2022 මාර්තු 27 වන ඉරිදා

ජන ජීවිත මිරිකන කළුකඩ ජාවාරම්

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 60

මේ දිනවල රටේ ආර්ථික අවපාතය නිසා එක්තරා අන්දමක කලබලකාරී තත්ත්වයකට රටම තල්ලු වී තිබේ. මේ කලබලකාරීත්වය නිසා දැඩි සේ පීඩා විඳින්නේ රටේ සාමාන්‍ය මහජනතාවයි. පවතින ඉන්ධන හිඟය සහ ගෑස් හිඟය නිර්මාණය වීමට රටේ ආර්ථික අවපාතය අඩක් හේතු වූයේ නම් ඉතිරි අඩට හේතු වූයේ කළුකඩ මුදලාලිලා සහ ජාවාරම්කරුවෝය. ඕනෑම අර්බුදයක් තම ආශීර්වාදයක් කරගැනීමට හපනුන් වන ජාවාරාම්කාර කළුකඩ මුදලාලිලා සහ මාෆියාකරුවෝ මේ ආර්ථික අවපාතයෙන් පීඩා විඳින අහිංසක ජනයා තව තවත් තලාපෙලා ඔවුන්ගේ බඩ සරිකර ගැනීමට තරම් ආත්මාර්ථකාමී වී සිටිති. ඈත පිටිසර ගම්වල, කුඩා පරිමාණයෙන්ද නාගරිකව මහා පරිමාණයෙන්ද මෙම බඩගෝස්තරවාදීන්ගේ මාෆියා ඉතා සූක්ෂම අන්දමින් ක්‍රියාත්මකය. සෑම ගමකම සිටින මෙම ජාවාරම්කරුවෝ සමාජයටම බරක්ය. එහෙත් අවාසනාවකට ජාවාරම්කරුවෝ ඉදිරියේ නීතිය නම්‍යශීලී වීම අභාග්‍යයකි.

ඉකුත් සති දෙකේ ජාතික අවශ්‍යතාවය සපිරීමට ප්‍රමාණවත් තෙල් සහ ගෑස් රටට ගෙන්වා ගැනීමේ ප්‍රමාදයක් සිදුවිණි. එම ප්‍රමාදය නිසා ඉන්ධන සහ ගෑස් හිඟවූයේ ඉන්ධන පිරවුම්හල් සහ ගෑස් අලෙවි සැල් ඉදිරියේ දීර්ඝ පෝලිම් නිර්මාණය කිරීමෙන් පමණක් නොව ගෑස් සහ ඉන්ධන තිප්පොළක්ද නිර්මාණය කරමිනි. ඉදිරියේ වැඩිවීමට නියමිත ගෑස් සහ ඉන්ධන ඉල්ලුම පිළිබඳ වටහාගත් ජාවාරම්කරුවෝ ඉන්ධන සහ ගෑස් රුස්කරමින් ඒවා වැඩි මිලට විකිණීම සඟවා තබාගත් සිදුවීම් සෑම ගමකින්ම අසන්නට ලැබුණි. මෙම ජාවාරම්කරුවෝ කලකට පෙර කොරෝනා සමයේ අත්‍යවශ්‍ය ආහාර පාන, එළවළු ආදියද මිල දී ගෙන සඟවා තබා වැඩිමිලට විකිණූ පිරිස්ම බව මේ ලිපිය සකස් කිරීමට කළ කරුණු විමසීම්වලින් දැනගත හැකි විය.

