රටේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලෙස සැලකෙන ආනයන භාණ්ඩ 700කට පමණ ඉහළ තීරු බදු පනවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සමයේ රජයට යෝජනා කර තිබිණි. ඒ අනුව පළතුරු වර්ග කීපයක් ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලෙස තෝරාගත් භාණ්ඩ වර්ග 367 ක් ආනයන සීමා කිරීම සඳහා බදු වැඩිකිරීමට මුදල් අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තේය.
ඒ අනුව ආනයනික ඇපල්, මිදි, දොඩම්, දෙළුම් ඇතුළු පළතුරු වර්ග කිහිපයකට නව බද්දක් පනවා තිබේ. එම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අනුව ඇපල් කිලෝවකට රුපියල් 300ක්ද, දොඩම් කිලෝග්‍රෑමයකට රුපියල් 200ක්ද, මිදි කිලෝවකට රුපියල් 300ක්ද, දෙළුම් කිලෝවතට රුපියල් 300ක්ද වශයෙන් බදු අයකෙරේ. මෙලෙස පළතුරු සඳහා වන බද්ද වැඩි කිරීමට හේතු වූයේ ඒවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණයට නොවැටෙන භාණ්ඩ සේ සලකමිනි. මෙම ආනයන සීමාව පැනවීමට පෙර ඇපල් කිලෝවක් සඳහා පැවැතියේ රුපියල් 100 ක බද්දකි. මිදි සහ දෙළුම් කිලෝවක් සඳහා පැවැතියේ රුපියල් 200 ක බද්දකි.
නව බදු හා ඩොලරයේ අගය ඉහළ යෑම හේතුවෙන් මෙරටට ආනයනය කරන සෑම භාණ්ඩයකම මිල මේ වන විට අහස උසට නැඟ තිබේ. ඒ අනුව මෙතෙක් වෙළෙඳපොළේ රුපියල් 70ට- 80ට අලෙවි වූ ඇපල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 200 දක්වා ඉහළ ගොසිනි. අපි මේ සම්බන්ධයෙන් මෙරටට පළතුරු ආනයනය කරන සමාගම් කිහිපයකින්ම විමසා බැලුවෙමු. ඔවුන් සඳහන් කළේ ඩොලර්යේ අගය ඉහළ යෑමත්, ආනයනය කළ භාණ්ඩ වරායෙන් නිදහස් කර ගැනීමට ඩොලර් නොමැති වීමත්, ප්‍රමාද ගාස්තු සති දෙක තුනක ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීමත් මත පළතුරුවල තොග මිල 80%කින් පමණ ඉහළ ගොස් ඇති බවටය.
පළතුරු ආනයනය සහ තොග අලෙවිකරන ප්‍රධාන පෙළේ සමාගමක් වන ගෝල්ඩන් ෆ්‍රෙෂ් ෆෘට්ස් ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් වන එන්.එම්. ඉස්ලාම් මහතා සඳහන් කරන පරිදි ඩොලරයේ අගය විශාල ලෙස ඉහළ යාම හා පළතුරු සඳහා රජය මගින් පනවන ලද නව බදු හේතුවෙන් පසුගිය කාලයේ රුපියල් 70 – 80 පමණ මිලකට අලෙවි කළ ඇපල් ගෙඩියක තොග මිල මේ වන විට රුපියල් 150ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති අතර වෙළෙඳාම 75%කින් පමණ පහත වැටී ඇති බවයි.
''ඇපල් ගෙඩියක් රුපියල් 70ට අලෙවි වූයේ ඩොලරයේ අගය රුපියල් 203ක්ව තිබියදී. මේ වන විට එය 290 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඇපල් තොග මිල 80%කින් පමණ වැඩි කිරීමට සිදුවෙලා. නව බද්ද හේතුවෙන් කලින් පැවැති තොග මිල මෙන් දෙගුණයකට අලෙවි කරන්නට සිදුවෙලා.
