2022 මාර්තු 27 වන ඉරිදා

අන්න එයා දැන් චිත්‍රපට නළුවෙක් වෙලා

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 60

ඔව්. තක්කි ඒ මොහොතෙත් මගෙන් මග ඇරලා ගියා. මං බලාගෙන හිටියා මගේ අතේ තිබුණු කුඩා කරාබු දෙක රැගත් මංජුසාව. දෝංකාර දෙන්න ගත්තා තක්කි මේ දැන් කියපු වචන.

එයා ගැන හොයන්න කලින් උඹ උඹ කවුද කියලා හොයාගෙන ඉඳපං අදාරතී.

මං නැවතත් ආවා මගේ කාමරේට. නැවත නැවතත් නිල් ඇස් කණ්නාඩිකාරයාගේ විහිලුවට රැවටීම සහ එයාගේ ඔලොක්කුවට පත්වීම දරාගත නොහැකි වුණා. ඒ අස්සෙන් එයාගේ කැරොලිනා... එයාවත් මතක් වුණා. මං එකතැනක ඉඳගෙන ආයෙමත් හිතුවා... ඇත්තටම ඇයි මට නිල් ඇස් කණ්නාඩිකාරයා ගැන මේ තරම් අමාරුවක්? ඒ එක්කම ඇයි ලුසේන්ට මං ගැන එච්චර අමාරුවක්?

දවස් දින සති මාස විදියට ගෙවී යමින් පැවතුණා. ඒ එක්කම ඒ හැමදේකම තිබුණේ ඕලාරික බවක්. අවන්හල පාළුවෙලා ගියා. සමහර විට තක්කි හිතාමතාම අවන්හල කරන එකෙන් මග අරිනවද කියලත් හිතුණා. අහපු හැම වෙලාවකම කිව්වා...
මට දැන් වයසයි... ඔව්වා එක්ක නැහෙන්න අමාරුයි.

මගේ වැටකෙයියා කොළ වියමන තරමකට ලාබ දුන්නත් ඒක පවුලක් නඩත්තු කිරීම සඳහා සෑහුණේ නෑ... රෝමියෝ හුඟක් වෙහෙසුණා එයාගේ අලුත් නාට්‍ය ජනප්‍රිය කරන්නත් ඒක රටපුරා අරන් යන්නත්... ඒත් එයාගේ හීනේ එක තැනම ලොප් වුණා වගේ. මේ නගරයේම කිසියම් තැනක ඒක පෙන්වනවා ඇරෙන්න වෙනයම් තැනකට අරන් යන්න බැරි වුණා. කවුරු කොහොම ප්‍රධාන නළුවා වෙන්න හැදුවත් ඒ කිසිම කෙනෙක්ට ලුසේන්ගේ කඩවසම් බව ඉක්මවා යන්න බැරිවුණා. ලුසේන් නිතරගයෙන්ම නාට්‍යයේ ප්‍රධාන නළුවා වුණා. එයා ලස්සනට ගැයුවා. ලස්සනට රුඟුවා... මිනිස්සු වශී වුණා එයාට. එක දවසකදී මිනර්ලිනී එළියට ගිහින් ගෙදර ආවේ සතුටක්ද දුකක්ද වගේ එකක් හිතේ රඳවගෙන. එයා රෝමියෝ එක්ක මහා කලබලයෙන් කියාගෙන ගියා.

රෝමියෝ... ඔයාට ලුසේන් කතා කළේ නැතිද? ආ... මොකුත්ම කිව්වේ නැතිද? ඔයාට ආරංචි නැතිද අලුත්ම දේ එයා ගැන? ඒයි රෝමියෝ ඔන්න එයාට පින පලදීලා..

එදා රෑ අපේ ගෙදර තිබුණා කුඩා සාදයක්. ඒක සූදානම් කළේ ලුසේන් වෙනුවෙන් බව මිනර්ලිනී විතරක් නෙවෙයි තක්කිත් කිව්වා...

ලුසේන් වාසනාවන්තයි. ඇත්තටම එයාගේ හීනෙට එයාට යන්න ලැබුණා. බොහොම දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් එයාට කතා කරලා එයාගේ ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන නළුවට.... ඒ කියන්නේ එයා ඒකේ රඟපාන්නේ දැනට ඉන්න ජනප්‍රියම නිළිය එක්ක. ඒ නිළියලු ඒ චිත්‍රපටයේ ලුසේන්ට පෙම් කරන පෙම්වතී... ලුසේන් හිටියා බොහොම සතුටින්... කොහොම වුණත් ළමයි දෙතුන් දෙනෙකුගේ අම්මා වෙලා හිටියට මිනර්ලිනීත් ගැලපුනා දස්කොන් ප්‍රමිලා නාට්ටියේ දස්කොන්ගේ පෙම්වතී ප්‍රමිලාට... ඒ හින්දමද මන්දා මිනර්ලිනී ලුසේන්ට ළං වෙලා අපටත් ඇහෙන්න එක්ක කිව්වා....