මාතර අකුරුස්ස ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු දේශයට කියා සිටියේ “ඉන්ධන හල්වලින් බූලි හත අටක් මිල දී ගෙන ගම්වල වැඩි මිලට විකුණන්නේ ගමේ කසිප්පු පෙරමින් සිටි කල්ලියක් බවයි. ඔවුන් සතුව මුදල් හදල් ඕනෑතරම් තිබෙන නිසා කලින් කල විවිධ රුකියා කරන බවත් කොරෝනා දිනවල සුරාසැල් වැසීමට නියෝග කොට තිබිය දී තැබෑරුම් හල්වල පිටුපස දොරින් තම ලොරි රථවලට පෙට්ටි පිටින් පටවාගත් මත්පැන් බෝතල් නිවෙස්වල තබාගෙන වැඩිමිලට විකිණුවේද මොවුන්ය. ඉන්ධන අවශ්‍යතාවයට නගරයට ගොස් පෝලිමේ සිටීමට හෝ ඉන්ධන නොමැතිව හිස් අතින් ආපසු හැරී ඒමට සිදුවීමේ අවදානමක්ද තිබෙන නිසා ජාවාරම්කරුවෝ පෙට්‍රල් හා ඩීසල් විකිණුවද ඔවුන්ගෙන්ම ඉන්ධන මිල දී ගැනීමට ගම්මුන් පෙළඹී සිටින බවද එම තරුණයා වැඩිදුරටත් කියා සිටියේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්ධන ජාවාරම්කරුවන් නිසා ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ කළ විමසුමේදී මැදවච්චිය ප්‍රදේශයේ සිල්ලර කඩයක් පවත්වාගෙන යන තැනැත්තෙකු මෙලෙස මැසිවිලි නැගීය. “ඉස්සර නම් හැමදාම අපේ කඩවල පෙට්‍රල් තිබුණා. ටවුමට ගිහිල්ලා බූලියකට පෙට්‍රල් ගෙනත් බෝතලේකින් රුපියල් 15ක් 20ක් ලාබෙ තියාගෙන විකුණනවා. මේ පැත්තෙ ගොඩාක් කට්ටිය පෙට්‍රල් ගන්න ටවුමට යන්නෙ නෑ. අපෙන් තමයි ගන්නේ. ඒ වුණාට දැන් පෙට්‍රල් ගන්න ෂෙඩ් එකට ගියාට අපිට ළං වෙන්නත් බෑ. අපේ බූලිවලට තෙල් ගහන්න බෑ කියනවා. ඒ වුණාට පෙළක් අය ලොරි පිටින් බූලිවලට පුරවං යනවා. එයාලා ගෙනියලා ලීටරේකින් රුපියල් 50, 60 තියාගෙන විකුණනවා. අනික අච්චර අව්වේ, පෝලිමේ ඉඳලා, පොරකාලා බූලියක් ගෙනත් රුපියල් රුපියල් 15ක් 20ක් තියාගෙන විකුණලා තේරුමක් නෑනේ. ඒ හින්දා අපි දැන් පෙට්‍රල් ගේන්නෙ නෑ.”

වෙළඳපළේ තිබෙන ගෑස් හිඟයත් සමඟ බූමිතෙල් ලිප් භාවිතය වැඩිවීම නිසා නාගරික ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු භූමිතෙල් පෝලිම්ද දැකිය හැකිය. දෙමටගොඩ ඔරුගොඩවත්ත හන්දියේ ඉන්ධන පිරවුම් හල ඉදිරියේ පාන්දර සිට රාත්‍රි දහය ඉක්මවන තුරුත් දීර්ඝ භූමිතෙල් පෝලිම් දැකිය හැකිය. මේ තත්ත්වය තම වාසියට හරවාගත් කළුකඩ මුදලාලිලා කිසියම් හෝ ක්‍රමයකින් භූමිතෙල් ගෙනවිත් බෝතලයක් රුපියල් 150කට පමණ විකුණති. කොලොන්නාව සිංහපුර ප්‍රදේශයෙන් සහ අලුත්කඩේ ප්‍රදේශයේ සෑම වත්තකින් එලෙස රුපියල් 150කට භූමිතෙල් මිල දී ගත ස්ථාන දැකිය හැකිය. එහෙත් ඔවුන් එක් අයෙකුට නිකුත් කරන භූමිතෙල් උපරිම ප්‍රමාණය බෝතලයක් පමණි.

පෝලිම්වල නොඉඳ ජාවාරම්කරුවෙක්ගෙන් වැඩිමිලට ඉන්ධන මිල දී ගත් අයෙකුට එය ජාවාරමක් නොවේ යැයි සිතුණද වෙළදපොළ ආචාර ධර්ම අනුව එය ඉතාමත් නින්දිත ක්‍රියාවක් පමණක් නොව නීතියෙන්ද වරදකි. ඔවුන් උපයන්නේ අහිංසක මිනිස්සුන්ගේ කුසගින්න තව තවත් ඇවිලෙන්න ඉන්ධන සපයමිනි. එපමණක් නොව ජාවාරම්කරුවන්ගේ මාෆියාවන්ට ඇතැම් ප්‍රදේශවල පොලීසියේද සහාය ලැබී තිබීම කනගාටුවට කරුණකි. නූතන නව ලිබරල්වාදී ආර්ථිකය තුළ ලාභය පමණක් ඒකායන අරමුණු ඇතිව උන්මාදයෙන් වෙළඳාමේ යෙදෙන ව්‍යාපාරිකයන්ට සදාචාරයක් පිළිබඳ තැකීමක් නැත. අධික ලාභය පමණක් අරමුණු කර සිටින ඔවුහු අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ පවා සඟවා තබති. කෘත්‍රිමව බඩුමිල ඉහළ යාමක් හෝ භාණ්ඩ හිඟයක් ඇතිකර වැඩි මිලකට ඒවා විකිණීමට ඔවුහු කටයුතු කරති. එනම් ඔවුන් ඒ උපයන්නේ නීත්‍යනුකූල නොවන ක්‍රමයටය. ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය මානුෂ විරෝධීය, සදාචාර විරෝධීය.

