ගෙදර වැඩක් කරගෙන නිවැසියන් හා නිදහසේ ගෙවන්නට ඔහුට තිබූ එකම දවස සඳුදාය. ඒ ගයාන්ගේ නිවාඩු දිනය ගෙවෙන හැටිය. එදා සවස ගයාන් සිය බිරිය සමඟ මිදුලේ වී වේලමින් සිටියේය. නිවෙසේ තමන් සිදුකරන අවසාන වැඩ කොටස මෙය බව ඔහු සිහිනෙන් හෝ නොසිතන්නට ඇත.
මොහොතකට පසුව ඇතිවූ කතාබහක් බහින්බස් වීමක් දක්වා දුර ගොස් වූ ගැටුමක් නිසා පහරකෑමෙන් තුවාල ලබා මරණයට පත්වූයේ මේ ගයාන්ය. ඔහු බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියැදුරා විය.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් මේ වනවිටත් අත්අඩංගුවේ පසුවෙති. ඔවුන් සිව්දෙනා එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා වන බව පොලීසිය පවසයි. ඝාතන සිදුවීම වාර්තා වන්නේ මෙසේය.
ගාමිණී ලොකුගේ ඇමැතිවරයාගේ රියදුරු වශයෙන් කටයුතු කරන ගයාන්ගේ නිවාඩු දවස එදාය. ගෙදර වැඩපළ අතර බිරිය සමඟින් වී වේලමින් සිටි ඒ දිනය පසුගිය 21 වැනිදා සවසය. පිළියන්දල මාවිත්තර ගම්මානවත්ත ප්‍රදේශයේ පාරට යාබදව ගයාන්ගේ නිවෙස පිහිටා තිබුණි. මේ අතරතුර අධික ශබ්දයක් නංවමින් වේගයෙන් ධාවනය වූ යතුරුපැදියකි. යතුරුපැදියේ මහා ශබ්දය ගම්මුන්ට රැස්සන්නක් නොවීය. පාරේ ඒ මේ අතට වාර කිහිපයක් ධාවනය වූ යතුරුපැදියේ වේගවත් ගමන අනතුරුදායකය. මාර්ගය අසල නිවාසවල වෙසෙන පොඩි දරු දැරියන්ටත් එම යතුරුපැදියේ ගමන අවදානමකි. පාර අසල මිදුලේ වී වේලමින් සිටි ගයාන්ගේ දරුවන්ටත් මේ අවදානම පවතින බව තේරුම්ගත් ගයාන් වේගයෙන් පැමිණෙමින් තිබූ යතුරුපැදියට අත දමා නවත්වාගෙන තිබුණි.
''මල්ලි.. මේ පාරේ ගෙවල්වල පොඩි ළමයි ඉන්නවා. ඒ නිසා පාරේ රේස් පදින්න එපා. පුංචි ළමයෙක් පාරට පැන්නොත් ඔයාට නවත්වා ගන්නත් වෙලාව මදි වෙයි.''
යතුරුපැදිකරු හමුවේ ගයාන් මෙසේ පවසා සිටියේය. ඒ දෙස බලා සිටි ගයාන්ගේ බාප්පා ඉදිරිපස නිවෙසේ සිට පැමිණ එම අවවාදය සනාථ කරමින් ''ඒක තමා දරුවෝ.. බයිසිකලය ටිකක් හෙමින් පැද්දා නම් තමා හොඳ..'' යැයි පවසා අවවාද කරන්නට විය.
අවවාදය නොරිස්සූ තරුණයා කේන්තියෙන් යමක් පවසා ආවාට වඩා වේගයෙන් යළිත් යතුරුපැදිය පදවාගෙන ගොස් තිබුණි. මිනිත්තු කිහිපයක් ගතවූ පසුව යතුරුපැදිය පැදවූ තරුණයාගේ හිතවතුන් කිහිප දෙනකු ගයාන්ගේ නිවෙස ඉදිරිපසට පැමිණ කතාබහක් ඇතිකරගෙන තිබුණේ ගයාන් ලබා දුන් අවවාදයට එරෙහිවය. එතෙක් මිදුලේ සිටි ගයාන්ගේ දරුවන් සමඟ බිරිය නිවෙස තුළට ගිය පසු දෙපාර්ශ්වයේ කතාබහ බහින්බස් වීමක් දක්වා දුර ගොස් තිබුණි. විනාඩි කිහිපයක් එතැන රැඳී සිටි පිරිස දෙපසට වී නැවත තම තමුන්ගේ නිවෙස් වෙත ගොස් තිබුණි. එසේ පිටව ගිය පිරිස වැඩි වෙලාවක් ගතකොට නැත. කඩුවක් පොලු මුගුරු කිහිපයක් අතැතිව එම පිරිස නැවත ගයාන්ගේ නිවෙස දෙසට එන බව ගයාන් දුර තියාම දැක තිබුණි. එසැණින් ගයාන් ''අර මිනිස්සු ආයෙම එනවා. මම ඇහුවොත් නෑ කියන්න.'' යැයි කියමින් ඔහුගේ බාප්පාගේ නිවෙසට දිව ගොස් තිබුණි.
