දිනෙන් දින වැඩිවන සහල් මිල නුදුරේදීම ජීවන වියදම සම්බන්ධ තවත් දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරනු ඇත." පසුගිය සති කිහිපය තුළ මෙම ප්‍රකාශය කනින් කොණින් නිතර ඇසෙන්නට පටන්ගෙන තිබුණි. මෙය හුදෙක් ආර්ථික අර්බුදයේ තවත් එක් අඳුරු කතාවක් ලෙස බැහැර කළ නොහැකි බව අපි ඔබට කරුණු සහිතව පෙන්වා දෙමු.
අප මෙම සටහන ඔස්සේ සහල් සම්බන්ධයෙන් ඇතිවෙමින් පවතින අර්බුදය ගොවියාගේ පසින් විග්‍රහ කර ගැනීමට උත්සාහ කරමු. මේ මොහොතේ කවුරු කෙසේ කීවද මහ කන්නයේ දී කාබනික පොහොර යොදා වී ගොවිතැන කිරීම නිසා අස්වැන්න සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව පළමුව සහතික කොට කිව හැකිය. එම නිසාවෙන්ම ගොවීන් තම වී තොග අලෙවි කිරිමට කල් මරමින් සිටි බවද සත්‍යයකි. සහල් මිල ඉදිරියේ රුපියල් තුන්සීය දක්වා ඉහළ යනු ඇතැයි කියවෙන අනාවැකිය පසුපස ඇති තිත්ත සත්‍ය එයයි.
එහෙත් වරද ගොවීන්ගේද? අප විමසනුයේ එබැවිනි. සහල් මෝල හිමියන් ඇතුළු ඇතැම් පාර්ශ්ව ගොවීන් වී තොග අලෙවි නොකිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරමින් සිටිති. ඒ අතර සහල් සඳහා පාලන මිලක් ගෙන ඒමට ද ආණ්ඩුව සූදානම් වන බව ප්‍රකාශයට පත්ව ඇත. මෙම තත්ත්වය සරලව තේරුම් ගැනීමට පහසු නැති බව පළමුව සඳහන් කළ යුතුය.
එසේ වුවද වී සහල් අර්බුදය පිළිබඳ කතාව අප ආරම්භ කළ යුත්තේ ගොවියාගේ කෝණයෙනි. බලධාරීන් විවිධාකාර සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ ද මෙම මහ කන්නයේ අස්වැන්න සීයට පහනකින් පමණ අඩුවී ඇති බවට ගොවීහු විශ්වාස කරති. එබැවින් ගොවීහු වී අලෙවි කිරීම සම්බන්ධයෙන් කලක සිට අනුගමනය කළ ක්‍රමවේදයෙන් බැහැර වෙමින් සිටිති. සැබවින්ම මේ මොහොතේ බහුතර ගොවීන් සිය අස්වැන්න අලෙවි කිරීම සම්බන්ධයෙන් යම් බියකින් පසුවන බව කිව හැකිය.
සාමාන්‍ය තත්ත්වයක් යටතේදී වී ගොවීහු සිය අස්වැන්නෙන් යම් කොටසක් යල කන්නයේ අස්වනු ලබාගන්නා තුරු පාරිභෝජනයට රඳවා තබාගැනීම සිදු කරති. ඔවුන් අලෙවි කරනුයේ ඉතිරියයි. එම ඉතිරිය අලෙවි කොට තමන් ලබාගත් ණය ගෙවා දමා ඉතිරි වන මුදලින් නැවත අස්වනු ලබන තුරු ජීවිතය පවත්වාගෙන යාමට ඔවුහු වෙහෙස වෙති. මෙවර අස්වැන්න අඩුවීමත් සමඟ පරිභෝජනය සඳහා අවශ්‍ය වී තමන් සතුව තබාගෙන ඉතිරිය අලෙවි කිරීමට බියකින් පසුවෙති. ඒ අතර වැඩි වී තොග නිවෙසේ තබාගැනීමට ද ගොවියෝ උත්සාහ කරති.
මෙය අහේතුකව සිදුවන්නක් නොවේ. මහ කන්නයේ අස්වනු අඩුවීම සමඟම යල කන්නය පිළිබඳ ගොවීන් තුළ ඇත්තේ අවිනිශ්චිත බවකි. එසේම පවතින ආර්ථික අර්බුදය හමුවේ සිය පරිභෝජනය සඳහා වැඩිපුර වී තබාගැනීමේ අවශ්‍යතාවක් ගොවීන්ට ඇති බවක් පෙනී යයි. අස්වැන්න අඩු වූ පසුබිමක මෙම සිතුවිල්ල අද අර්බුදය තීව්‍ර වීමට හේතු වී තිබේ. මේ හේතුවෙන් සැබෑ ලෙසම වෙනදාට වඩා වැඩි වී ප්‍රමාණයක් මේ වන විටත් අලෙවි නොකොට ගොවීන් තමන් සන්තකයේ තබාගෙන ඇති බව පැහැදිලිව පෙනී යයි.
