2022 මාර්තු 27 වන ඉරිදා

කොළඹ නගරයේ උතුරන යාචකයෝ

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 127

අනුන්ට අත පා ජීවත්වන යාචකයන්ගේ වැඩිවීමක් මේ වනවිට සිදුවෙමින් පවතී. විශේෂයෙන් කොළඹ නගරයේ වෙනදා නුදුටු යාචකයන් බොහෝ පිරිසක් තැන් තැන්වල හිඳ කොළඹ නගරයේ එහා මෙහා යන ජනතාවට අතපාති. ඇතැමුන් මේ යාචකයන්ට තම පසුම්බියෙන් මුදල් ගෙන දුන්නද බොහෝ පිරිස් මොවුන් නොදැක්කා සේ යන්නේ මේ පවතින ආර්ථිකයත් සමඟ තවත් කෙනකුට මුදලක් දෙන්නට තරම් හැකියාවක් නොමැතිකම නිසාමය. සැබැවින්ම අනුන්ට අත පා ජීවත්වෙන යාචකයන්ට වඩා ආර්ථික අපහසුතා මෙරට ජීවත්වන ඇතැමුන්ට පවතී. ඇතැම් යාචකයන්ගේ පසුම්බියට දිනකට දෙතුන් දහසකට වඩා මුදලක් එකතු වෙද්දී දෛනික ආදායම පන්සීයක් නොලැබෙන ජනතාව ඕන තරම් මේ සමාජයේ ජීවත් වෙති.

කොළඹ නගරයට පිවිසෙන බොහෝ අයට අත්පා ආබාධිත වුණු යාචකයන් මෙන්ම කිසිදු ආබාධයක් නොමැති යාචකයෝද මුණගැසෙති. දිනකට කොළඹ නගරයට තම විවිධාකාර අවශ්‍යතා වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණෙති. මේ අතරේ දිනපතා රාජකාරිය සඳහා පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික සේවක පිරිස්ද වෙති. ඔවුන්ගෙන් බහුතරයකට මෙම යාචකයන් සම්බන්ධයෙන් යම් අවබෝධයක් ඇත.

''ඔය බොහෝ හිඟන්නෝ කරන්නේ බොරුවක්. මේක ජාවාරමක්. හිඟන්නන්ව මේ විදිහට පාලනය කරන වෙනමම පිරිසක් ඉන්නවා. හිඟන්නන්ගෙන් දිනපතා ලැබෙන මුදලින් වැඩි කොටසක් ලැබෙන්නේ මේ ජාවාරම් මෙහෙයවන අයටයි. කොටුව දුම්රියපොළ වගේම බස් නැවතුමෙන් එකෙත් ඒ විදිහට හොර යාචකයන් ඉන්නවා. සමහරු මේ ගැන නොදැන සල්ලි දෙනවා. අපිට නම් දැන් මේ අයව හොඳට හුරුයි. ඒ නිසා මෙහෙම හොරුන්ට සල්ලි දෙන්න බෑ. දැන් අපේ ආර්ථිකයත් බිංදුවට වැටිලා තියෙන්නේ.'' යැයි නාරාහේන්පිට මධුර ප්‍රියන්ත මහතා දේශයට පැවසීය.

බොහෝ යාචකයන්ට නිශ්චිත ස්ථානයක් ඇත. වැඩි වශයෙන් ජනතාව ගැවසෙන එවැනි තැන් මේ වනවිට ඔවුන්ගේ රජදහනකි. කාඩ්බෝඩ්වලින් තාවකාලිකව අසුරුවා ගත් නිවහනක ජීවත්වෙන ඔවුන් පිටස්තර යාචකයන්ට වසමට ඒමට අවසර දෙන්නේ නැත. යම් හෙයකින් එවැනි අලුත් මුහුණුවරක් ඒ අවට ප්‍රදේශයට පැමිණියහොත් ස්ථීර පදිංචිකරුවන්ගෙන් අකටයුතුකම් සිදුවේ. එවිට ඔවුන්ට ආබාධිත කම පෙනෙන්නේම නැත. අහිංසකකම ඇත්තේම නැත. ඇතැම් විට ගුටි බැට හුවමාරුවකින් පසු ඔවුන් නතර වන්නේ පොලිස් කූඩුවේය.

''කොළඹ දැන් හිඟන මිනිස්සු වැහිවැහලා. සමහරු නම් ඇත්තටම අසරණයි. සමහරු එහෙම නැත. ඇත්තටම මේක වදයක්. සමහරු බිම වාඩිවෙලා ළඟින් යන අයගේ කකුල් අල්ලලා සල්ලි ඉල්ලනවා. සමහරු ඇවිදගෙන යද්දී අත අල්ලලා සල්ලි ඉල්ලනවා. ඒවගේ යාචකයන් සම්බන්ධයෙන් අපිට පැමිණිලි පවා ඇවිත් තිබෙනවා. ඒ අයට අපි අවවාද පවා කරලා තියෙනවා. කොවිඩ් කාලයේදී නම් හිඟන අයගේ යම් අඩුවක් තිබුණා. හැබැයි දැන් වැඩියි. සමහරු මේ කරන්නේ රඟපෑමක්.'' යැයි කොළඹ මාර්ගයේ රාජකාරියේ නිරත වුණ පොලිස් නිලධාරියෙක් දේශයට ප්‍රකාශ කළේය.

මේ වනවිට ඇතැම් යාචකයන් හිඟමන් අයදින්නේ මුදලද පවසමිනි. ඇතැම් යාචකයන් රුපියල් දහයට අඩු මුදලක් බාරගන්නේ නැත. යම් හෙයකින් රුපියල් පහේ කාසියක් දුන් විට එය මානසික රෝගියකු සේ වීසි කර දමන්නට, අමුතු ආකාරයට සිනහවක් නඟන්නට පවා ඔවුහු පෙළඹෙති. 