දැන් ඉතින් මටත් බැරියැ ලුසේන්ගේ පිහිටෙන් චිත්‍රපටියකට පැනගන්න.

එදා ඔක්කොම සතුටින් හිනා වුණත් මං දැක්කා අපේ අහිංසක රෝමියෝගේ ඇස්වලට කඳුළු පිරෙන හැටි. එයා ආලෝකයේ නොඉඳ... අඳුරක් හොයාගෙන මිනර්වා කොටේජ් එකේ මිදුලේ මල් පඳුරකට මුවාවෙලා හිඳගෙන කල්පනා කරන හැටි...

ඔබ දැකුමෙන් මා සිත ලැබුවේ

ඇති ඉහළම සතුටයි මෙලොවේ

සඳ කිඳුරියේ ඔබේ පිය සෙවණේ

මට සොඳුරුය පින්බර ලඳුනේ....

මිනර්වා කොටේජ් උඩ තට්ටුවේ මගේ කාමරේට ආවට පස්සේ මටත් ඇහුණා ලුසේන්ගේ ඒ ඉමිහිරි ගී නාදයෙන් සාදය නිමාවෙන හැටි. ඒත් ඊට පස්සේ අපේ ජීවිත තවත් අලුත් කතාවකට මුල පුරයි කියන එක. මට එහෙම විශේෂයක් වෙලා දැනුණේ නෑ.
ඉර පායාගෙන ආවා බොහොම අපූරුවට කළපුව උඩටත්. අලුත් එන්ජින් රුගත් බෙහොමයක් බෝට්ටු... කළපුවෙන් මාවත අරඹලා මෝය ළඟින් නිකුත් වුණා මහ මුහුද වෙතට... ඇත්තටම මිනර්වා කොටේජ් එකේ උඩ වහළයට යන පැසේජ් එකේ හිටගත්තාම ඒ සුන්දර දසුන හරි අපූරුවට පැහැදිලිව පෙනුණා. මං බලා හිටියා ඒ දිහා. ඇත්තටම තක්කිගේ අවන්හල පාළුවට ගියාට පස්සේ මං හුදෙකලා වුණා. දැනෙන පාළුව මං නැති කරගත්තේ.... මිනර්වා කොටේජ් එකේ උඩ පැසේජ් එකට පෙනුණු ඒ දසුන් නරඹලා.

අදාරතී....

මිනර්ලිනී කවදාවත් නැතිව කලබලයෙන් හිටියා. මං දැක්කා ඊයේ රෙදි වැල් පිරෙන්නම එයා එයාගේ හුඟාක් රෙදි සෝදලා වියැලෙන්න දාලා තියෙන හැටි. මං තක්කිට ළං වෙලා ඇහුවා...

මේ මොකද මේ එකපාරටම?

එයාට චිත්‍රපටියක වැඩ හම්බවුණාලු... යන්නයි සූදානම.

මේ ඔක්කොම රෙදි අරන්...?

ඔව්...

මට තේරුණේ නෑ ආච්චි.

එව්වයේ වැඩ පටන් ගත්තාම එව්වා ළඟින්ම තියෙන තැනක ඉන්න ඕනලු. කතා කරපු සැණින් යන්න.

ඒ කියන්නේ එයා ඒවා කෙරෙන තැනකට ළඟ තැනක පදිංචියටම යනවා

එහෙම තමයි කියන්නේ...

එතකොට රෝමියෝ. ප්‍රොන්තො. සාශා?

සාශාව අරන් යනවලු... ප්‍රොන්තෝ දැන් ලොකුයිනෙ. තමන්ගෙ දෙයක් කරගන්න පුළුවන් කියන්නේ.

එතකොට රෝමියෝ?

මිනර්ලිනීට කවදටත් රෝමියෝ ගැන වගක් තිබුණේ නෑ. එයත් රෝමියෝට හේත්තු වුණේ... දරුවා හදාගන්නයි නිළියක් වෙන්නයි තියෙන උවමනාවට?

මොකක්?

ආ... නෑ... මේ මගේ ඔළුවේ තෝන්තුවාවට කියන එව්වා. උඹ ඒ හැටි ගණන් ගන්න ඕන නෑ.

ආච්චි මේ... ඕං ආච්චි මාව ආයිත් තරහ ගස්සනවා. මොකක්ද ඔය තෝන්තුවාව කතාව? හැමදාමත් මොකක් හරි කියලා ඔළුවේ තෝන්තුවාවක් ගැන කියලා ඒවා මග අරිනවා. අද නම් මට දැනගන්නම ඕන.

මොනවද?

මොනවද කියල අහන්නේ... ඔයා ඔය කියන කතාවල තේරුම?

එහෙම කියපුවාම ආච්චි වෙනද වගේ මාව මගඇරලා යන්න හැදුවේ නෑ. එයා ටිකක් කල්පනා කළා... මං දැක්කා මිනර්ලිනී... අර රෙදි වැලවල්වල මෙතෙක් වෙලා එහෙට මෙහෙට පැද්දි පැද්දි වේලුනු රෙදි එකින් එක අරන් නවමින් අස් කරනවා...
එයා ඉන්නේ හරි සතුටින් නේද ආච්චි...?

