පසුගිය මාස කිහිපය තුළදී එළවළු මිල ඉතා ඉහළ අගයක් ගෙන තිබිණි. එහෙත් මේ වනවිට එළවළුවල මිල ඉතා පහළ ගොස් ඇති බව කොළඹ මැනිං වෙළෙඳ පොළේ වෙළෙන්දෝ පවසති. දෛනිකව මැනිං වෙළෙඳපොළට පැමිණෙන තොග වෙළෙඳුන්ගේ විශාල අඩුවක් දක්නට ඇති අතර මේ හේතුව නිසා ඇතැම් එළවළු අපතේ යන බවද ඔවුහු පවසති.
''මීට මාසයකට පමණ පෙර තිබුණ තත්ත්වයට වඩා සියයට පනහක් වැනි පහළ මිල ගණනකට එළවළුවල තොග මිල වැටිලා තිබෙනවා. පසුගිය කාලයේදී ගොවියන්ට බලපෑ ප්‍රධානම කාරණාව වන්නේ තම වගාවන්ට අවශ්‍ය කරන තෙල් පොහොරවල හිඟකමයි. ඒ හේතුවෙන් වගාවන්වල යම් අඩුවක් සිදුවුණා. නමුත් මේ වෙද්දී එයට අමතරව වෙනස් ආකාරයෙන් ගැටලුවක් මතුව තිබෙනවා. මේ වෙද්දී පවතින විශාලම ගැටලුව වන්නේ ඉන්ධන නොමැතිකමයි. වෙළෙඳපළට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය කරන ඉන්ධන පහසුකම් නොමැති වීම නිසා වෙළඳුන් තම බෝග අලෙවි කර ගැනීමට නොහැකිව විශාල අර්බුදයකට මුහුණපාලා තියෙනවා.'' යැයි මැනිං වෙළඳ සංගමයේ ලේකම් සමින්ද පීරිස් මහතා දේශයට පැවසීය.
බොහෝ එළවළුවල මිල ඉතා පහළ අගයක් ගෙන ඇත්තේ ඒ නිසා බව කියති. ඉන්ධන ගැටලුව හේතුවෙන් වෙළඳපොළට පැමිණෙන වෙළෙඳුන්ගේ අඩුවක් මෙන්ම පිට පළාත්වලින් දෛනිකව පැමිණෙන එළවළු ලොරි රථවලද අඩුවක් තිබේ. මේ වනවිට ජනතාව පත්ව ඇත්තේ විශාල ආර්ථික අර්බුදයකටය. වෙනදා එළවළු තොග වශයෙන් ගැනීමට පැමිණෙන ජනතාවට එය අමතක කොට දවස ආරම්භයේදීම පෝලිම්වලට එක්වීමට සිදුව ඇත.
එක් පවුලක සාමාජිකයන් හතර පස්දෙනා සිටියද උදේට නිවසින් පෝලිම් කිහිපයකට එකතුවන ඔවුන්ට යළි නිවෙසට පැමිණිය හැක්කේ සවසටය. මේ නිසාම එළවළු පිස ආහාර ගැනීමට තරම්වත් නිදහස් මානසිකත්වයක් හෝ වත්කමක් වර්තමාන ජනතාවට නැත. එදා වේලට තියෙන දෙයක් කා කුස පුරවා ගන්නට බහුතර ජනතාවට සිදුව ඇත.
අද වනවිට මැනිං වෙළඳපොළේ ලීක්ස් කිලෝවක් මිල රුපියල් හැත්තෑවත්, අසූවත් අතරද කැරට් කිලෝව රුපියල් එකසිය විස්සත්, එකසිය තිහත් අතරද වෙයි. බෝංචි එකසිය අසූවටත්, බීට් රූට් රුපියල් අසූවටත් පහළ බැස ඇත. ගෝවා කිලෝවක මිල රුපියල් හතළිහකි. මීට මාසයකට පෙර විකිණූ එළවළු මිලට සාපේක්ෂව මෙය ඉතා පහළ මිලක් ලෙසින් සඳහන් කළ හැකිය.
පසුගිය කාලයේදී ලූනුවලට අත්වුණ ඉරණමද මෙලෙසමය. මේ වනවිට ලොකු ලූනු මිල ප්‍රමිතියට අනුව වෙනසක් ඇත. විදෙස් රටවලින් ආනයනය කරනු ලබන ලූනු කිලෝවක මිල රුපියල් එකසිය පනහක් වැනි මිලකට මිලදී ගත හැකිය. තක්කාලිවල මිලද කිලෝවක් රුපියල් සීයත්, එකසිය විස්සත් අතර මිලකට ලබාගත හැකිය. දෛනිකව වෙළෙඳසල්වලට පාරිභෝගිකයන් අනුව මිල තීරණය වේ. මේ අනුව මෙම මිල දිනෙන් දින වෙනස් වේ. මේ දිනවලදී ලැබෙන අස්වැන්නට ඉල්ලුම්කරුවන් නොමැතිවීම නිසා මැනිං වෙළෙඳසල්වලින් අපතේ යන එළවළුවල ප්‍රමාණයද දිනෙන් දින ඉහළ යමින් තිබේ.
