උද්ධමනය අහස උසට නැග ඇත. වෙළෙඳපොළට ගිය පසු බඩු මිල දැනේ. දිනපතා මිල ඉහළ යන බව නොදන්නේ ආණ්ඩුවේ බලධාරීන් පමණකි. මිල පාලනය, සාධාරණ වෙළෙඳ කොමිසම ඉවත බලාගෙන සිටී. ආර්ථික ව්‍යුහයේ දැනට පවතින වෙනස්කම් ඉතා සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, බෙහෙත් හේත් මිල නොසිතන ගණන්වලින් වැඩි වී ඇත. මේවා පාලනය කරන්නේ කෙසේද?
ශ්‍රී ලංකාවේ තත්ත්වය අමාරු බව නොරහසකි. තවත් පැත්තක් තිබේ. ලෝකයේ සෑම රටකම ආහාර මිල ගණන් ඉහළය. ලෝක වෙළෙඳපොළේ ආහාර මිල ගණන් 20.7%කින් ඉහළ නැග ඇති බව අලුත්ම රොයිටර් වාර්තාවක් කියයි. ලෝක ආහාර සංවිධානයේ විශේෂඥ වාර්තා පදනම් කරගෙන එම වාර්තාව පළ කරයි. කොවිඩ් වසංගත තත්ත්වය අවසන් වන ලකුණු සමඟ අනාගතය පැහැබර විය හැකි බව විද්‍යමාන වූ නමුත් රුසියාව හා යුක්රේනය අතර හටගෙන ඇති ගැටුම ජාත්‍යන්තරයේ අයහපතට හේතු වී ඇති බව පෙනේ.
අත්‍යාවශ්‍ය ආහාර ලෝක වෙළෙඳපොළේ මිල
බොරතෙල්, සීනි, ධාන්‍ය, එළවළු, ආහාරයට ගන්නා තෙල් වර්ග, කිරි යනාදිය විශාල වශයෙන් මිල ඉහළ ගොස් ඇත. ධාන්‍ය ගැන සඳහන් කරන ජාත්‍යන්තර වාර්තා අනුව 2020-21 කාලයේ නිෂ්පාදනය ඉහළ ගොස් තිබේ. කලින් වසරේ මෙට්‍රික් ටොන් මිලියන 775 ක සිට මෙට්‍රික් ටොන් මිලියන 790 ක් දක්වා මෙම වසරේ වාර්තාගත අස්වැන්නක් ලැබී ඇත. තිරිඟු හා බඩඉරිඟු අස්වැන්න වැඩි වී තිබේ. බ්‍රසීලයේ පමණක් තිරිඟු නිපැයුම මෙට්‍රික් ටොන් මිලියන 112 දක්වා වාර්තාගත ස්ථානයකය. මෙම අස්වැන්න සමඟ හොඳ ස්ථාවර මිලක් අපේක්ෂා කරන නමුත් කලින් වසරට වඩා 20%කින් මිල වැඩිවීම විශ්මයට හේතු වී ඇත. ජාත්‍යන්තර වෙළෙඳපොළ වාර්තා අනුව ලෝකයේ වාර්ෂික ධාන්‍ය අවශ්‍යතාව ටොන් බිලියන 2.8 කි. එහෙත් මෙම වසරේ අතිරේක තොග වශයෙන් ටොන් මිලියන 836 ක් ඇති බව රොයිටර් වාර්තා දක්වයි. අවශ්‍ය තරමට ආහාර ද්‍රව්‍ය තිබියදී මිල ඉහළ යන හේතුව ගැන විශාල අවධානයක් යොමු වී තිබේ.
