2022 මාර්තු 27 වන ඉරිදා

ගාන්ධි පවුලේ උදවිය කොංග්‍රස් පක්ෂය හැර දමති?

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 127

සුප්‍රකට ගාන්ධි පවුලේ උදවිය ඉන්දියා කොංග්‍රස් පක්ෂයේ තනතුරු හැර දමන්නට යන බවට වූ ආන්දෝලනාත්මක ආරංචිය ගිය සතියේ අන්තර් ජාතික දේශපාලන කරළිය කැළඹුවේය. 2019 ලෝක් සභා මැතිවරණයෙන් කොංග්‍රසය පරාජය වීමත් සමඟ රාහුල් ගාන්ධි පක්ෂ ප්‍රධානී ධූරයෙන් ඉල්ලා අස්විය. සෝනියා ගාන්ධි 2019 වසරේ සිට කොංග්‍රසයේ අන්තර්වාර ප්‍රධානියා ලෙස කටයුතු කරයි. එසේම පසුගිය දශක තුනක කාලය තුළ ගාන්ධි පවුලෙන් කිසිවෙක් අගමැතිවරයෙක් හෝ ඇමැතිවරයෙක් නොවීය. ඒ අතර වාරයේ පසුගියදා පැවැති ප්‍රාන්ත මැතිවරණ පහකින් පක්ෂය පරාජය වී තිබුණි.

මේ අන්දමේ නොයෙක් පසුබෑම් සහිත අසුබවාදී හේතු නිසා ගාන්ධිවරුන් නායකත්ව භූමිකාවෙන් ඉවත් වී වෙනත් අයකුට පක්ෂය මෙහෙයවීමට අවස්ථාවක් දිය යුතු* බවට මෑතක සිට කැරලිකාර කණ්ඩායමක් පක්ෂය තුළම හඬක් නංවන්නට ගෙන ඇති අතර පක්ෂයේ ප්‍රතිසංස්කරණ ඉල්ලා සෝනියා වෙත ලිපියක්ද යවා තිබුණි. මේ ලෙස විරෝධය පානා  G-23 ලෙස නම් ලද  කැරලිකාර කණ්ඩායම ගාන්ධි පවුලට එරෙහි සිය ප්‍රහාරය වේගවත් කර ඇති බැවින් කොංග්‍රසයේ පක්ෂපාතීන් සහ විරුද්ධවාදීන් අතර දැඩි විරෝධයක්ද ආතතියක්ද මතුවී තිබුණි.

මෙවන් වටපිටාවක් හමුවේ පසුගිය ඉරිදා කොංග්‍රස් කෘත්‍යාධිකාරී මණ්ඩලය (සී.ඩබ්ලිව්.සී.) රුස්වූ අවස්ථාවේ සෝනියා ගාන්ධි, රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි වද්‍රා  නායකත්වයෙන් ඉවත්වීමට ඉදිරිපත් වූහ. නමුත් ගාන්ධිවරු සහ කොංග්‍රසය යනු “ගසට පොත්ත සහ පොත්තට ගස මෙන්* එකට බැඳි ඇති පාරම්පරික සහ සාම්ප්‍රදායික සංයෝජන දෙකකි. මේ නිසාම ගාන්ධිවරුන් ඉවත්වීම සම්බන්ධව තිබූ මතය වැඩිකල් නොයාම දියවී ගිය ආකාරයක් පෙනුණි. ප්‍රාන්ත මැතිවරණ පහකින් පක්ෂය පරාජය වීම ගැන සාකච්ඡා කිරීමට කොන්ග්‍රස් කෘත්‍යාධිකාරී මණ්ඩලය (සීඩබ්ලිව්සී) පසුගිය ඉරිදා සවස 4 ට රුස්වන විට පවා, පක්ෂය තුළ විවිධ බලවත් හඬවල් ගාන්ධි පවුල කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය යළි යළිත් ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබුණි.