''පසුගිය කාලයත් එක්ක බලද්දී මේ දිනවල එළවළු මිල විශාල ලෙසින් අඩුවෙලා තියෙනවා. දැන් මේ එළවළුවලට ඉල්ලුම්කරුවන් නැහැ. මේ ගැටලුවට ඉන්ධන ප්‍රශ්නය බොහෝ බලපාලා තියෙනවා. එළවළු අස්වැන්න ලබාගන්නා ප්‍රදේශවල සිට මෙතනට ප්‍රවාහනය කරන්නට ඉන්ධන සඳහා විශාල මුදලක් වියදම් වෙනවා. මේ බොහෝ එළවළු රුගෙන එන්නේ පිට පළාත්වලින්. එහෙම පිට පළාත්වලින් ගෙන එන වාහනවලට අවශ්‍ය කරන ඩීසල් ටික ගහගන්නවත් මේ මිනිස්සුන්ට දවස් ගාණක් පැය ගණන් ඉන්ධන පෝලිම්වල ඉන්න සිදුවෙලා. පිට පළාත්වලින් එළවළු ගේන්න අමාරු වගේම එළවළු තොග වශයෙන් මිලදී ගෙන රැගෙන යන්නවත් වෙළඳුන්ට ඉන්ධන නැහැ. ඒ නිසා ඉල්ලුම අඩුවෙද්දී එළවළු මිලත් ඉබේට අඩුවෙනවා.'' යැයි මැනිං වෙළඳ සංගමයේ උප භාණ්ඩාගාරික ගාමිණී රෑපසිංහ මහතා දේශයට පැවසීය.
එළවළුවල මිල පහළ බැසීමට ප්‍රධානම හේතුව වන්නේ ඉන්ධන මිලය. ඇතැම් වෙළෙන්දෝ තම රථවාහනවලින් පිට පළාත්වලට ගොස් අවශ්‍ය එළවළු රැගෙන නැවත කොළඹ එති. නමුත් මේ වෙද්දී ඔවුන්ගේ රස්සාවද නතර වී ඇත. වෙනදා මැනිං වෙළෙඳසලට බොහෝ පාරිභෝගිකයන් පිරිසක් පැමිණියද මේ දිනවල සැලකිය යුතු ප්‍රමාණයකින් ඒ පාරිභෝගිකයන්ගේ අඩුවක් දක්නට ලැබුණි.
පසුගිය කාලයේදී ගොවීන් මුහුණ දුන් ප්‍රධානම ගැටලුව වූයේ තෙල් පොහොර නොමැතිකමයි. කෙසේ හෝ ඒ අපහසුතා මැද ඔවුන් ඒ අවශ්‍යතාවයන් සපුරා ගත්තද ඔවුන්ගේ වගාකරන ප්‍රමාණයේ විශාල අඩුවක් ඇත. අක්කර එකක් වගා කළ ගොවි මහතකු මේ වෙද්දී වගාකරනු ලබන්නේ අක්කර භාගයක් වැනි සීමිත ප්‍රමාණයකටය.
සාමාන්‍යයෙන් මීට පෙර එළවළු ගෝනියක් වෙළෙඳ පොළට එද්දී ප්‍රවාහන කුලිය එකසිය විස්සක් වුවද මේ වනවිට එය දෙසීය විස්සක් වැනි ඉහළ අගයක් ගෙන ඇත. ඇතැම් එළවළු ගෝනියක් සඳහා එයට වැඩි මුදලක් අය කරගනිති. එයද අයකර ගනු ලබන්නේ ගොවීන්ගෙනි. එයද එළවළු මැනිං වෙළෙඳසලට අඩුවෙන් ලැබීමට හේතුවක් විය.
අද වනවිට රටපුරා පවතින ගෑස් හිඟය හේතුවෙන් බොහෝ ආහාර පාන වෙළෙඳසල් වසා දැමීමේ තත්ත්වයට පත්ව ඇත. මේ බොහෝ ආපන ශාලා, හෝටල් සඳහා එළවළු මිලදී ගනු ලබන්නේ මැනිං වෙළෙඳපළෙන් තොග මිලටය. නමුත් හෝටල් බොහොමයක් වසා දැමීම හේතුවෙන්ද එළවළු මිලදී ගැනීමට පැමිණෙන ආපනශාලා, හෝටල්වල පිරිස්ද අඩුවක් දක්නට ඇත.
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරෑ - සුමුදු හේවාපතිරණ