2022 මාර්තු 27 වන ඉරිදා

බලාපොරොත්තු රොද බැඳගත් සර්ව පාක්ෂික සමුළුව

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 61

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සාකච්ඡා කිරීම සහ අදහස් ලබාගැනීම සඳහා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව ඉකුත් බදාදා ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවූ මෙම සමුළුව සඳහා පක්ෂ නායකයෝ රුසක් එක්වූහ. දේශපාලන කරළියේ ප්‍රමුඛ අවධානයක් දිනාගත් මෙම සමුළුව පුවත් රුසක් නිර්මාණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම පරිදි කැඳවූ මෙම සර්ව පාක්ෂික සමුළුවට පක්ෂ රුසක් එක් වී තිබිණි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතාලෙයි පුලිකල්, කඳුරට ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, අපේ ජනබල පක්ෂය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි යන පක්ෂ මෙම සමුළුව නියෝජනය කළහ.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ද්විත්වය වන සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය මෙම සමුළුව වර්ජනය කළෝය. වතු කම්කරු කොංග්‍රසයද මෙම සමුළුවට සම්බන්ධ නොවුණි. එසේම පසුගියදා අමාත්‍ය ධූරවලින් ඉවත් කරන ලද උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය සහ විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණද සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළ අතර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සමුළුවද වර්ජනය කළේය. ඊට අමතරව සහභාගීත්වය තහවුරු කළ තිබුණු අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය ද අවසානයේ මෙම සමුළුව වර්ජන කර තිබුණි. කෙසේවෙතත් පක්ෂ එකොළහ කණ්ඩායම නියෝජනය කරනු ලබන අතුරලියේ රතන හිමි සහ මහාචාර්ය තිස්ස විතාරණ සර්ව පාක්ෂික සමුළුව නියෝජනය කළෝය.

සමුළුව ආරම්භයේදීම අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සර්ව පාක්ෂික සමුළුව අවංක ප්‍රයත්නයක් බව සඳහන් කළේය. කිසිදු දේශපාලන වාසි අපේක්ෂාවක් හෝ පටු අරමුණක් ඒ තුළ නොවන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. රජය කළ ආරාධනය ජාතික අවශ්‍යතාවයක් ලෙස හඳුනාගනිමින් සහභාගී වූ සියලුම පක්ෂවලට ස්තූතිය පිරිනැමූ ජනපති සහභාගී නොවූ සෙසු පක්ෂවලට සිය ස්ථාවරය සර්ව පාක්ෂික සමුළුව හමුවේ ප්‍රකාශ කිරීමට අවස්ථාව ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය. ඉදිරිපත් කළ සියලු අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඵලදායී යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පිහිටුවීමට හැකි බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.

මෙහිදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වත්මන් ආර්ථික තත්ත්වය සමුළුවට ඉදිරිපත් කළේය. වත්මන් ඩොලරයට අර්බුදයට පැවැති යහපාලනය රජය සමයේ ලබාගත් තීන්දු බලපෑ බව ඔහුගේ පැහැදිලි කිරීමේදී කියැවුණි. එහිදී නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ප්‍රකාශයට විරෝධය පළ කළ අතර සමුළුවේදී දේශපාලනය කතා කිරීම පිළිබඳ සිය අප්‍රසාදය පළකළේය. එම අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, රනිල්‌ වික්‍රමසිංහ මහතාගේ සිත් රිදීමක් සිදු වූවා නම් සමාවන ලෙස ඉල්ලා සිටීම සුවිශේෂී විය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් රජයට ඉදිරිපත් කරන ලද කෙටුම්පත් ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කිරීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද සර්ව පාක්ෂික සමුළුවේදී ප්‍රතික්ෂේප කිරීම විශේෂිත සිදුවීමක් වූයේය. අදාළ වාර්තාවද ඉල්ලා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මූල්‍ය අරමුදලේ කෙටුම්පත් වාර්තාවෙන් කොටසක් පමණක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත් සම්පූර්ණ වාර්තාව ලැබී නොමැති බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. ඊට සුදුසු වෙනස්කම් යෝජනා කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය. එම නිසාවෙන් එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බවත් අවසන් වාර්තාව පමණක් ප්‍රසිද්ධියට පත් කරන බවත් ඔහු පැවසීය.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිදුකළ තවත් ප්‍රකාශයක් හේතුවෙන් පක්ෂ එකොළහ කණ්ඩායම නියෝජනය කරමින් පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නොසතුටට පත්වූ බවද සමුළුවේ අභ්‍යන්තර තොරතුරු විමසන අතරේ දැනගැනීමට ලැබුණි. “පක්ෂ කීපයයක් මුළු රටම හරි මඟට කියලා මේ ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තිබුණා. මේක ඉදිරිපත් කරපු අය මහමඟට වැටිලා තියෙනවා* යනුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළේය. එම ප්‍රකාශය හේතුවෙන් රතන හිමි සමුළුව අවසානයේ දානය ලබා නොගෙන පිටව ගිය බව කියැවුණි.