මෙහිදී කොංග්‍රස් ක්‍රියාකාරිකයෙකු වන තරුණ කොංග්‍රසයේ ජාතික සභාපති B.V. ශ්‍රීනාවාස් කොංග්‍රස් පක්ෂය සහ ගාන්ධි පවුලේ උරුමය මැනවින් අවධාරණය කළේය. 1984 දී එවකට අගමැතිනි ඉන්දිරා ගාන්ධි ඝාතනය කරන විට ඇය පැළඳ සිටි සාරියේ සහ 1991 දී රජිව් ගාන්ධි ඝාතනය කරන විට ඔහු පැළඳ සිටි ඇඳුම් සහ සපත්තුවල ඡායාරෑප ශ්‍රිනිවාස් ට්වීට් කළේය.

&රටේ ඒකාග්‍රතාවය වෙනුවෙන් සියල්ල කැපකළ (ගාන්ධි පවුලේ) මෙම උරුමය මකා දැමීමට බොහෝ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ නමුත් කිසි විටෙකත් සාර්ථක වූයේ නැත. ගාන්ධි පවුල යනු කොංග්‍රසය පමණක් නොව රටේ සියලුම කොටස් මැතිවරණ ජයග්‍රහණය  නමැති එකම මල් මාලාවක රඳවාගෙන සිටින, පොදු පැවැත්මයි! යනුවෙන් ශ්‍රීනිවාස් පැවසුවේය. මේ අන්දමේ අදහස් ඉස්මතු වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉරිදා සීඩබ්ලිව්සීහි සෝනියා ගාන්ධි රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි වද්‍රා සමඟ නායකත්වයෙන් ඉවත්වීමට ඉදිරිපත් වූ නමුත් සීඩබ්ලිව්සී විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී.

ගාන්ධිවරුන් හා පක්ෂය අතර ඇත්තේ අතිශය පුරාණ සබඳතාවකි. ඒ ආරම්භය ඉන්දියාවේ නිදහසේ ආදි පියා මහත්මා ගාන්ධිගේ සමය දක්වාම දිව්වේ ඉන්දිරාගේ පියා ජවහල්ලාල් නේරු මහත්මා ගාන්ධිගේ සමීපතමයකු විය. ඔවුන් ඉන්දියානු නිදහස වෙනුවෙන් හඬ නැංවූ ප්‍රධාන චරිත දෙකය. එසේම කොංග්‍රසය නිදහස් සටන් වේදිකාව සහ මහජන ආකර්ෂණය විය. මේ සුසංයෝගය නිදහස දිනාදුන් හෙයින් ජනතා හද තුළ නේරු සහ ගාන්ධි නාමය මෙන්ම ඒහා බැඳි කොංග්‍රසයේ නාමයද සදා වන්දනීය වූ  ගෞරව පෙරදැරිව තැන්පත්ව තිබේ. පසුව ඉන්දිරා රටේ පළමු අගමැතිවරිය ලෙස පැමිණීම සමඟ නව ගාන්ධි පරපුරේ සහ කොංග්‍රසයේ සබඳතාවට මඟ සැලසුනි.

ඉන්දිරාගේ නම කීර්තිමත් නිදහසේ පියාගේ නම හා සමඟ සම්බන්ධ වූයේ ඇයට මහත්මා සමඟ ඇති ඥාති සම්බන්ධයක් නිසා නොවේ. ඒ වෙනුවට, ඉන්දිරා, ඉන්දිරා ගාන්ධි බවට පත්වූයේ ගුජරාටි පාර්සි පරම්පරාවේ දේශපාලනඥයකු වූ ෆෙරෝස් ගාන්ධි   (මහත්මා සමඟ සම්බන්ධයක් නොතිබූ) සමඟ විවාහ වීමෙන් පසුවය. ඔහු නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වීමෙන් පසුව තම වාසගමේ අක්ෂර වින්‍යාසය ගාන්ඩි සිට ගාන්ධි ලෙස වෙනස් කළේ, එය මහත්මා ගාන්ධිගේ නාමයට අනුකූලව ගෙන ඒම සඳහාය. මේ වනවිට ඉන්දිරා සහ ෆෙරෝස් ආදරයෙන් බැඳී සිටියද, ඔවුන්ගේ විවාහ මංගල්‍යය ඉන්දියාවේ ස්වල්ප දෙනෙක් සහාය දුන් එකකි. නමේ වෙනස විවාහයට එරෙහි විරෝධයද අවම කිරීමට සමත් විය.