ඉදිරි යල කන්නය පිළිබඳ ගොවීන් තුළ වන අවිනිශ්චිත බවට ද මෙහිදී කරුණු පැහැදිලි කළ යුතුය. වසර එකහමාරකට පමණ පෙර රුපියල් අට දහසකට හානු ලැබූ කුඹුරක් හෑමට මේ වනවිට රුපියල් පහළොස් දහසක් පමණ ගොවීන්ට වුවමනාය. වසර කිහිපයකට පෙර රුපියල් එක්දහස් පන්සීයකට ලබාගත් යූරියා මිටියක් මේ වනවිට රුපියල් විසිහත් දහසක් පමණ වේ. ගොවිතැන සඳහා අවශ්‍ය සෙසු උපක්‍රම ද්‍රව්‍ය සේම ශ්‍රමය පසුගිය වසර කිහිපය තුළ ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.
සැබවින්ම ගොවියාට තමන්ගේ අස්වැන්න මිස සිය ජීවිතය සුරක්ෂිත කර ගැනීමට වෙනත් මගක් නොමැත. වැටුපක් අර්ථසාධකයක් නොමැති ගොවියා සිය අස්වැන්න මෙවන් මොහොතක තම සන්තකයේ තබාගැනීමට උත්සාහ දැරීම අසාධාරණ යැයි කීමට පහසු නැත. එසේ හෙයින් වෙළෙඳපොළට අස්වනු ගලා නොඒම හේතු කොටගෙන සහල් අර්බුදය නිර්මාණය වළක්වා ගැනීමට පහසු නොවේ.
කෙසේ නමුත් වී අලෙවි නොකොට ගොවීන්ට සුරක්ෂිත වීමට හැකිවේද යන්න සැබෑ ලෙසම ගැටලුවකි. මන්ද ණය බර සහ ජීවන වියදම හමුවේ තමන් සතු වී විටින් විට වෙළෙඳපොළට නිකුත් කිරීමට ඔවුනට සිදුවනු නොඅනුමානය. එහෙත් එය එකවර සිදු නොවීම හේතුවෙන් වෙළෙඳ සහල් අර්බුදය විසඳීමක් පිළිබඳ තබාගත හැක්කේ අල්ප අපේක්ෂාවකි. ඉදිරියේදී වී සඳහා ඉහළ මිලක් ලැබෙතැයි අපේක්ෂාවෙන් ඇතැම් ගොවීන් වී තොග රඳවා ගන්නා බවට වන චෝදනාව අප සහමුලින් බැහැර නොකරමු. එසේ සිදු කරන පිරිසක් සිටිය හැකිය. එහෙත් පවතින ආර්ථික වටපිටාව තුළ එවන් ගොවීන්ට යම් මොහොතක වී අලෙවි කිරීමට සිදුවනු ඇත. නමුත් ගොවීන් සංවිධානාත්මක වී තොග වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් වැළකී සිටින බව පිළිගත නොහැකිය.
කෙසේ වෙතත් ඇතැම් සහල් මෝල් හිමියන් මෙම තත්ත්වය පිළිබඳ ගොවීන් හට චෝදනා කරන බවක් ද පෙනී යයි. එහෙත් අස්වැන්න සීමිත වීම හේතුවෙන් සහල් මෝල් හිමියන් සිය වී තොග සහල් ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමේ දී ප්‍රවේශම් සහගත වන බව නොරහසකි. එම නිසාවෙන් සහල් මෝල් හිමියන්ට ද ඔවුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන බවට එල්ල වන චෝදනාවෙන් මිදීම පහසු නැත. ඉදිරි දින කිහිපයේදී නාඩු සහල් කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා ඉහළ යනු ඇතැයි සහල් මෝල් හිමියෝ ඉකුත් සතියේ කියා සිටියහ. ප්‍රමාණවත් අස්වැන්නක් නොලැබීම සහ ගොවීන් වී අලෙවිය පමා කිරීම ඊට හේතුව බව ඔවුහු පැවසූහ. යල කන්නයෙන් පසු සහල් කිලෝව රුපියල් 300 ඉක්මවනු ඇතැයි යනුවෙන් අනාවැකි කියා ඇත්තේ ද සහල් මෝල් හිමියන් විසිනි.