මාධ්‍ය වාර්තා මඟින් අනාවරණය කර තිබුණේ බදුල්ල, හැටන්, තලවකැලේ ආදී ප්‍රදේශවලට පැමිණෙන ගෑස් ලොරි අලෙවි නියෝජිත සැල්වලට ඒවා ලබා නොදී අතරමඟ වෙනත් රථවලට පටවන බවයි. අතරමඟ ලබාගත් එම ගෑස් පාරිභෝගිකයා අතට යන්නේ එහි මිල මෙන් දෙගුණයකටය. ගෑස් බෙදාහරින්නන් පමණක් නොව ගෑස් අලෙවි නියෝජිතයන් සම්බන්ධයෙන් එල්ල වන්නේ චෝදනාය. ඔවුන්ද ගෑස් සඟවා තබා වැඩිමිලට විකුණන බවට පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී තිබේ. ඉකුත් සඳුදා දින කෑගල්ල ප්‍රදේශයේ ගෑස් අලෙවි සැලක් හිමි අමාත්‍යවරයෙකුට එරෙහිව කොළඹ නුවර මාර්ගය හරස් කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වූයේද සඟවා තබා ඇති ගෑස් ලබාදෙන ලෙස කෑ ගසමිනි.

සෑම ප්‍රදේශයකම දිගු ගෑස් පෝලිම් දක්නට ලැබෙන නිසා කුලියට පෝලිමේ සිටීමේ කණ්ඩායමක්ද කොළඹ සිටින බව වාර්තා වේ. එක් ගෑස් සිලින්ඩරයකට පෝලිමේ ඉඳීම සඳහා කාන්තාවක් රුපියල් 500ක මුදලක් අයකරගත් බවත් ඇය හරහා තම නිවසට අවශ්‍ය ගෑස් සිලින්ඩරය ලබාගත හැකි වූ බවත් කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පදිංචිකාර මොහොමඩ් අරෑස් කියා සිටියේය. කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන නිසංසලා මහත්මිය කීවේ ගෑස් පෝලිමේදී නිල් පැහැති ගෑස් සිලින්ඩරයට නිල්පැහැ ගන්වන ලද කහ පැහැති සිලින්ඩර හොර රහසේ මාරු කරන ජාවාරමක්ද ඇති බවයි. එමෙන්ම ඇගේ නිවසට අවශ්‍ය ගෑස් සිලින්ඩරය කොට්ටාව ප්‍රදේශය පුරා සෙව්වද ගෑස් නොලැබුණු නිසා මොරටුව ප්‍රදේශයේ වැඩිමිලට විකුණනු ලබන තිප්පලකින් මිලදී ගැනීමට සිදු වී ඇත.

රටපුරාම ක්‍රියාත්මක ගෑස් සහ ඉන්ධන ජාවාරම නිසා ජනයා තව තවත් පීඩාවට ලක්වෙති. ලබන සොච්චම් පඩියම කළුකඩ මුදලාලිලාට ගෙවීමට සාමාන්‍ය මට්ටමේ රස්සාවක් කරන්නන්ට සිදු වී ඇත. කෑම බීම සහ රුකියා ස්ථානයට යාම ඊම හැර අන් කිසිදු දෙයක් කිරීමට නොහැකි තත්වයේ අඩියටම ඔවුන්ගේ සාක්කු හිඳී ඇත. නීතිය රුකිය යුතු පිරිස්ද මේ ජාවාරම්වලට හවුල් වීම තත්ත්වයේ බරපතළකම වැඩිකර ඇත. කුසගිනි දරාගත නොහැකිව සොරකම ඇතුළු අපරාධ සමාජ තුළ සාමාන්‍යකරණය වෙමින් තිබෙන මෙම වකවානුවේ ජාවාරම්කරුවන්, මාෆියාකරුවන් පාලනය නොකරන්නේ ආරක්ෂක අංශයක් කුමකටද! මේසා ආර්ථික පීඩාව මධ්‍යයේ වුවද ජනයා බදු ගෙවමින් ආරක්ෂක අංශයක් පවත්වාගෙන යාමෙහි ඵලක් නැත.

සටහන: සකීෆ් සාම්