නිදහස සඳහා වූ අරගලයේ හවුල්කරුවකු වූවද ෆෙරෝස් පාර්සි ජාතිකයෙකු වූ අතර ඉන්දිරා හින්දු ජාතික විය‍. එකල එබඳු මිශ්‍ර විවාහ අසාමාන්‍ය විය. යෝජිත විවාහයක් නොකිරීමද සම්මතයෙන් බැහැර විය. ඇත්ත වශයෙන්ම, ඒ විවාහයට එරෙහිව මාධ්‍ය තුළින් මෙන්ම ප්‍රබල මහජන විරෝධයක්ද ඇති වූ අතර, මහත්මා ගාන්ධිට ප්‍රසිද්ධියේ සහාය ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට සිදුවිය‍. &ඔබේ කෝපය නැති කර ඉදිරියට එන විවාහයට ආශීර්වාද කරන ලෙස මම අපහාසාත්මක ලිපි ලියන අයට ආරාධනා කරමි.* යැයි ඒ ඉල්ලීමේ ඇතුළත් විය.

ඉන්දිරා සහ ෆෙරෝස් විවාහ වූයේ 1942 දීය. මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටියද, අවාසනාවකට මෙන්, විවාහය එතරම් සාර්ථක නොවීය. ඉන්දිරා  වැඩි කාලයක් ඇයගේ පියා 1947දී ඉන්දියාවේ අගමැති වූ පසු ඔහු සමඟ ගත කළ අතර, ෆෙරෝස්ට විවාහයෙන් පරිබාහිර සබඳතා තිබුණි. කෙසේ වුවද ඔහුගෙන් ලද ගාන්ධි නම ඇයට සහ පුතුන්ටත් ඉන්පසු පරම්පරාවලටත් දායාද විය. ඉපැරුණි නිදහසේ පියා ගාන්ධි ගැන මතකයද කැඳවමින් මේ නම කොංග්‍රසය හා අවියෝජනියව සබැඳි තිබේ. ඒ මතක අතර දුප්පතුන්ගේ නායිකාව සහ ඉන්දියාවේ යකඩ ගැහැණිය ලෙස මහජන විශ්වාසය සහ ආදරය දිනාගත් ඉන්දිරා ගාන්ධිගේ නායකත්වයද හේතුවක් වී ඇත.

ඉන්දියානු කොංග්‍රසය ඉංදියාවේ ආදිතම පක්ෂ දෙකින් ප්‍රධාන එකකි. 1885 දී ආරම්භ කරන ලද, එය ආසියාවේ සහ අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ මතු වූ පළමු නූතන ජාතිකවාදී ව්‍යාපාරය විය. 19 වැනි සියවසේ අග භාගයේ සිට, විශේෂයෙන්ම 1920 න් පසු මහත්මා ගාන්ධිගේ නායකත්වය යටතේ, කොංග්‍රසය ප්‍රධානියා බවට පත්විය. ඉන්දීය නිදහස් ව්‍යාපාරයේ නායකයා. කොංග්‍රසය ඉන්දියාවට  එක්සත් රාජධානියෙන් නිදහස ලබා ගැනීමට නායකත්වය දුන් අතර, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අනෙකුත් යටත් විජිත විරෝධී ජාතිකවාදී ව්‍යාපාරවලට බලවත් ලෙස බලපෑම් කළේය.

