2022 මාර්තු 27 වන ඉරිදා

යුක්‍රේන යුද්දෙට හිර වූ අපේ තේ

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 144

තේ කර්මාන්තය ශ‍්‍රී ලංකාවේ දළ ජාතික ආදායමට 1‍% පමණ දායකත්වයක් දක්වන බවත් ශ‍්‍රී ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝ මිලියන 330ක් පමණ වන අතර එයින් කිලෝ මිලියන 323ක් පමණ අපනයනය කරනු ලබන බවත් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල සම්මේලනයේ වෙබ් අඩවියේ සඳහන්ය. ඔවුන්ට අනුව ලොව සමස්ත තේ නිෂ්පාදනයෙන් 8%ක් පමණ ශ්‍රී ලංකාව නිෂ්පාදනය කරන අතර. ලොව සමස්ත තේ අපනයනයෙන් 18%ක් ශ්‍රී ලංකාව සිදු කරනු ලබයි. දැනට මෙරට තේ වගා කරන සමස්ත බිම් ප්‍රමාණය හෙක්ටයාර 222,000 පමණ වන අතර දළු නෙලාගන්නා බිම් ප්‍රමාණය හෙක්ටයාර 185,000ක් පමණ වේ. 

තේ කර්මාන්තය මෙරටට විදේශ විනිමය ගෙන දෙන ප්‍රධාන පෙළේ අපනයනවලින් එකකි. ශ්‍රී ලංකාවේ තේ මිලදී ගන්නා රටවල් අතර ඉදිරි පෙළ ගැනුම්කරුවන් වන්නේ රුසියාව සහ යුක්‍රේනයයි. රුසියාව ශ්‍රී ලංකාවේ 15 වැනි අපනයන වෙළෙඳපොළය. ඔවුන් අපෙන් තේ මිලට ගන්නා අතර ශ්‍රී ලංකාව රුසියාවෙන් ප්‍රධාන වශයෙන් තිරිඟු ආනයනය කරයි. 2018 වසරේ දෙරට අතර පැවැති ද්විපාර්ශ්වීය වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියක 389 පමණ විය. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් දක්වා ඉහළ නැංවීමට දෙරටේ බලධාරීන් 2020 වර්ෂයේ දී එකඟතාවකට පැමිණ තිබිණි.

වර්තමානයේ පවතින රුසියානු යුක්‍රේන අර්බුදය හේතුවෙන් මාසයක පමණ කාලයක සිට එම රටවලට තේ අපනයනය කිරීමට නොහැකි වී ඇතැයි කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති ජයන්ත කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.
සමස්ත තේ අපනයනයෙන් තේ කිලෝ මිලියන 32කට ආසන්න ප්‍රමාණයක් යුක්‍රේනයට සහ රුසියාවට අපනයනය කෙරෙන අතර එය සමස්ත අපනයනයෙන් 10%ක් පමණ  ප්‍රමාණයකි. ඒ අනුව .එම රටවල්වලින් වසරකට උපයාගන්නා මුදල ඩොලර් මිලියන 19ක් පමණ වේ. 2021 වසරේ තේ කිලෝ මිලියන 27ක් රුසියාවට අපනයනය කර ඇති අතර, යුක්රේනයට තේ කිලෝග්‍රෑම් මිලියන හතරක පමණ ප්‍රමාණයක් අපනයනය කර තිබේ.

මේ වන විට ඇමෙරිකාව හා යුරෝපා සංගමය රුසියාවට විවිධ සම්බාධක පනවා තිබේ.

එක්සත් ජනපදය රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය තහනම් කර ඇති අතර, එක්සත් රාජධානිය 2022 අවසන් වන විට රුසියානු තෙල් භාවිතය නවතා දැමීමට නියමිතය. බටහිර රටවල්, රුසියාවට සිය මහ බැංකුවේ ඇති ඩොලර් බිලියන 630ක පමණ සංචිත භාවිත කිරීම අත්හිටුවා ඇත. ඒ හැර එක්සත් ජනපදය, යුරෝපා සංගමය, සහ එක්සත් රාජධානිය රුසියාව හා ගනුදෙනු කිරීම තහනම් කර ඇත. ඇතැම් රුසියානු බැංකු රට රටවල් හරහා මුදල් මාරු කිරීම සඳහා භාවිතා කරන ජාත්‍යන්තර මූල්‍ය සම්බන්ධීකරණ පද්ධතිය වන ‘ස්විෆ්ට්’ ක්‍රමයෙන් රුසියාව ඉවත් කර තිබේ. මේ හේතුවෙන් රුසියාවෙන් කෙරෙන ගෙවීම් හා ඔවුනට ලැබිය යුතු ගෙවීම්ද සිදු කළ නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. සිය ඉන්ධන අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් ද, ගෑස් අවශ්‍යතාවයෙන් 40%ක් ද රුසියාවෙන් ලබාගන්නා යුරෝපා සංගමය පවසා ඇත්තේ තමන් විකල්ප ක්‍රමවේද වෙත යොමු වන බවටය. 

