2022 මාර්තු 27 වන ඉරිදා

තෙල් පෝලිමකදී තෙල් වෙනුවට පිහි පාරක්!

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 104

ඩීසල් පෙට්‍රල් හෝ භූමිතෙල් නැත යනුවෙන් පුවරු එල්ලා ඇත්තේ ඉන්ධන පිරවුම්හල්වලය. ගෑස් අලෙවිසල් ඉදිරිපිට ගෑස් නැත යනුවෙන් දැන්වීම් පුවරු දකින්නට ඇත. ඉන්ධන හිඟය හේතුවෙන් රටපුරා ඉන්ධන පිරවුම්හල් රුසක් වසා තිබෙනු දකින්නට ලැබේ. විවෘතව ඇති පිරවුම්හල් අසළ දිගු රථවාහන පෝලිම් මෙන්ම අධික ජනතාවක් බූලි හා කැන් රැගෙන පැය ගණන්, වරු ගණන් නොව දින ගණන් ඉන්ධන පෝලිම්වල සිටිනු දකින්නට හැකිය.

ඇතැමුන් කුසගින්නේද තවත් පිරිසක් අසනීප තත්ත්ව යටතේද ඉන්ධන පෝලිම්වල අව්වැසි නොතකා දිවා රෑ නොබලා රැඳී සිටිති. මේ අතර ඇතැමුන් ඇතිකරගත් වාද විවාද ගැටුම් පහරදීම දක්වා දුරගොස් ඇත. දීර්ඝ වෙලාවක් නොකඩවා පෝලිම්වල රැඳී සිටි ඇතැමුන් ක්ලාන්ත ගතියෙන් බිම ඇද වැටුණු අවස්ථා රුසකි. මේ ආකාරයෙන් ඉන්ධන පෝලිම්වල රැඳී සිටියදී මැරී වැටුණු අහිංසකයන් පිළිබඳව සිදුවීම්ද වාර්තා වී තිබේ.

රට තුළ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඒ ආකාරයටම බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හා ආහාර ද්‍රව්‍යවල බරපතළ හිඟයක් ඇතිවෙමින් තිබේ. කහකුඩු, කිරිපිටි, සිමෙන්ති, කඩදාසි, පාන් පිටි, ගෑස්, භූමිතෙල්, පෙට්‍රල් හා ඩීසල් වශයෙන් එකිනෙක ද්‍රව්‍යවල දැඩි හිඟයක් ඇතිවීම හේතුවෙන් මේ වනවිට ඉන්ධන හා ගෑස් මිලට ගැනිම සඳහා විශාල පෝලිම් ඇතිව තිබේ.

මහජනතාව අදහස් පළ කරන ආකාරයට ඔවුන්ට රුකියාව අතහැර පෝලිම්වල දුක් විඳීමට සිදුව ඇත. මෙසේ පෝලිම්වල රුඳි ජනතාව අතුරින් කිහිප දෙනෙක්ම සිහිසුන්ව ඇදවැටුණු අතර ගැටුමකට මැදිවී එක් අයකු ඝාතනය වී ඇත. තවත් තිදෙනකු මරණයට පත්ව ඇත්තේ මෙකී දුෂ්කර ඉන්ධන පෝලිම්වල රැඳී සිටියදීය.

මේ වනවිට ඉන්ධන පෝලිම්වල රැඳී සිටි ජනතාව අතුරින් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අතර එක සිදුවීමක් වාර්තා වන්නේ නුවර-කොළඹ මාර්ගයේ නිට්ටඹුව හොරගොල්ල ප්‍රදේශයේ පිහිටි ඉන්ධනහල ආශ්‍රිතවය. එම ස්ථානයේ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි යතුරුපැදිකරුවකු හා පෝලිම නොතකා ගිය ත්‍රිරෝද රථ රියදුරකු අතර වූ ගැටුමකදී පිහියා ඇනුමක් නිසා යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