එහි ප්‍රධාන ප්‍රතිවාදියා වන භාරතීය ජනතා පක්ෂය සමඟ එය තවමත් ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකකි. ඉන්දීය නිදහසෙන් පසු, කොංග්‍රසය, ඉදිරි වසර 20 තුළ ඉන්දීය දේශපාලනයේ තනි ආධිපත්‍යය දැරෑ අතර, නේරු යටතේ සියල්ලන්ටම පොදු පක්ෂයක් ලෙස ඉස්මතු විය. මෙම කාලය තුළ කොංග්‍රසය සාමාන්‍යයෙන් සමාජවාදී ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි අතර ලෞකික රාජ්‍යයක් ස්ථාපිත කළේය. නේරුගේ අභාවයෙන් සහ ලාල් බහදූර් ශාස්ත්‍රිගේ කෙටි ධුර කාලයෙන් පසුව ඉන්දිරා ගාන්ධි පක්ෂයේ නායකත්වයට පත් විය. 2021 වනවිට, නිදහසින් පසු පැවැති මහා මැතිවරණවලදී, එය අවස්ථා හතකදී සම්පූර්ණ බහුතරයක් දිනාගෙන ඇති අතර, වසර 54 කට වැඩි කාලයක් මධ්‍යම රජයට නායකත්වය දෙමින් තවත් තුන් වතාවක් පාලක සභාගයට නායකත්වය දී ඇත. කොංග්‍රස් අගමැතිවරුන් හය දෙනකු සිට ඇත, ඉන් ප්‍රසිද්ධ පළමුවැන්නා ජවහර්ලාල් නේරු (1947-1964) වන අතර මෑතකාලීනව  මන්මෝහන් සිං (2004-2014)  සහ රජීව් ගාන්ධිය.

මේ තරම් පැරුණි ඉතිහාසයක් ඇති කොංග්‍රසය තුළ මහත්මා ගාන්ධි ගෙන් පසු නේරු ප්‍රධාන චරිතය සහ ගාමක බලය වූ අතර ඉන්පසු රටේ බලවත්ම ගැහැණිය ලෙස ඉදිරියට ආවේ ඔහුගේ දියණිය ඉන්දිරා  ගාන්ධිය. ඇය ඉන්දියාවට ආසියාවට මෙන්ම ලෝකයටම අමුතු චරිතයක් සහ පිළිගත් භුමිකාවක් වූ අතර ඒ නිසාම ගාන්ධිවරු හා කොංග්‍රසය අතර නොබිඳෙන සම්බන්ධයක් ගොඩ නැඟි තිබුණි. රජීව් මේ ගාමක බලයේ ප්‍රබල වෙනසකට මුල පිරුවේ විජාතික සෝනියා කොංග්‍රසයේ දැඩි ජාතිකවාදී සංස්කෘතිය හෙල්ලුම් කවමිනි. ඇයට කොංග්‍රසයේ රුඳෙන්නට තිබූ එකම අයිතිය ලැබුණේ ගාන්ධි නමැති වාසගමට පින්සිදු වන්නටය. සෝනියා මෙන්ම රාහුල් සහ ප්‍රියංකා යුවලද කොංග්‍රසයට ගසට පොත්ත මෙන් බැඳී ඇති ජනතා ආකර්ෂණ සහිත  ප්‍රතිරෑපයන්ය. ජනතාව ගාන්ධිවරුන් හා කොංග්‍රසය අතර දකින මේ සබඳතාව ඉන්දියාව වැනි සාම්ප්‍රදාය ගරු කරන සමාජයකදි කිසිසේත්ම බිඳහෙළීමට නොහැකි බැඳිමකි. මේ නිසාම ගාන්ධිවරුන් නැති කොංග්‍රසයකට කිසිදා දිගු පැවැත්මක් නැත. එහි ජනාකර්ෂණ බලය කේන්ද්‍ර වී ඇත්තේ සැමවිටම ගාන්ධිවරුන් වටාය. ඒ ආකර්ෂණය බිඳ දමන්නට කිසිදු කොංග්‍රස් බැතිමතකු සිහිනෙන්වත් සිතන්නේ නැත. මේ නිසාම සෝනියා හෝ රාහුල් හෝ වෙනත් ගාන්ධිවරයෙක් කොංග්‍රසයෙන් ඉවත් වීම යනු ප්‍රධාන පෙළේ පුවතක් වුවද ඒ හා සමඟම කිසිදා සැබෑ නොවන පුවතකි. ඒ බව අතීතයේ හොඳහැටි සනාථ වී තිබේ. මෙවරද ඔවුන් කොංග්‍රසය හැරයාමේ ආන්දෝලනය දේශපාලන වේදිකාව හොල්ලා දැඩි  ජන අවධානය දිනාගැනීමට සමත් වූ ප්‍රකම්පනය ඇතිකිරීමට සමත්ව තිබේ.

 සුගත් පී‍. කුලතුංගආරච්චි

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05