2022 මාර්තු 27 වන ඉරිදා

බුකියේ බඩු මිල

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 84

උද්ඝෝෂණ, වැඩවර්ජන, සත්‍යග්‍රහ ඇතුළු සම්ප්‍රදායික විරෝධතාවන් අභියෝගයට ලක් කරමින් සමාජ මාධ්‍ය විරෝධතාවන් මේ වන විටත් ලෝකය ආක්‍රමණය කොට තිබේ. එබැවින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරීත්වය ද සමීපව නිරීක්ෂණ කිරීමට අපි උත්සාහ කළෙමු.

බඩු මිල වැඩිවීම ඇතුළු ජනතාවට බලපාන ආර්ථික කරුණු රැසක් පිළිබඳ විවිධාකාර විරෝධතාවන් ගෙවුණු සතියක දෙකක කාලය තුළ දක්නට ලැබුණි. ඒ අතර අපහාසාත්මක මෙන්ම උපහාසාත්මක ප්‍රකාශ ද බොහෝ විය. විශේෂයෙන්ම මුහුණු පොතේ "පිටු" ඇඩ්මින්වරු ද මෙම විරෝධතා ගොනු කිරීමේලා ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කළහ. එහිදී ආණ්ඩු විරෝධී සහ ආණ්ඩු පක්ෂපාතී ලෙස සමාජ මාධ්‍ය පිටු බෙදා දැක්වීමට අවස්ථා ද නිර්මාණය විය.

මේ අතර විවිධ ධාරාවන් ඔස්සේ දියත් වූ විරෝධතා ව්‍යාපෘති ද දැකගත හැකි විය. "එ.ළ.ව.මු.ද" යනුවෙන් ක්‍රියාත්මක වූ එවන් ව්‍යාපෘතියක් ගෙවුණු සතියේ දැකගත හැකි විය. 225 ම එළවමු යනුවෙන් සඳහන් වූ එක් පෝස්ටුවක් බොහෝ දෙනකු විසින් මුහුණුපොතේ සිය ගිණුම් වෙත මුදාහැර තිබුණි.

මීට අමතරව උපහාසාත්මක මෙන්ම ව්‍යවහාරයේ දෙපිට කැපෙන භාවිතයන් ලෙස හඳුන්වන ප්‍රකාශ ද බහුලව දක්නට ලැබුණි. "උදේම ඇහැරෙද්දී නැගලාද? - බඩු මිල" ආදී ප්‍රකාශයන් මේ අතරින් කැපී පෙනුණි. ඊට අමතරව පීඩාවන් මැද පවා සිනහව ඇතිකරන අපූරු කියමන් රැසක් දැකගත හැකිවිය. එවන් එක් පෝස්ටුවක විජය මාලනී රඟන චිත්‍රපටයක දෙබසක් නැවත සකසා මෙසේ දක්වා තිබුණි.

විජය - ඇයි ඔයා මම එව්ව ලියමනට උත්තර නොලිව්වේ... 

මාලනී - කඩදාසි නෑ විජේ

ඩොලර් අර්බුදය හේතුවෙන් නිර්මාණය වී ඇති කඩදාසි හිඟය පදනම් කර ගනිමින් මෙම පොස්ටුව නිර්මාණය වී තිබුණි.

මේ අතර පවතින ආණ්ඩුවට පක්ෂපාතී සමාජ මාධ්‍ය ව්‍යාපෘති ද සංවිධානය වනු දක්නට ලැබුණි. #WeAreWithGota නමින් ක්‍රියාත්මක වූ එවන් ව්‍යාපෘතියකි "අපි දැන් මුහුණදීලා ඉන්නේ ලෝකේ හැමෝම මුහණදෙන දරුණු ආර්ථික ප්‍රශ්නෙකට. තෙල් පෝලිම් තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි. බඩු මිල වැඩි ලංකාවේ විතරක් නෙවෙයි. අපි හැමෝම ප්‍රශ්නෙක ඉන්නේ. ඉවර කරන්න බෑ කිව්ව යුද්දේ ඉවර කරපු අපි, ලෝකෙම දණ ගස්සපු කොරෝනාව ජයගත්ත අපි, මේ ආර්ථික අර්බුදෙත් ජයගන්නවා." එම ව්‍යාපෘතිය මෙම ප්‍රකාශය සමාජගත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විය.

විපක්ෂ කණ්ඩායම් ද මෙවන් ව්‍යාපෘති කිහිපයක් මෙහෙවනු දක්නට ලැබුණි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ #පන්නමු නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබුණි. සමගි ජන බලවේගය ද #GoGotaGo #GoHomeGota2022 යනුවෙන් හෑෂ් ටැග් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේය. 

මේ අතර වර්තමාන ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි ප්‍රසිද්ධ චරිත විසින් මීට කලකට ඉහත මුදාහල පෝස්ටු නැවත කරළියට ගෙන ඒමේ කටයුත්තක් සමාජ මාධ්‍ය අවකාශය තුළ ක්‍රියාත්මක වෙමින් තිබුණි. නාමල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පසුගිය ආණ්ඩුව සමයේ බඩු මිල වැඩිවීමට එරෙහිව මුදාහල පෝස්ටු ඒ අනුව නැවත කරළියට පැමිණ තිබුණි. තවද ඉන්ධන මිලට එරෙහිව පාර්ලිමේන්තු වටරවුමේ පැවැති පාපැදි විරෝධතාවේ ඡායාරෑප ද නැවත මතුවී තිබුණේ මෙම තත්ත්වය මතය.

මීට අමතරව කලා ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතැම් ජනප්‍රිය චරිත ද සමාජ මාධ්‍ය විරෝධතාවට උරදුන්හ. ඇතැම් මාධ්‍ය චරිත සිය සමාජ මාධ්‍ය තුළ සිදු කළ ප්‍රකාශ හේතුවෙන් බලපෑමට ද ලක්වූ අවස්ථා වාර්තා විය. 

සමාජ මාධ්‍ය තුළ Haha රියැක්ට් විරෝධතා ද කැපීපෙනෙන දෙයක් විය. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ පෝස්ටු වෙත ගොස් Haha රියැක්ට් යෙදීම පසුගිය මාසයක පමණ කාලය තුළ විශාල රැල්ලක් බවට පත් විය. එසේම Comment හරහා ද දැඩි විරෝධතාවක් ගොනු කිරීමට ඇතැම්හු උත්සාහ ගත්හ. එය ද කැපීපෙනෙන තත්ත්වයක් වූ අතර මාධ්‍ය ආයතන සමාජ ජාල පිටු පවා එම Comment  කරන්නන්ගේ ඉලක්කයක් විය.

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ නිර්මාණය වූ මෙම සමාජ මාධ්‍ය විරෝධතා ප්‍රධාන කොටස් දෙකක් ලෙස ගොනුකර දැක්විය හැකිය. ඉන් පළමුවැන්න නම් සැලසුම් සහගත ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක වන විරෝධතා ලෙස නම් කළ හැකිය. දෙවැන්න නම් සැලසුමකින් තොරව සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් ගොනු කරනු ලබන විරෝධතාය. කෙසේ නමුත් මෙම විරෝධතා ජනමත හැසිරීම් කෙරෙහි බලපෑම් සහගත බව අවසානයේ කිව යුතුය. මන්ද නූතනයේ සමාජ මාධ්‍ය විරෝධතා සියලු සාම්ප්‍රදායික විරෝධතාවන් පරයා යන බලවත් දේශපාලන අවියක් බැවිනි.

  චමිඳු නිසල් ද සිල්වා