සහල් මිල ඉහළ යාම වළක්වා ගැනීම සඳහා පාලන මිලක් ඇතිකරන බවත්, ඊට අදාළ යෝජනාව පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය. එසේම රජයේ සහතික මිල යටතේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 70,000ක ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවත්, එය වසර 07කට පසු රජය මිලදී ගත් විශාලම වී තොගය බවත් ඔහු පවසා තිබේ. එම සහල් තොග අප්‍රේල් මාසයේදී වෙළෙඳපොළට නිකුත් කරන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
එය තවත් සංකීර්ණ කතාවකි. කෙසේ හෝ සහල් මිල අඩුවේ නම් පාරිභෝගිකයන්ට යහපත්ය. කෙසේ නමුත් අවසානයේ කිව යුතු විශේෂිතම කරුණ නම් ගොවීන් සතුව සහල් රඳවාගැනීම හුදෙක් සහල් අර්බුදය පිටුපස ඇති එකම හේතුව නොවන බවය. සත්ත්ව ආහාර සඳහා සහල් අධික ලෙස යොදාගැනීම, මහා පරිමාණ මෝල් හිමියන්ගේ සටකපටකම්, රාජ්‍ය තන්ත්‍රයේ අනුවණ තීරණ ආදී වූ හේතූන් රුසක් මෙම අර්බුදය පිටුපස තිබේ. ඒවා පිළිබඳ අපි වෙනත් අවස්ථාවකදී විමසා සිටිමු.
හාල්වලට ගැසට් 11ක්
නාමල් කරුණාරත්න සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු
ලංකාවේ සහල් පරිභෝජනය ගත්තම අපිට අවුරුද්දටම සහල් අවශ්‍ය වෙනවා මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 24 ක් විතර. එතකොට මාසෙකට අවශ්‍යතාව ලක්ෂ දෙකක් පමණ වෙනවා. මේ සහල් ප්‍රමාණය නිෂ්පාදනය කරගන්න අපිට වී අවශ්‍ය වෙනවා මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 36ක්. බිත්තර වී වලටත් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් විතර යනවා. ඒ නිසා වාර්ෂික පරිභෝජනයට ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ තිස් හතක් විතර අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිට පැහැදිලිවම වී අතිරික්තයක් තිබ්බා.
2019 වර්ෂය ගත්තොත් අපි වී නිෂ්පාදනය කරා මෙට්ට්‍රික් ටොන් හතළිස් හත් ලක්ෂ අනූ දෙදහක්. 2020 වසරේ වාර්තාගත අස්වැන්නක් වාර්තාවුණා. ඉතිහාසයේ පළමු වතාවට මෙට්ට්‍රික් ටොන් පනස් ලක්ෂක් විතර. 2021ක වසරේ පොහොර තීරණය ප්‍රකාශයට පත්වීමත් සමග ගැටලුවක් ඇති වුණා. ඒ නිසා පහුගිය යල කන්නයේ මෙට්‍රික් ටොන් ලක්ෂ හතළිහක් වගේ අස්වැන්නක් තිබුණේ. එතකොට සාමාන්‍යයෙන් අපිට අවුරුද්දටම පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ තිස් හතක්නේ. අපේ අවශ්‍යතාවයයි නිශ්පාදනයයි දෙක ගලපලා බැලුවම මේ වෙද්දී රටේ වී අතිරික්තයක් තියෙන්න ඕනෑ. මේ අපි ඉදිරිපත් කරන්නෙ රජයේ සංඛ්‍යාලේඛන.
එහෙම නම් මේ වී වලට මොකද වුණේ? ඇයි සහල් පිටරටින් ගෙන්නන්න ඕනේ? මේ සම්බන්ධව එකොළොස්වන ගැසට්ටුව තමයි ඔය දැන් ගහන්න ලෑස්ති වෙන්නෙ. පහුගිය කාලයේ මේ වී වලින් සෑහෙන්න කොටසක් බියර් නිෂ්පාදනය කිරීමටත් සහ කුකුල් ආහාර සඳහා අරගෙන තිබෙනවා. ආණ්ඩුව ගොවියාට බඩ ඉරිඟු වවන්න පහසුකම් ලබා දුන්නෙත් නෑ. රටින් බඩ ඉරිඟු ගෙනාවෙත් නෑ. ඒ නිසා වී අධික ලෙස කුකුල් ආහාර සඳහා යොදා ගැනීම සිද්ධ වුණා.
► චමිඳු නිසල් ද සිල්වා