යුද්ධය හා රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් තේ අපනයනය කළ නැව් සමාගම් රුසියාවට හා යුක්‍රේනයට ගමන් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බැවින් මාසයක පමණ කාලයක් එම රටවලට ශ්‍රී ලංකා තේ අපනයනය කළ නොහැකි වී තිබේ.‌ එමෙන්ම සම්බාධක  හේතුවෙන් රුසියාවට සහ යුක්රේනයට අපනයනය කළ තේ සඳහා ලැබිය යුතු මුදල් ලබාගැනීම සම්බන්ධවද ගැටලු සහගත තත්ත්වයක් ද මතු වී ඇති අතර  එම රටවලට තේ සපයන අපනයනකරුවන්  මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බවද වාර්තා වේ. වෙනත් අසල්වැසි රටක් ඔස්සේ ශ්‍රී ලංකා තේ සඳහා මුදල් ලබා ගැනීමට මින් පෙර සැලසුම් කර තිබුණද, රුසියානු බැංකු පද්ධතියට ආර්ථික සම්බාධක පැනවීම නිසා එම රටවලටද ඇතැම් රුසියානු බැංකු සමඟ ගනුදෙනු කළ නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. එලෙස සම්බාධක පනවා නොමැති බැංකු හරහා අපේ තේ සඳහා මුදල් ලබාගැනීමට තේ අපනයනකරුවෝ කටයුතු කරමින් සිටිති. යුරෝපා සංගමයට අයත් ඇතැම් බැංකුවලට තවමත් සම්බාධක පනවා නොමැත. එහෙයින් ශ්‍රී ලංකාවට ගෙවිය යුතු මුදල් මෙම බැංකු මගින් ලබාගැනීමේ අපහසුවක් නොමැති වුවද රෑබලය අවප්‍රමාණය වීම නිසා එම බැංකු මුදල් ගෙවීම කල් දමමින් සිටින බව ආනයනකරුවෝ ප්‍රකාශ කරති.

යුද්ධය ආරම්භ වීමට පෙර ඇමෙරිකානු ඩොලරයක් සඳහා රුසියානු රෑබල් 74 ක් ගෙවීමට සිදු විය. පසුගිය මාසය තුළ එය 140 දක්වා ඉහළ ගිය අතර මේ වන විට එය 105 දක්වා අවම වී තිබුණද එම බැංකු රෑබලය තවදුරටත් ශක්තිමත් වන තෙක් බලා සිටින බව පැවසේ. එරට බැංකු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට ගෙවීම් සිදු කිරීමට තවත් ටික දිනක් ඉවසා සිටින ලෙසටය. දැනට සුදානම් කර ඇති තේ තොග අපනයනය සඳහා නව ගැනුම්කරුවන් සොයා ගැනීමට සිදුව ඇති බවද ආනයනකරුවෝ සඳහන් කරති. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති ජයන්ත කරුණාරත්න මහතා & තේ ආහාර ගණයට වැටෙන හෙයින් ඒ සදහා ඇති සම්බාධක ඉවත් වීමට ඉඩ තිබෙනවා. එහෙත් අපට  ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් දැනුම් දීල නැහැ. අර්බුදය ඇතිවී තවම ගතවී ඇත්තේ මාසයක පමණ කාලයක් වන හෙයින්. ශ්‍රී ලංකාවට විශාල අලාබයක් සිදුවී නැහැ අප මේ වන විට විකල්ප ක්‍රම මගින් තේ අපනයනය කිරීමේ හැකියාවක් පවතීද යන්න පිළිබඳව සොයා බලමින් සිටිනවා. මෙම රටවල් දෙකට තේ යැවීමට නොහැකි වුවත් වෙනත් රටවලට තේ අපනයනය කරන බැවින් අපට තවමත් විශාල අර්බුදයක් නිර්මාණය වී නැහැ. ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගන්නා රුසියානු සහ යුක්රේන ගැනුම්කරුවන් තම අවශ්‍යතාවය අනුව යළි මිලදී ගැනීම් ආරම්භ කරාවි. එවිට පසුගිය කාලයේ අපනයනය කළ නොහැකි වූ තේ සියල්ලම අලෙවි කර ගැනීමට එවිට අපට හැකි වේවි. මාසයක පමණ කාලයක් තේ අපනයනය කළ නොහැකි වුවත් ඉන් ඇති වූ අලාභය එවිට පියවා ගැනීමට හැකි වේවි. එම රටවල් දෙකට තේ අපනයනය කළ නොහැකි වීම මත තේ අපනයනයට හා මිල සඳහා කිසිදු ගැටලුවක් ඇතිවී නැහැ. දැනට පවතින යුද වාතාවරණය අවම වන තෙක් අප බලා සිටිනවා* යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
යුක්‍රේනයට නොකඩවා එල්ල වන රුසියානු ප්‍රහාර හේතුවෙන් එරට තේ ආනයනකරුවෝද දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටිති. රටේ ජනගහනයෙන් විශාල පිරිසක් සරණාගතයන් ලෙස විදේශවලට පලා ගොස් ඇති හෙයින් පෙර මෙන් ඔවුනට ව්‍යාපාර කිරීමට නොහැකි වාතාවරණයක් උදා වී තිබේ. රටේ ඉතිරිව සිටින ජනතාවටද තම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන්ම පැමිණියේ යුක්‍රේන සංචාරකයන්ය. ඔවුහු ද අද වන විට අසරණ වී සිටිති. එහෙයින් විදේශ විනිමය හිඟයෙන් පෙළෙන ශ්‍රී ලංකාවට ලැබෙමින් තිබූ යම් විදේශ විනිමය ප්‍රමාණක්ද අහිමි වී තිබේ.

මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට සම්බාධක පනවා තිබුණද ශ්‍රී ලංකා තේ අපනයනකරුවන් විකල්ප ක්‍රමවේද මගින් ඉරානයට තේ අපනයනය කරන අතර එවැනි විකල්ප ක්‍රමවේද මගින් මෙම රටවලටද ඉදිරියේ තේ අපනයනය කිරීමට තේ අපනයනකරුවන් විකල්ප සොයමින් සිටින බව පැවසේ. 

පසුගිය සමයේ කාබනික කෘෂිකර්මාන්තය එකවර හඳුන්වා දීමට ගත් උත්සාහය හේතුවෙන් තේ නිෂ්පාදනයේ යම් අඩුවක් ඇති විය. තේ වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරන පරිදි තේ නිෂ්පාදනය මේ වන විට 15%ක පමණ පහත වැටීමක් දක්නට ලැබේ. පොහොර ගෙන්වීම සඳහා තහනමක් නොමැති වුවද පොහොර මිල අධික ලෙස ඉහළ ගොස් ඇති හෙයින් තේ වගාකරුවෝ අසරණ වී සිටිති. අවශ්‍ය පරිදි පොහොර නොලැබීම හේතුවෙන් දලු ප්‍රමාණය අවම වී ඇතැයි තේ වතු හිමියෝ ප්‍රකාශ කරති. මේ වන විට තේවලට යොදන පොහොර මිල 6 ගුණයකින් .යකින් ඉහළ ගොස් ඇතැයි ද තේ වගාකරුවෝ මැසිවිලි නගති. T 200 පොහොර කිලෝ 50 ක් රුපියල් 1200/- ක්ද, T 750 කිලෝ 50 ක් රුපියල් 12500 ක්ද, T 1240 කිලෝ 50 ක් 12750/- ද දක්වා මිල ඉහළ ගොසිනි. 

කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනය පවසන්නේ රජය මැදිහත්වී නව වෙළෙඳපොළක් හඳුන්වා නොදුනහොත් තේ තර්මාන්තය කඩාවැටීමට ලක්විය හැකි බවටය. එම සම්මේලනයේ සභාපති නිශාන්ත පෙරේරා පවසන පරිදි &රුපියල් 1500ට තිබූ තේ සඳහා යොදන පොහොර හොණ්ඩරය මේ වන විට 12500 දක්වා වැඩි කරලා. අක්කරයකට පොහොර හොණ්ඩර 4 දැම්මොත් ඒ සඳහා රුපියල් 50,000ක් මුදලක් වැය වනවා. මාසයට සති 4ම දලු කඩන වතුවල මේ වන විට දලු කැඩෙන්නේ සතියක් හෝ දෙකක් පමණයි.. සතියකට තේ වෙන්දේසියට කිලෝ මිලියන අටක් පමණ යැවුවත් මේ වන විට යවන්නේ කිලෝ මිලියන 4ක පමණ ප්‍රමාණයක්. විදුලි කප්පාදුව හා ඉන්ධන හිඟය හේතුවෙන් දලු එකතු කිරීමට නොහැකි වෙලා තිබෙනවා.  විදුලි කප්පාදුවෙන් දලු අඹරන යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න බැහැ හැම අතින්ම නිෂ්පාදනය පහත වැටෙනවා. තේ කර්මාන්තයෙන් ඩොලර් මිලියන 1300ක් පමණ ඉපැයූවත් මේ වන විට මේ වන විට එම ආදායම කඩා වැටී තිබෙනවා.* යනුවෙනි. යුක්‍රේන සහ රුසියානු අර්බුදය හේතුවෙන් ලංකාවේ තේ වෙළෙඳපොළ තවදුරටත් කඩා වැටෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

► ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05