වාර්තා අනාවරණය කරන පරිදි අමෙරිකාවේ ආහාර මිල වැඩිවීම වසර හතළිහකට මෙපිට දරුණුම තැනක බව දැක්වේ. බ්‍රිතාන්‍යයේ මිනිසුන් විරෝධතා පළ කරන්නට පටන්ගෙන ඇත. නවසීලන්තයේ ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීම 4.5% කි. එම වැඩිවීම වසර සියයකට මෙපිට ඉහළම අගය බව දක්වයි. දකුණු අප්‍රිකාවේ 6.3%කින්, නැගෙනහිර යුරෝපයේ 5.6%කින් හා කැනඩාවේ 5.7%කින් ආහාර මිල ගණන් වැඩි වී තිබේ. ඉන්දියාවේ ආහාර මිල වැඩිවීම 6.9% කි. පසුගිය බදාදා අලුයම සිට ඉන්ධන හා ගෑස් මිල සංශෝධනය කරන ලද අතර වසර හතරකට පසු කරන ලද මිල වැඩිවීම මෙම තත්ත්වය තවත් දරුණු අතට හරවනු ඇතැයි සැලකේ. ඉකුත් නොවැම්බර් මාසයේ ඉන්දියාව ඉන්ධන සඳහා අය කරමින් තිබුණු බදු අඩුකර තත්ත්වය පාලනය කරන ලද නමුත් ප්‍රාන්ත මැතිවරණ අවසන් වූ වහා ඉන්ධන මිල වැඩි කිරීම ජනතාවගේ කෝපයට හේතු වී ඇති බව මාධ්‍ය වාර්තා දක්වයි.
ශ්‍රී ලංකාවේ තත්ත්වය ද මෙයට නොවෙනස්ය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2021 වසරේ දී ආහාර මිල ගණන් 21.5%කින් ඉහළ ගොස් ඇත. එය පහසු තත්ත්වයක් නොවේ. සහල්, පරිප්පු, කිරිපිටි, එළවළු, මස් හා මාළු මිල ගණන් සැසඳීමේදී සාමාන්‍ය ජනතාවට දරාගත නොහැක. කිරිපිටි කිලෝවක් මිල දී ගැනීමට වඩා සිමෙන්ති කිලෝ පනහක් මිල දී ගැනීම පහසු වී තිබේ.
කාලගුණය, වසංගත හා අර්බුද මැදින් ගමනක්
ජාත්‍යන්තර පර්යේෂකයෝ ආහාර මිල ගැන කරුණු තුනක් සඳහන් කරති. Climate Covid and Conflict යන සී අකුරු තුන අවධාරණය කර දක්වා තිබේ. කාලගුණය ප්‍රධාන සාධකයකි. සමහර කලාපවල තද නියඟයකි. කොවිඩ් අනෙක් කරුණය. ලෝකයේ හැම රටකම ආහාර නිෂ්පාදනය පමණක් නොව බෙදාහැරීම ද අඩපණ වී ඇත. කොවිඩ් ආරක්ෂණය අරමුණු කරගත් සෞඛ්‍ය විධිවිධාන අනුව භාණ්ඩ ඇසිරීම හා ප්‍රවාහනය කල්ගත වන හා අතිරේක වියදම් එකතු වන කාර්යයකි. සමාජ දුරස්ථභාවය, සෞඛ්‍ය ආරක්ෂාව සඳහා පිරිවැය සහ රක්ෂණ ගාස්තු අතිරේකව එකතු වෙයි. ගැටුම් තුන්වැනි සාධකය සේ බලපාන බව දැක්වේ. රුසියාව සහ යුක්රේනය අතර හටගෙන ඇති යුද තත්ත්වය බටහිර හා යුරෝපා කලාපයට බලපා තිබේ. වෙළෙඳාමට ප්‍රශ්න ඇත. විශේෂයෙන් ඉන්ධන මිල ගණන් දරුණු ලෙස ඉහළ ගොස් තිබේ. ගැටුම් කවදා අවසන් වනු ඇත්දැයි නිරීක්ෂකයෝ බලා සිටිති.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 87%කින් ඉහළ නැග ඇත. දැන් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 116.25 කි. රුසියාව කරන පාලනය මත සැපයුම පහළට බැස ඇත. තෙල් මිල ලෝක ආර්ථිකය විනාශ කරන හේතුවක් වී තිබේ. අමෙරිකාව හා යුරෝපා රටවල් තැතිගෙන ඇති අතර අමෙරිකාව විශේෂ මෙහෙයුමක් අරඹා ඇත. මෙම මෙහෙයුම අනුව ඇසියාව හා යුක්රේනය අතර ඇති ගැටුම පාලනය කර තෙල් වෙළෙඳාමට ඇති බාධා ඉවත් කරන්නට පියවර ගැනෙනු ඇතැයි සැලකේ. රුසියාවේ තෙල් සබඳතා චීනයට හා ඉන්දියාවට ප්‍රශ්නයක් නොවේ. එම රටවල් දෙකම රුසියාව සමඟ ගනුදෙනු කරන බව දැක්වේ. කෙසේ වෙතත් තෙල් මිල අඩු නොවුණහොත් ආහාර මිල තවත් වැඩි විය හැකි බව පර්යේෂකයන් පෙන්වන කරුණකි.