ඇතැම්විට ගයාන් එසේ දුවගොස් සැඟවීමට උත්සාහ කළ බව පැමිණෙමින් සිටි පිරිසද දුර තියා දකින්නට ඇත. ගයාන්ගේ නිවෙස ඉදිරිපිටට ආ පිරිස කෑමොර දෙමින් ''වරෙන් චණ්ඩියා එළියට.. තෝ මරනවා.'' යැයි තර්ජනය කර ඇතැයි පැවසේ. මේ මොහොතේ ඇසුණු ඝෝෂාව නිසා ගයාන්ගේ බාප්පා ද නිවෙස ඉදිරිපිටට පැමිණ ඇතැයි කියති. එහිදී නරුමයන් සේ හැසිරුණු පිරිස ''කෝ ගයාන්.. එවපන් එළියට..'' යැයි කියමින් බාප්පාට පහර දී ඇත. ඒ බව දැනගත් ගයාන් සැඟවී සිටි තැනින් කඩිනමින් අබිමුවට පැමිණ ''බාප්පාට ගහන්න එපා'' යැයි කීවා පමණය.
පොලු මුගුරු අතැතිව සිටි පිරිස ගයාන්ට පොලු පහර කිහිපයක් එල්ල කළහ. පහරකෑම හමුවේ බිම ඇදවැටුණු ගයාන්ට කෙනකු විසින් කඩු පහර කිහිපයක්ද එල්ල කර තිබුණි. ඒ අතර අයකු ඔහුට උල් ආයුධයකින් ඇණ තිබුණි. ලේ පෙරණ තුවාල සහිතව සිහිසුන්ව වැටී සිටි දෙදෙනා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණේද ඔවුන්ට කේන්තියෙන් පහරදුන් පිරිසමය.
පිළියන්දල මාවිත්තර ගම්මානවත්ත ප්‍රදේශයේදී ඇතිවූ ගැටුමට පසුව රෝහල් ගත කළ දෙදෙනා බැලීම සඳහා ගයාන්ගේ බිරිය වහාම රෝහල වෙත ගොස් තිබුණි. ඒ වන විටත් ගයාන් බරපතළ තත්ත්වයෙන් පසුවී ජීවිතක්ෂයට පත්ව සිටියේය. මෙසේ මරණයට පත්වූ තැනැත්තා ගම්මානවත්ත, මාවිත්තර අංක 58 නිවෙසේ සිටි ගයාන් කණිෂ්ක (41) නැමැත්තෙකි.
සිදුවීමත් සමඟ ඊට සම්බන්ධ පිරිස ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටියහ. ලැබුණු තොරතුරක් අනුව සිද්ධියේ ප්‍රධාන සැකකාර යතුරුපැදිය පැදවූ තරුණයා දෙහිවල ප්‍රදේශයේ නිවෙසක රැඳී සිටියදී අත්අඩංගුවට පත්විය. එම අවස්ථාවේ ඔහුට සුළු තුවාල සිදුව තිබුණු අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි. අනෙක් සැකකරුවන් වන ප්‍රධාන සැකකරුගේ මව, පියා හා සොහොයුරා කැස්බෑව පොලීසියට බාරවීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබූහ. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරුගේ පියා යුද හමුදාවේ විශ්රාමිකයෙකි. සහෝදරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කර පලා ගිය අයෙකි. සැකකරුවන් සමඟ ඝාතනය සඳහා භාවිත කළ කඩුවක්, උල් පිහියක්, පොල්ලක් හා වීදුරු බෝතල් දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ප්‍රධාන සැකකරු ඇතුළු එකම පවුලේ සාමාජිකයන් සිව්දෙනකු විසින් මෙම ඝාතනය සිදුකර ඇතැයි සනාථ වී තිබේ.
සිද්ධිය සැලවීමත් සමඟ ඇමැති ගාමිණී ලොකුගේ මහතා එම නිවෙසට පැමිණි අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට කරුණු දන්වා තිබුණි. සෙසු සැකකරුවන් සොයා කැස්බෑව පොලීසිය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
සමන්ත ප්‍රදීප් විල්තෙර