අද වනවිට රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදලින් පවුලක් නඩත්තු කිරීම එතරම් ලෙහෙසි වන්නේ නැත. පවුලක එක් අයකු පමණක් රැකියාවක් කරන්නේ නම් ඔහු උපයන දෙයින් පවුලේ සාමාජික සාමාජිකයන් තුන් හතර දෙනකු නඩත්තු වන්නේ නම් අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැත. බැංකු ගිණුමේ මාසය අවසානය වනවිට ගත හැකි අවසාන මුදල දක්වා ගන්නා රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් ඕනෑතරම්ය. ඔවුන්ට ඉතිරියක් නැත. නමුත් ඔවුන්ගේ අත පා ජීවත්වන යාචකයන්ගේ බැංකු ගිණුම්වල ඊට වඩා මුදලක් ඇත. ඇතැම් යාචකයන් පොලියට මුදල් දෙන බවද සොයාගෙන ඇත. ඔවුන්ට ගෙවන්නට නිවාස කුලියක් නැත. පිරිසිදුව, පිළිවෙළට ඇඳ පැළඳ ගන්නට ඇඳුම් ඕන වන්නේද නැත. යාචකයන් තුළ දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදෙන්නට හීනයක්ද නැත. බොහෝ යාචකයන් ජීවත් වෙන්නේ එදා දවස වෙනුවෙනි.

අපිළිවෙළට ඇඳුම් ඇඳගත් යාචකයන් ඉතා අපිරිසිදුය. මේ බොහෝ යාචකයන් මත්පැන්, මත්කුඩුවලට ඇබ්බැහි වූවෝ වෙති. නිතරම ඔවුන් හිඟමන් අයදින්නේ මත්වීමෙන් පසුවය. කොළඹ නගරයේ හිඟමන් අයදින ඇතැම් යාචකයන් රාත්‍රී කාලයේදී නිදාගන්නේ කොළඹ නගරයේ ගාල්කොට ඇති නාට්ටාමිවරුන්ගේ කරත්ත මතය. එසේත් නැතිනම් බස් නැවතුම්වලය. කඩපිල්වලය. මේ අතර රාත්‍රී කාලයේදී වීදි පහන් එළියෙන් වීදි ගණිකාවන්ගේ පහස ලබන යාචකයන්ද නැතිවාම නොවේ. දහවල් කාලයේදී අනුන්ට අත පා සොයාගත් සියලු මුදල් වීදි ගණිකාවන්ගේ පහස වෙනුවෙන් වියදම් කරන යාචකයන්ට හෙටක් අවශ්‍ය නැත. නැවතත් පසුදා උදෑසන ඔවුහු කොළඹ නගරයේ එහා මෙහා යන ජනතාවට අතපාති.

පොදු ප්‍රවාහන සේවාවල යාචකයන්ට සිඟමන් ඇයදීම තහනම් කළද අදටත් පොදු ප්‍රවාහන සේවයේ හිඟමන් යදින යාචකයෝ සිටිති. දරුවන් කරපින්නාගෙන සෙනඟ ගැවසෙන දුම්රියන් වෙත ගොඩවැදෙන ඔවුහු සෙනඟ අස්සෙන් තෙරපෙමින් සිඟමනේ යති. මේ අතර සිඟමන් වෙසින් සිටින සොරුන්ද නැතිවාම නොවේ. කණ්ඩායමක් ලෙසින් වෙන් වෙන් වශයෙන් දුම්රියේ ගමන් කරන ඔවුන් ඉඩ ලද සැණින් සොරකමේ යෙදෙති.

මහාමාර්ගයේ ඇති සංඥා පුවරු අසල හිඳ සිඟමන් යදින යාචකයන් පිරිසක් ඇත. පසුගිය කාලයේදී මෙම ස්ථානවලද සිඟමන් යැදීමට අවසරය නොදුන්නද කල් යත්ම නැවත වරක් එවැනි සංඥා පුවරු අසල සිට විදුලි සංඥාවලට වාහන නතර වුණ සැණින් වාහන අසලට ගොස් හිඟමන් අයදිති. මේ සඳහා වෙනම යාචකයන් පිරිසක් ඇත. විශේෂයෙන් මෙම සිදුවීම වැඩි වශයෙන්ම දක්නට ඇත්තේ කොළඹ නගරයේදීය.

පවතින ආර්ථිකයත් සමඟ තවත් කෙනකුට අත පා ජීවත් වනවාට වඩා කෙනකුට වදයක් නොවී රැකියාවක් කොට යම් මුදලක් ඉපයීම වටින්නේය. දිනෙන් දින ඉහළ යන වියදමත් සමඟ තවත් කෙනකු වෙනුවෙන් මුදලක් වෙන් කරගන්නට බැරි තරම් ආර්ථිකය පහළ බැසීමත් සිදුවෙමින් පවතී. කොළඹ නගරයේ දිනෙන් දින ඉහළ යන යාචකයන් මෙන්ම හිඟා නොකා හිඟාකන පුලන්නෝද සිටිති. වෙනත් කෙනකුට අත නොපෑවද ඔවුන් ජීවත් වන්නේද තවත් කෙනකුගේ උදව්වෙනි. වර්තමානයේ රටේ පවතින ආර්ථිකය හේතුවෙන් සමාජයට නොපෙන්නුවාට යාචකයන්ට වඩා අසරණ වුණ ආර්ථිකය කඩා වැටුණ රටේ ජනතාව ඕන තරම් සිටිති. නමුත් ඔවුන් තවත් කෙනකුට අත නොපා තම ජීවිතය කෙසේ හෝ රැකගනිති.

 දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