මේ වනවිට ලංකාව වැටී ඇති ආර්ථික ආගාධය සහ එයින් මතුව ඇති ගැටලු ගැන විවිධ මතිමතාන්තර ජාත්‍යාන්තර මාධ්‍ය ඔස්සේ පැතිර ගොස් තිබුණි. මේ වාර්තා බොහෝමයක් මෙරට සහ එහි අනාගතය ගැන දක්වා ඇත්තේ අනතුරු ඇඟවීම් රැගත් ප්‍රකාශයන්ය.
තවත් මුදල් ඉතිරිව නැත: Covid අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ අද්දර යනුවෙන් - ද ගාර්ඩියන් වාර්තාවක් කීවේය. වසංගතයෙන් පසු මිලියන භාගයක් ජනතාව දරිද්‍රතාවයේ ගිලී ඇත. පිරිවැය වැඩිවීමත් සමඟ බොහෝ දෙනෙකුට ආහාර කපා හැරීමට බල කෙරුණි යනුවෙන් එම වාර්තාව කියා ඇත.
කොවිඩ් අර්බුදයේ ක්ෂණික බලපෑම සහ සංචාරක ව්‍යාපාරයෙන් සිදුව ඇති පාඩුවත්, රාජ්‍ය ආදායම ඛාදනය වන ඉහළ රාජ්‍ය වියදම් සහ බදු කප්පාදුවත්, චීනයට විශාල ලෙස ණය ආපසු ගෙවීම සහ විදේශ විනිමය සංචිත දශකයක් තුළ අවම මට්ටමට පැමිණීමත් සමග ලංකාව බංකොලොත් අඩියකට පත්ව තිබේ. මේ අතර දේශීය ණය සහ විදේශ බැඳුම්කර ගෙවීමට රජය මුදල් මුද්‍රණය කිරීම නිසා උද්ධමනය තවත් ඉහළ ගොස් තිබේ යැයි එහි වැඩිදුරටත් වාර්තාවේ.
උද්ධමනය නොවැම්බරයේ 11.1%ක වාර්තාගත ඉහළ අගයක් වාර්තා කළ අතර මිල ඉහළ යාම නිසා කලින් හොඳින් සිටි අය තම පවුල් පෝෂණය කිරීමට අරගලයක යෙදී ඇත. මූලික භාණ්ඩ දැන් බොහෝ දෙනකුට දැරිය නොහැකි තත්ත්වයට පත්ව ඇත. යනුවෙන් පෙන්වා දෙන එය ලෝක බැංකු ඇස්තමේන්තුවක් උපුටා දක්වමින් කියන්නේ වසංගතයේ ආරම්භයේ සිට 500,000 ජනතාව දරිද්‍රතා රේඛාවෙන්ද පහළට වැටී ඇති බවය.
NDTV වාර්තාකර තිබුණේ, ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ චීනය ඉවත බැලූ බවටය. මෙරට සංචාරක ක්ෂේත්‍රයට අහිතකර ලෙස බලපා ඇති COVID-19 පුපුරා යාම හමුවේ සිය දැවැන්ත චීන ණය බර අයකර ගැනීම නැවත සකස් කිරීමට ආයාචනා කළ ශ්‍රී ලංකාවට සහාය දීම චීනය ප්‍රතික්ෂේප කළ බවටය. “COVID-19 පුපුරා යාම හමුවේ මතුව ඇති ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා හැකිනම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සම්පාදනය කරන ලෙස කොළඹ ආයාචනා කළේය. ශ්‍රී ලංකා ජනාධිපති චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා සමඟ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ ගැඹුරු වන විදේශ විනිමය අර්බුදය සහ විදේශ ණය ගැතිවීම හමුවේ බීජිං හි සහාය ඉල්ලා සිටියේය* යනුවෙන් එහි දක්වා ඇත.
චීනයේ BRI ව්‍යාපෘති, වාර්තාගත උද්ධමනය, ආහාර මිල ඉහළ යාම සහ ජනතාව විඳින දුක් ගැහැට නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය මඩ ගොහොරුවකට හසුවීම ගැන චීනය කිඹුල් කඳුළු හෙළා ඇත යනුවෙන් තවත් මාධ්‍ය වාර්තාවක දැක්වේ.
හොංකොං පෝස්ට් මේ ගැන වාර්තා කළේ, “ණය සහන සඳහා ශ්‍රී ලංකාවෙන් අපේක්ෂිත ඉල්ලීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ චීනය ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවයි. නමුත් නිශ්චිත වශයෙන්, මෙහිදි ඔහු ස්ථීර කිසිවක් අදහස් කළේ නැත” යනුවෙනි.
ප්‍රධාන විදේශ විනිමය ඉපයීම්වලින් එකක්වන ජාත්‍යන්තර සංචාරක ගමනාගමනය හින්දා දැමූ වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවේ අර්බුදය පැහැදිලිව පෙනෙන්නට තිබුණද, චීනයෙන් නොසැලකිලිමත් ලෙස යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීමට ණය ගැනීම්වල අවසාන ප්‍රතිඵලය ලෙස රටේ ණය වේගයෙන් ඉහළ ගොස් විදේශ විනිමය සංචිත හැකිලී ගියේය. වසංගතයට ගොදුරු වූ සංචාරක ව්‍යාපාරයත් සමඟ, ඒ වනවිටත් අධික ණය බරින් වෙව්ලමින් සිටි ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය බිඳ වැටුණි. මෙම ණය වලින් ප්‍රධාන කොටසක් චීනයට ගෙවිය යුතු වූ අතර එය ඩොලර් බිලියන 8 කට ආසන්නය. යනුවෙන් Hong Kong Post වාර්තා කළේය.