ඔව්. අපිව දාලා අපෙන් ගැලවිලා යන එක තරම් එයාට සතුටක් නෑ...

ඔන්න මගේ හිතට ආවා... පුංචි සතුටක්. ආච්චි වෙනදට වඩා මං අහන දේකට පිළිතුරු සැපයීමේ සන්සුන් කමකින් ඉන්නා බවක්. ඒ නිසාම මං ළං වුණා ආච්චිට තවත්.

ආච්චි?

හ්ම්...

මොකක්ද අර ආච්චි කියපු කතාව?

මොකක්ද?

මිනර්ලිනී රෝමියෝට ළං වුණේ දරුවා හදාගන්නයි නිළියක් වෙන්නයි කියන කතාව?

ඒ පාර ආච්චි හුඟක් සන්සුන් වුණා. එයත් බලාන හිටියා ඈත ආකාසේ දිහා.

ආච්චි?

ඔන්න ඔය පරණ කතා අවුස්සගන්නේ නැතිව වැඩක් බලාගනින් අදාරතී... කවුරු රෙදි අකුලං කොහේ ගියත් උඹට මං ඉන්නවනේ?

ඔව්. ඒකම තමයි මට ආච්චිගෙන් දැනගන්න ඕන.... ඇයි මිනර්ලිනීට සාශා ගැන තියෙන අමාරුව මමත් ප්‍රොන්තොත් ගැන නැත්තේ... එතකොට මිනර්ලිනීගේ දරුවා කිව්වේ සාශා විතරද

ආච්චි බොහොම අමාරුවෙන් උනත් එයාට පුළුවන් හැටියට දඩ බඩ ගාලා නැගිට්ටා. මං දිහා තරමක කරුණාවකින් බලලා කිව්වා...

අද මේ ගෙදර අලුත්වැඩියා කරන්න ගන්නවා... ඒකට වැලි ගඩොල් සිමෙන්ති හෙම ගේනවා... පොඩ්ඩක් ඔය එළියට වෙලා ඉඳලා ඒ එන අයට එව්වා බාන්න තැන් පෙන්වපං.

ආච්චි එහෙම කියලා මං ගාවින් ඉවත් වෙන්න හැදුවා. මං අල්ලගත්තා එයාගේ අතකින්.

ආච්චි... කොහෙද යන්නේ... එහෙම යන්න බෑ... මේ මොනවද වෙන්නේ කියලා මට තේරෙන්නේ නෑ. අනික මිනර්වා කොටේජ් එක අලුත්වැඩියා කරන්න කාටද උවමනාවක් තියෙන්නේ... කෝ... කා ළඟට ඒකට සල්ලි තියෙන්නේ?

ඇයි සල්ලි නැත්තේ... උඹේ උපන්දිනේට ලැබුණේ ලොකු මුදල් තෑග්ගක්. ඒක ලැබුණේ මේ ගෙදර අලුත්වැඩියා කරන්න තමයි. ඕං අද ඒකේ වැඩ පටන් ගන්නවා කිව්වා...

කවුද?

ඉංජිනේරු මහත්තයා...

එයාට මොකක්ද තියෙන අයිතිය අපි ඉන්න අපේ ගෙදර හදන්න.

ඒක එයා ආපු වෙලාවක එයාගෙන් අහගනින්.

නෑ මං ඒක රෝමියෝගෙන්ම අහල දැන ගන්නම්. මේක මාර වැඩක්නේ. එක එක දවසට හොල්මන් වගේ එක එක සිද්ධි වෙනවා. අනික මේ දිගින්වත් හරහින්වත් නැති මිනිස්සු අපේ වැඩවලට ඇඟිලි ගහනවා... ගෙදර මිනිස්සු එකපාරම පදිංචි වෙනස් කරනවා. ඒ හැම වෙලාවකම රෝමියෝ මග අරිනවා...

මගේ අහිංසකයා රෝමියෝට නම් උඹ මොකුත් කියන්න එපා අදාරතී... මගේ රෝමියෝ කියන්නේ අනුන් වෙනුවෙන්ම උදව් කරන්න උපන් මිනිහෙක්. අද උඹත් ඔය විදියට ලස්සනට ජීවත් වෙන්නේ රෝමියෝ නිසා...

ඒක මොකද මං නොදන්නේ... ඒකනේ මං මිනර්ලිනීටත් වඩා රෝමියෝට ආදරේ.... දන්නවද මං තාත්තට හුඟාක් ආදරේ කරන දුවක්...

ආච්චි මං කිව්ව ඒ වචනෙට එක පාරටම මගේ දිහාට හැරුණා.... මං දැක්කා එයාගේ ඇස්වලට සැණින් පිරෙන කඳුළුත්... ඒ කඳුළු අස්සෙන් එයා කිව්වා....

ඔව්. මේ ලෝකේ කිසිම මිනිහෙක් නොකරන කැප කිරීමක් තමයි එයා උඹ වෙනුවෙන් කළේ අදාරතී...