වාර්තා වන පරිදි ඉන්ධන පෝලිමේ දිගු වේලාවක් රැඳී සිටි යතුරුපැදිකරුවෙකි. පෝලිම නොතකා ඊට පිටින් පැමිණි ත්‍රිරෝද රථයක් පෝලිමේ මුලට පැමිණ නවතා තිබුණේ ඉන්ධන ලබා ගැනීමටය. ඔහුගේ ක්‍රියාව හමුවේ ඉදිරිපත් වූ යතුරුපැදිකරු &අපි වගේ ඔයත් පෝලිමේ ඇවිත් පෙට්‍රල් ගන්න* යැයි කියා ඇත. ඊට අවනත නොවූ ත්‍රිරෝද රථ රියදුරු ප්‍රථමයෙන් ඉන්ධන ලබාගෙන තිබූ අතර එහිදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව ඇත. ඉන්ධන ලබාගත් ත්‍රිරෝද රථ රියදුරා එතැනින් පිටව ගියද ඉන්ධනහල ඉදිරිපිට රැඳී සිට ඇත. ඒ අතර කාලයේ යතුරුපැදිකරුද ඉන්ධන ලබාගන එතැනින් පිටව යාමට සැරසී ගොස් තිබුණේ අඩි කිහිපයක් පමණය. මග රුක සිටි සැකකාර ත්‍රිරෝද රථ රියදුරා පිහියක් අතැතිව සිට යතුරුපැදිකරුගේ පපුවට ඇණ තිබුණි. එහිදී තුවාල ලබා ඇදවැටුණු යතුරුපැදිකරු පිරිසක් එක්ව වතුපිටිවල රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මෙසේ මියගොස් තිබුණේ කොළඹ සිරිමුතුඋයන පදිංචි තුවාන් තාජුදීන් (29) නැමැත්තෙකි. ඉකුත් 20 වැනිදා වූ ඝාතනය සම්බන්ධයෙන් ඊට සම්බන්ධ සැකකාර ත්‍රිරෝද රථ රියදුරු 21 වැනිදා අළුයම පොලිස් අත්අඩංගුවට ගැණින. එම පුද්ගලයා නිට්ටඹුව පනාවල පදිංචි නුවන් ප්‍රියදර්ශන (38) නැමැත්තෙකි.

මියගිය අයගේ පපුවේ වම්පසට පිහි ඇනුම සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය. අත්අඩංගුවට ගත් සැකකරු අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 29 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියෝග කෙරිණ.
මේ අතර මීරිගම නගරයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිට ඉන්ධන ලබාගන පිටව යාමට සූදානම් වූ පුද්ගලයකු හදිසියේ ඇදවැටී රෝහල් ගතකරන විට මියගොස් සිටි බවට වාර්තා විය. එම සිදුවීමත් ඉකුත් 21 වැනිදා පෙරවරුවේ සිදුවූවකි. වාර්තා වන ආකාරයට එසේ මියගිය පුද්ගලයා ත්‍රිරෝද රථයකින් එහි පැමිණ ඇත. අනතුරුව ඉන්ධන පෝලිමේ සෑහෙන වෙලාවක් රැඳී සිට බූලි තුනකට ඉන්ධන පුරවාගන තිබුණි. ඉන් බූලි දෙකක් රැගෙන ගොස් ත්‍රිරෝද රථයට දමා නැවත තුන්වැනි බූලිය රුගෙන ඒමට ගොස් ඇත. එම බූලිය රැගෙන නැවත යාමට සූදානම් වෙද්දී ඔහු බිම ඇදවැටී ඇත. එහිදී ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණි. ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා විය.

මරණය සම්බන්ධයෙන් වූ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදුන් මියගිය අයගේ දියණිය කියා සිටියේ පියාගේ වයස අවුරුදු 76ක් බවය. කාලයක පටන් හෘදයාබාධයකින් පෙළුණු ඔහු ප්‍රතිකාර ලබමින් සිටි බව කියා ඇත. ඉදිරිපත් වූ සාක්ෂි අනුව වෛද්‍ය නිගමනය වූයේ හෘදයාබාධයක් නිසා මරණය සිදුව ඇති බවය.

මේ ආකාරයෙන් තවත් 71 හැවිරිදි පුද්ගලයකු ඉන්ධන පෝලිමක සිටියදී හදිසියේ රෝගී වී ජීවිතක්ෂයට පත්ව තිබුණි. එම සිදුවීම වාර්තා වූයේ නුවර-කොළඹ මාර්ගයේ කඩවත නගරයේ පිහිටි ඉන්ධනහලක් ආශ්‍රිතවය.

මෙම මියගිය තැනැත්තා ත්‍රිරෝද රථ රියදුරෙකි. මාකොළ සිරිමංගල පාරේ පදිංචිව සිටි ඔහු ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් පිරවුම්හල් රැසක් වෙත ගොස් පෝලිම තරමක් අඩුවෙන් තිබූ කඩවත නගරයේ පිරවුම්හලකට ගොස් ඇත. පෙරවරුවේ පිටත්ව ගිය ඔහු වැඩිවෙලාවක් පෝලිමේ සිට නැති බව කියයි. පෙරවරු 11.30ට පමණ ඔහුගේ බිරිඳට ලැබුණු දුරකථන පණිවුඩයකින් දන්වා තිබුණේ සැමියා අසනීපව ඉන්ධන පිරවුම්හලක වැටී සිටින බවය. ඔහු රෝහල් ගත කිරීමට හෝ කෙනෙක් ඉදිරිපත්ව නොමැති අතර බිරිඳ ඇතුළු ඥාතීන් පිරිසක් පැමිණ ඔහු රාගම රෝහල වෙත ඇතුළත් කර ඇත. ඒ වනවිටත් එම පුද්ගලයා මියගොස් සිටි බව වෛද්‍යවරු පවසා තිබුණි. මෙම තැනැත්තා කාලයක සිට දියවැඩියා රෝගයෙන් පෙලුණු අයකු බව කියැවේ. කාලයක සිට රාගම රෝහලේ සායනය මගින් ප්‍රතිකාර ලබාගන තිබෙන බවද වාර්තා වී ඇත. මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය කෙරුණේ හෘදයාබාධයක් නිසා මරණය සිදුව තිබෙන බවය.