මෙම ණය බර චීනයේ හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය වැනි චීනයේ තීරය සහ මාර්ග මුලපිරීමේ (BRI) ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් වූ අතර ඒ සඳහා චීන නියෝජිතායතන දැඩි ආපසු ගෙවීමේ කොන්දේසි යටතේ ශ්‍රී ලංකාවට විශාල මුදලක් ණයට දුන්නේය. සැලකිය යුතු ලෙස, 2021-22 දී, බීජිං වෙත කොළඹ ණය ආපසු ගෙවීම ඇමරිකානු ඩොලර් බිලියන 2 කට ආසන්න විය. තවද, හම්බන්තොට වරාය දැනටමත් ඩොලර් බිලියන 1.2 ට සාපේක්ෂව වසර 99 කට චීනයට බදු දී ඇත. මේ තත්ත්වය වාර්තාව දක්වා ඇත්තේ එය ස්වෛරී රටක් ආර්ථික වශයෙන් ඈඳා ගැනීමක් හැටියටය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍රය වී ඇති බවත් රට එය තලා දැමූ ණය යටතේ සිරවී ඇති බවත් විස්තර කරන CNBC මෙසේ කියයි.
ශ්‍රී ලංකාවේ වර්තමාන කාලය සිහිගන්වන්නේ රට අබලන් කළ 1970 ගණන්වල මුල් භාගයේදී, ආහාර හිඟය මධ්‍යයේ එහි පැවැත්ම සඳහා සටන් කළ කාලයයි. විදේශ ණය අර්බුදය රට මත ඇතිකර ඇති ආර්ථික පීඩාව ශ්‍රී ලංකාවේ දුෂ්කර බව තවදුරටත් සංකීර්ණ කර ඇත. ප්‍රතිපත්ති සම්පාදකයන් දේශීය අවශ්‍යතා සපුරාලන අතරම විදේශ ණය ආපසු ගෙවීම් කළමනාකරණය කිරීමේ ද්විත්ව අභියෝගය සමඟ අරගල කරමින් සිටිති. ශ්‍රී ලංකාව ඉහළ යන මිල ගණන් සහ අධික ණය යන දෙබිඩි පීඩාවට මුහුණ දී සිටින අතර එහෙයින් දේශීය තත්ත්වය වඩ වඩාත් දරුණු අතට හැරෙන බැවින් ජනතාව එහි බර දරයි ලෙස එය දක්වා ඇත.
“උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතයි* යනුවෙන් දක්වන ද ඩිප්ලොමැට් මෙසේ කියා ඇත.
“විශේෂඥයන්ට අනුව ශ්‍රී ලංකාවේ භාවිත කළ හැකි විදේශ සංචිත ඩොලර් මිලියන 400 කට වඩා අඩු බව පැවසෙන අතර, මේ වසර සඳහා ඩොලර් බිලියන 7 කට ආසන්න විදේශ ණය බැඳීම් ඇත. ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ නැව්ගත කරන ලද ඉන්ධන, ඉවුම් පිහුම් ගෑස් සහ ආහාර ද්‍රව්‍ය නැව් සඳහා ගෙවීමට බලධාරීන් අරගල කිරීමට හේතු වී තිබේ. ඒ සමඟම ඉන්ධන පිරවුම්හල් අසල සහ ඉවුම් පිහුම් ගෑස් අලෙවි සල් අසල මිනිසුන් සහ වාහන පැය ගණන් දිගු පෝලිම් ගැසෙමින් සිටිති. “ආර්ථික අර්බුදයට රජය වගකිව යුතු බවට චෝදනා කරමින් දේශපාලන පක්ෂ සහ පුරවැසි කණ්ඩායම් රටපුරා විරෝධතා දියත් කර තිබේ.
ශ්‍රී ලංකාව ගමන්මග ආපසු හරවයි, IMF වෙතින් මූල්‍ය ආධාර පතයි - යනුවෙන් Al Jazeera වාර්තාවක දැක්විණි.
යුක්‍රේනයේ යුද්ධය හේතුවෙන් සිය විදේශ විනිමය සංචිත ඉහළ නංවා ගැනීමට සහ ඉදිරියට එන ණය ගෙවීම් කළමනාකරණය කිරීමට දරණ ප්‍රයත්නයන් සංකීර්ණ වී ඇති හෙයින්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මූල්‍ය ආධාර අපේක්ෂා කරයි යනුවෙන් එය වාර්තාකර තිබුණි.
ශ්‍රී ලංකාව ආසියාවේ දරුණුතම උද්ධමනයෙන් පෙළෙන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන ලබා ගැනීමට අරගල කරමින් සිටී. ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයන් රුසියාව-යුක්‍රේන තත්ත්වය කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමත්, දූපත් රාජ්‍යයේ සංචාරක වෙළඳ පළ දැඩි ලෙස රැඳී පැවති පැරුණි සෝවියට් රාජ්‍යයන්හි හටගත් අර්බුදය නිසා එම ආදායම් අහිමි වී යාමත් ඒ අතර චීනය සහ ඉන්දියාව ඇතුළු මිත්‍ර රටවල් ද්විපාර්ශ්වික ණය ලබාදීම ප්‍රමාද කිරීමත් ලංකාව දරුණු මට්ටමකට පත්කර ඇති බව එය කියයි.
සුගත් පී. කුලතුංගආරච්චි