ත්‍රි නම් පාපැදියෙන් යන්න හොඳ නෑ. ඉන්ටකූලර් එකේ යා යුතුයි කියලා. ඒකනේ පෙළපාලියෙත් ඇමැති ඒසී දමාගෙන වාහනෙන් යද්දී මිනිස්සු දාඩිය දමාගෙන අව්වට කර වෙවී වාහනේ පස්සෙන් පයින් යන්නේ. පාලකයාගේ පහසුව සඳහා ජනතා සිතුම් පැතුම් වෙනස් කිරීමේ විපාකය අද අපි හැමෝම අත්විඳිනවා දැන්.

ඒ නිසා මම හැමෝටම ආරාධනා කරනවා එන්න අපි හැමෝම පාපැදියෙන් වැඩට යමු කියලා. ඒ විතරක් නෙමේ මම මේ පාලකයන්ගෙනුත් එක ඉල්ලීමක් කරනවා.‍ ජනතාවට සහන ක්‍රමයකට පාදියක් මිලදි ගන්න පහසුකම් කඩිනමින් හදලා දෙන්න කියලා. එහෙම වුණා නම් හැමෝටම පාපැදියෙන් තමන්ගේ කටයුතුවලට යන්න පුළුවන්. ඔහු අපට විස්තර කළේය.

වායු දූෂණය අවම කිරීම, ඉන්ධන වියදම අවම කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් පරිසර අමාත්‍යංශය විසින්ද පසුගිය ජනවාරි මාසයේදී කැබිනට් පත්‍රිකාවක්ද සකස් කෙරුණි. මෙහිදී පරිසර අමාත්‍යවරයා විසින් යෝජනා කර තිබුණේ පාපැදි සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීමටත් හා පාපැදියෙන් වැඩට එන සේවකයන් සඳහා කිසියම් ප්‍රවර්ධන ප්‍රතිලාභයක් ලබාදීමටත්ය. මෙය පවතිත අධික වාහන තදබදයටද පිළියමක් බවත් බෝ නොවන රෝග රැසක් පාලනයටත් හේතුවක් බවද පරිසර අමාත්‍යවරයා පෙන්වා දී තිබුණි. කෙසේ නමුත් මේ වනතුරුත් රජයේ පාර්ශ්වයට එම කටයුත්ත සිදුකර ගැනීමට නොහැකි වී තිබේ. දුප්පතාට මිලදී ගැනීමට තිබූ පාපැදියේ මිලද අහස උසට ගොස් තිබේ. 

 සටහන හා සේයාරූ - සූරියවැව නුවන් ජයසේකර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05