මේ ආකාරයට ඉන්ධන පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයකුගේ මරණයක් සිදුව තිබුණේ ඉකුත් 19 වැනිදාය. එය මහනුවර නගරයෙන් වාර්තා වූ අතර ඒත් සමඟ ඉන්ධන පෝලිම්වල රැඳී සිටියදී සිදුවූ හතරවන මරණය පිළිබඳව සටහන් තැබිය හැකිය. එහිදී මියගොස් තිබුණේ කටුගස්තොට උඩතලවින්න ප්‍රදේශයේ පදිංචි හනීෆා මොහොමඩ් නැමැත්තෙකි. 71 හැවිරිදි වියේ පසුවූ මොහු ඉන්ධන සොයා ඉන්ධනහල් ගණනාවක් පසුකරමින් මහනුවර නගරයේ යටිනුවර වීදියේ පිහිටි ඉන්ධන හලක් වෙත පැමිණ තිබුණි. පැය හතරක පමණ කාලයක් මොහු භූමිතෙල් ලබාගැනීම සඳහා දිගු පෝලිමක රැඳී සිට ඇත. එහිදී සිහිසුන්ව ඇද වැටී තිබෙන අතර සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත. රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේ ඒ වනවිටත් රෝගියා ජීවිතක්ෂයට පත්ව සිටි බවකි.

මියගිය පුද්ගලයා හිටපු රාජ්‍ය සේවකයෙකි. ශ්‍රී ලංකා පොලිසියේ සිවිල් සේවකයකු වශයෙන් කටයුතු කළ ඒ මහතා ජීවත්ව සිටි උඩතලවින්න ප්‍රදේශයේ ගෑස් හෝ භූමිතෙල් කිසිවක් සොයාගැනීමට අවස්ථාවක් තිබී නැත. ලිප පත්තු කිරීමට හෝ නොමැතිව සිටියදී යටිනුවර වීදියේ ඉන්ධනහලට භූමිතෙල් ලැබී ඇති බවට ලැබුණු ආරංචිය අනුව මොහු එම ස්ථානයට ගොස් ඇත. එහි රැඳී සිටියදී ඇදවැටී මෙම පුද්ගලයා මරණයට පත්ව ඇත.

රට පත්ව තිබෙන ආර්ථික අහේනිය හා අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය නිසා ස්ත්‍රී පුරුෂ හෝ වයස් භේදයකින් තොරව මහජනතාව භාණ්ඩ ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටින බව දකින්නට ලැබේ. ඔවුන් අතර ඇතැමුන් රුකියාවෙන් නිවාඩු ලබා හෝ කුලී රස්සාවට නොයා පෝලිමේ රැඳී සිටිති. එහි ඇතැම් පිරිස් රෝගාබධවලින් පෙළෙන අසරණ පිරිස්ය. එවැනි අය කුසගින්නේ නියමිත ඖෂධ හෝ නොලබා පෝලිම්වල රැඳී සිටීමට ජීවිතයට අවධානමකි. මේ නිසා වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ එවැනි පෝලිම්වල රැඳී සිටින පිරිස අවම වශයෙන් ජලය බෝතලයක් හෝ රුගෙන පෝලිමේ සිටීම සුදුසු බවය

මේ ආකාරයට අසරණ මිනිසුන් මහමග පෝලිම්වල සිට ඇද වැටී මරණයට පත්වීම ඔවුන්ගේ වරදක් නොව රටේ පාලනාධිකාරියේ දුර්වලතා මත ගොඩනැගුණු අර්බුදවල කනගාටුදායක සිදුවීම්ය. පෝලිම් යුගයේ නිමාවක් දකින්නට තවත් කල්ගතවන බව පෙනෙන නමුත් මෙකී අර්බුදවලින් ජනතාව මුදවාලීම ආණ්ඩුවේ බලධාරීන්ගේ වගකීම බව පෙන්වා දෙමු.

 සමන්ත ප්‍රදීප් විල්තෙර