‍මේ අතර 2022 අයවැය යෝජනා වහා ප්‍රතිසංශෝධනය කර ඉදිරි මුදල් වර්ෂය සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් මැයි මාසයට පෙර ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමින් පැවසීය. එසේම මෙහිදී දැනට ඉදිරිපත් කර ඇති අනවශ්‍ය වැයශීර්ෂ කපා දැමිය යුතු බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ සම්බන්ධ අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සංවර්ධන අයවැයක් වෙනුවට සහන අයවැයක් ගෙන ආ යුතු බවකි. ඒ අනුව එම අදහස්වලට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව අනුව එවැනි අයවැයක් ගෙන ඒමට තමන් සූදානම් බව සඳහන් කළේය.

මේ අතර සමුළුවට සහභාගී වූ සෙසු පක්ෂ නායකයන් සහ නියෝජිතයන්ද සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කළෝය. සමුළුව පෙර දිනයේදී කරුණු 22ක් සහිත යෝජනාවලියක් ශ්‍රීලනිප විසින් ජනපති වෙත බාරදුන් බව ශ්‍රීලනිප මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. ඊට අමතරව ශ්‍රීලනිප වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාගවන් ඇතුළු මැති ඇමතිවරුද අදහස් දැක්වූහ. ශ්‍රී ලංකා මහජන පක්ෂ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්ත, දෙමළ ජාතික සංධානය වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු ආර්. සම්පන්දන්, මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුළු පක්ෂ නියෝජිතයෝ රුසක් මෙහිදී අදහස් දැක්වූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මෙම සමුළුව සඳහා එක්වූහ. ඔවුන් අතරින් පිරිසක් මෙම සර්ව පාක්ෂික සමුළුව ඇමතූහ. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරී රුසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

සමුළුව සහභාගී නොවූ පක්ෂද ඉන් පිටතදී මෙම සමුළුව සම්බන්ධ සිය අදහස් දක්වනු ඉකුත් සතිය තුළ නිරීක්ෂණ කළ හැකි විය. ඒ අනුව නුගේගොඩදී පැඇති ජන හමුවේඅදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර සිටියේ සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වූවන් දූෂිතයන් බවයි. ඔහු ජනපති, අගමැති ඇතුළු පක්ෂ විපක්ෂ නායකයන්ට ඇති චෝදනාද සිහිපත් කර සිටියේය. මෙම සමුළුවට සහභාගී වූයේ නම් පැවසිය යුතුව ඇත්තේ &දැන් ඇති ඉවත්ව යන්න* බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට සමගි ජනබලවේගය වෙනත් කටයුත්තකට අතගසා තිබුණි. දේශපාලන ආරංචි මාර්ග අනුව රට තුළ උද්ගතව පවතින ගැටලු ගණනාවක් ඇතුළත් කොට ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය විමසීමටත් ඔවුන් තීරණය කළ ඇති බව අනාවරණය විය. සජබ ජ්‍යෙෂ්ඨයන් විසින් ඊට අදාළ ලිපිය මේ වනවිට කෙටුම්පත් කිරීම සිදුකර ඇතැයි කියැවේ

කෙසේ වෙතත් සර්ව පාක්ෂික සමුළුව ඉකුත් බදාදා බලාපොරොත්තු සහගතව අවසන් විය. එහිදී මතුවූ යෝජනා අපි ඉදිරියේදී සාකච්ඡා කෙරෙනු ඇත. එසේ නමුත් මෙම සමුළුවේ ප්‍රතිඵලය ලැබීම කෙසේ කවදා සිදුවන්නේද යන්න පැහැදිලි නොමැත. අපි බලා සිටිමු.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05