ආහාර මිල පදනම් කරගෙන විරෝධතා
ආහාර මිල ඉහළ මට්ටමක පැවතීම දේශපාලන කැළඹිලිවලට හේතු වී තිබේ. රටවල් ගණනාවක විරෝධතා බව විදෙස් තොරතුරු අනාවරණය කරයි. ඉරානයේ දකුණු ප්‍රදේශයේ ජනතාව පාරට බැස ඇත. ආහාර මිල අඩු කරන බවට බල කර තිබේ. ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිත කරන තෙල් මිල දෙගුණයක් බව මෙම විරෝධයේ දී ජනතාව කෑ ගසා ප්‍රකාශ කර ඇත. ස්පාඤ්ඤයේ ද දහස් ගණන් පිරිස් ආණ්ඩුවට අප්‍රසාදය පළ කරන රැලිවලට සහභාගී වී සිටින බව දැක්වේ. නයිජීරියාව, ඉන්දුනීසියාව වැනි රටවල ද බරපතළ තත්ත්ව හටගෙන ඇත. ඉන්දියාව හා කෙන්යාවේ ද විරුද්ධ දේශපාලන බලවේග උණුසුම් තත්ත්ව ඇතිකර තිබේ. ජනතාවට සහන අත්පත් කර දෙන විශේෂ වැඩපිළිවෙළ යෝජනා කරන නමුත් මෙම රටවල පිරිස් ජීවන වියදම ගැන මැසිවිලි නගති. බදු සහන ප්‍රකාශයට පත් කර ඇති බව දැක්වේ. කෙසේ වෙතත් එම රටවල රාජ්‍ය වියදම දිගුකාලීනව පාලනය කර ගැනීම අපහසු බව ප්‍රකාශ වී ඇත. මිල වැඩි කිරීම හැර විකල්පයක් නැති බව පාලකයන් පෙන්වා දී තිබෙන කරුණකි.
වෙළෙඳපොළ දත්ත විමසන විට ශ්‍රී ලංකාවේ තත්ත්වය ද යහපත් තැනක නොවේ. ජන ජීවිතය නැවතත් සුපුරුදු පරිදි අවදි වන පසුබිම මත ජීවත්වීමේ ගැටලු මතු වේ. ඉන්ධන මිල දරුණුය. තෙල් මිල වැඩි කිරීම පදනම් කරගෙන සියලුම කාර්මික, කෘෂිකාර්මික හා සේවා අංශවල මිල නියම වී ඇති බව දැකගත හැක. රජයේ ආදායම පිරිහී ඇති අතර සහන ප්‍රකාශයට පත් කරන්නට තරම් ධනයක් මහා භාණ්ඩාගාරයේ නැත. එදිනෙදා වියදම් පාලනය සඳහා දෙස් විදෙස් ණය අපේක්ෂා කරන බව පෙනේ. ඉන්දියාවෙන් ලැබුණ අමෙරිකානු ඩොලර් බිලියනයක මුදල හා තෙල් මිල දී ගැනීම සඳහා ලැබී ඇති චක්‍රීය ණය විශාල සහනයකි. චීනයෙන් ද ණය අපේක්ෂා කරන අතර මුල්‍ය අරමුදල වෙත ද නැඹුරු වන බව පෙනේ. පරිවර්තනයක් අවශ්‍යය. නිෂ්පාදනය වැඩි කළ යුතු අතර රට තුළ කාර්යක්ෂමතාව ඇති කරන ප්‍රයත්නයකින් හැර ගැලවීමක් නැත.
සාරා කන්දෙගොඩ