2022 මාර්තු 20 වන ඉරිදා

මොළේ සයිස් එක පෙන්වූ හයි-ෆයි වාහන සවාරිය

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 388

ඇත්තෝ කති බොති නැත්තෝ ලෙවකති ජනහරේ නිතර ඇසෙන මෙම වදන ඉකුත් සතියේ අපි දෑසින් දුටුවෙමු. ඉකුත් සතියේ පිරිසක් කුලියාපිටියේ සිට කල්පිටිය දක්වා අධි සුඛෝපභෝගී මෝටර් රථ සහ අධිබලැති යතුරුපැදි පිරිවරාගත් රථ පෙළපාලියක් ගියෝය. ඉන්ධන හිඟය ඉන්ධන මිල ඉන්ධන පෝලිමේ හේතුවෙන් දුක් විඳින ජනතාව කුපිත කරමින් මෙම රථ පෙළපාලි සංවිධානය විය. එකිනෙකට ඉන්ධන පෝලිම් පසු කරමින් රථ පෙළපාලි ඉදිරියට ඇදෙන විට සමස්ත රටේම අවධානය සැණින් ඒ වෙත යොමුවිය. ඉන්ධන අධික ලෙස භාවිතා වන මෙම මෙම සුඛෝපභෝගී රථ වාහන සඳහා ඉන්ධන ලැබුණේ කොයින්ද? මීට අවසර දුන්නේ කවුද? මේ පිටුපස සිටින්නේ කවුද? රටම ප්‍රශ්න කළේය. එම නිසාම අප මෙහි තතු සොයා බැලුවෙමු.

මෙම රථ පෙළපාලිය කුලියාපිටියේ සිට අනුරාධපුරය දක්වා මාර්තු 17 වැනිදා සිට මාර්තු 19 වැනිදා දක්වා ගමන් කිරීමට නියමිත විය. මෙය සංවිධානය කොට තිබුණේ ස්පින් රයිඩර්ස් නමැති සංවිධානයක් විසිනි. සමාජ සත්කාර කටයුත්තක් පිළිබඳ කරුණු දක්වමින් පොලීසියේ අවසරයද ලබාගෙන තිබුණි. මේ සඳහා යම් දේශපාලන මැදිහත්වීමක්ද සිදුව ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ විය.

ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරන පරිදි මහරගම අපේක්ෂා රෝහල මගින් සිදුකරනු ලැබූ මුදල් පරිත්‍යාගයක් සහ කල්පිටිය ප්‍රදේශයේ පාසල් දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ කටයුත්තට සමගාමීව මෙම රථ පෙළපාලිය සංවිධානය කොට ඇත. ඒ සඳහා ආරක්ෂාව සැපයීමට අදාළ පොලීසිවලට ගෙවීම් සිදුකිරීමටද එම ආයතන කටයුතු කොට ඇතැයි පොලිස් නිවේදනයේ සඳහන්ය. ඒ අනුව පොලීසිය පවසනුයේ කොන්දේසි සහිතව මෙම රථ පෙළපාලිය සඳහා අවසර ලබාදුන් බවකි.

කෙසේවෙතත් රථ පෙළපාලි ආරම්භ කළ පළමු දිනයේදීම ඊට එල්ල වූයේ දැවැන්ත විරෝධතාවකි. මාදම්පේ ප්‍රදේශයේ ජනතාව මෙම පෙළපාලියට දැඩි විරෝධයක් එල්ල කළෝය. මාර්ගයේ රථ වාහන හැසිරවීමට සිටි පොලිස් නිලධාරීන්ගෙන් කරුණු විමසීමට ජනතාව ඉදිරිපත් වූහ. ඒ අනුව උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය. ඇමැති බේබිලා මීට සම්බන්ධ වී ඇති බව කියමින් ප්‍රදේශවාසීහු දැඩි විරෝධතාවක් එල්ල කළෝය. එසේම අධි බලැති යතුරු පැදිවල ලියාපදිංචිය පිළිබඳවද ඔවුහු විමසා සිටියහ.

සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ වීඩියෝ පටවල මීට සහභාගී වූ යතුරුපැදි මාර්ග නීති කඩකරන අයුරු පැහැදිලිව දැකගත හැකිවිය. යතුරු පැදිවල ඉදිරිපස රෝදය උස්සාගෙන මහමඟ අධික වේගයෙන් යන යතුරුපැදිකරුවෝ එහි වූහ. ඔවුන්ගේ අධික වේගය කැපී ඉතා හොඳින් කැපී පෙනුණි. එසේම ඇතැම් මෝටර් රථවල වී.අයි.පී. විදුලි එළි පවා දල්වා තිබෙනු දැකගත හැක. සැබවින්ම පොලීසිය පැවසූ කොන්දේසි පළමු දිනයේදීම මෙම පිරිස කඩකොට තිබුණි.

පෙළපාලිය වෙත දළුව මංසන්ධියේදීද එල්ල වූයේ දැඩි විරෝධතාවයකි. ඊට පෙරමුණ ගත්තේ කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියෝය. කළු කොඩියක් රැගෙන මාර්ගයට පැමිණ සිටි එම හිමියෝ රථ පෙළපාලිය නතර කිරීමට උත්සාහ කළහ. ප්‍රදේශවාසීහු තවත් භික්ෂූන් වහන්සේලා සමඟ මාර්ග අවහිර කරමින් විරෝධතා නිරත වූහ.

ගොවියන්ට වගා කරන්න පොහොර නෑ. පැට්‍රල් නෑ. ඩීසල් නෑ. එහෙම වෙලාවක මේ වගේ වැඩක් කරන එක වැරදියි. යනුවෙන් සඳහන් කරමින් මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියෝ රථ පෙළපාලියේ පැමිණි පිරිසට ඇමතූහ. එහිදී රථ පෙළපාලියේ සංවිධායකයන් පවසා සිටියේ අපේක්ෂා රෝහලට රුපියල් ලක්ෂ 12ක් ලබාදී පාසල් දරුවන්ට ලක්ෂ 5ක පාසල් උපකරණ බෙදාදීම වෙනුවෙන් මෙම පෙළපාලි සංවිධානය වන බවයි. එහෙත් ජනතාව පීඩාවට පත්ව සිටින මේ මොහොතේ ඉන්ධන නාස්තිය නොකොට එවන් කටයුතු සිදුකළ යුතු බව ප්‍රදේශවාසීහු සහ භික්ෂූන් වහන්සේලා කියා සිටියහ.

අවසානයේ පොලිස් ආරක්ෂා මැද විරෝධතාව නොතකා පිරිස දළුව මංසන්ධියද පසුකොට ගියහ. මෙම පෙළපාලි සංවිධානය කිරීම සඳහා ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරන යතුරුපැදි ලෝලී දේශපාලනඥයකුගේ ආශීර්වාද ලැබී ඇති බවද සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රකාශයට පත්විය.

මෙම සිදුවීම බ්‍රහස්පතින්දා රාත්‍රිය වනවිට සමස්ත රටේම අවධානය දිනාගත්තේය. ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා පොලිස් මූලස්ථානයෙන් එම රථවාහන පෙළපාලිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව කියැවුණි. ආරම්භයේදී අප කී මාධ්‍ය නිවේදනය පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරනු ලැබුවේ ඒ අනුවය.

ඒ අනුව සිකුරාදා වනවිට කල්පිටියේ සිට අනුරාධපුර දක්වා පැවැත්වීමට නියමිතව තිබූ යතුරුපැදි සවාරිය පොලිසිය විසින් නතර කරනු ලැබීය. ඒ මහජන විරෝධය සහ කෝන්දේසිවලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් බව පොලිස් නිවේදනයේ සඳහන් විය. නීතියට පටහැනි ලෙස යම් අයකු කටයුතු කර තිබේ නම් ඊට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ එම නිවේදනයේ සඳහන්ව තිබුණි.

ඒ අනුව පොලිස් පෙර ගමන් රථ සහ පොලිස් ආරක්ෂාව යටතේ සංවිධානය වූ මෙම පෙළපාළියේ ගමන නතර වූයේය. කෙසේ වෙතත් මෙවන් කටයුත්තකට අවසර ලබාදීමට පෙර පොලීසිය ඇතුළු සියලු පාර්ශව බුද්ධිමත්ව කටයුතු කළ යුතුව තිබූ බව අවසානයේ සඳහන් කළ යුතුය. සමාජ සත්කාරයන් නිරන්තර පැසසුමට ලක්විය යුතු බව සැබෑය. එහෙත් සත්කාරය සන්දර්ශනයක් විය යුතු නොවේ. එය මුදල් කාබාසිනියා කර දමන අපරාදයක් විය යුතුද නැත.

 චමිඳු නිසල් ද සිල්වා