ඩොලර් හිඟය නිසා ආනයනය කළ පළතුරු කන්ටේනර් දින 15 - 20 වැනි කාලයක් වරායේ රඳවා තබාගැනීමට සිදුවීමෙන් විශාල වශයෙන් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීමත්, ඇතැම් පළතුරු නරක්වීමට ලක්වීමත් හේතුවෙන් අපට මිලියන 100ක පමණ පාඩුවක් පසුගිය දිනවල සිදුවුණා. අපි මාසෙකට ඩොලර් ලක්ෂ 3ක පමණ වටිනා පළතුරු කන්ටේනර් 12ක් පමණ ගෙන්වනවා. වැඩිවශයෙන්ම ගෙන්වන්නේ ඇපල්. මාසෙකට ඇපල් කන්ටේනර් 5ක් පමණ ගෙන්වනවා. දැන් ගෙන්වන්නේ 2ක් 3ක් වැනි ප්‍රමාණයක්. අපි කලින් දවසකට පෙට්ටි 500ක් 600ක් පමණ ප්‍රමාණයක් අලෙවි කළා. දැන් දවසකට පෙට්ටි 50ක්වත් විකුණන්න බැහැ. පසුගිය කාලයේ සිල්ලර වෙළෙන්දෙක් දිනකට පෙට්ටි 5ක් විතර අපෙන් අරන් ගියා. දැන් ඔවුන්ට එම ප්‍රමාණය විකුණගන්න සතියක් විතර යනවා. කොරෝනා පැවැති කාලයේවත් මේ තරම් බලපෑමක් සිදුවුණේ නැහැ. මිල ඉහළ යෑමට බලපෑවේ ප්‍රධාන වශයෙන් ඩොලර් අර්බුදය සහ මෑතක සිදුකළ බදු වැඩි කිරීමයි.'' යනුවෙන් සඳහන් කළේය.
එහෙත් ඇතැම් තොග වෙළෙඳුන් ප්‍රකාශ කරන්නේ ආනයනකරුවන් අවස්ථාව බලා මිල වැඩි කරන බවටය. ඒ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූ පළතුරු තොග ව්‍යාපාරිකයකු පැවසුවේ වැඩි කළ මිලට කිසිදු ආනයනකරුවකු තවමත් පළතුරු ආනයනය කර නොමැති බවයි. එහෙයින් වෙළෙඳපොළේ පවතින්නේ මාස කිහිපයකට කලින් ආනයනය කළ පළතුරු බවත්. ඇතැම් ආනයනකරුවන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන කලින් ගෙන්වූ පළතුරු නව මිල ගණන් යටතේ අලෙවි කිරීමට කටයුතු කිරීම නිසා මිල ඉහළ ගොස් ඇති බවත්ය. ''ලංකාවට ආනයනය කරන පළතුරු ශීතාගාරවල මාස ගණනක් තැන්පත් කර තිබෙනවා. ලංකාවට පළතුරු ආනයනය කරන ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක්ම තිබෙනවා. ඔවුන් විවිධ වර්ගවලට අයත් පළතුරු විවිධ රටවලින් ආනයනය කරනවා. මේ ආනයනකරුවෝ ඇතැම් පළතුරුවල හිඟයක් පවතින අවස්ථාව බලා පළතුරු වෙළෙඳපොළට නිකුත් කරන්න කටයුතු කරනවා. එහිදී මිල වැඩි කිරීමට ඔවුන් කටයුතු කරනවා. මෙය කාලයක සිට පැවති ක්‍රියාදාමයක්. එක් අවස්ථාවක ඔස්ට්‍රෙලියාවෙන් සන්ෆලවර් කියන නාමය යටතේ දොඩම් වර්ගයක් ලංකාවට ආවා. එහි කිලෝ විස්සක පෙට්ටියක් මිල කරල තිබුණේ රුපියල් 3500කට. එහෙත් එම වර්ගයේ දොඩම් වෙළෙඳපොළේ හිඟවීම නිසා එම පෙට්ටියක මිල රුපියල් 6500 දක්වා වැඩි කරන්න ආනයනකරුවෝ කටයුතු කළා. ඒ අවස්ථාවේ ඩොලර් ප්‍රශ්නයක්වත් බදු ප්‍රශ්නයක්වත් තිබුණේ නැහැ. අද පවතින මිල ඉහළ යාමට පසුගියදා එක්තරා ඇමැතිවරයෙක් කියපු කතාවක්ද මුල් වුණා. ඔහු ඇහුවා ඇපල් කනවද තෙල් ගේනවද කියලා. මෙච්චර කල් ලංකාවට පළතුරු ගෙන්නුවේ පළතුරු ආනයනකරුවන් සතු ඩොලර්වලින්. මදි වුණොත් බැංකුවලින් ගත්තා. මෙච්චර කල් ලංකාවට ඇපල් ගෙනාවේ තෙල් ගේන්න තිබුණු සල්ලිවලින් නෙමෙයි.
මෙතෙක් පළතුරු ආනයනය කළ සමාගම්වලට ඒවා ආනයනය තහනම් කර එක්තරා ආයතනයකට පමණක් පළතුරු ගෙන්වන්න අවසර ලබා දෙන්න යන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. මේ බදු වැඩි කිරීම හා සීමා කිරීම එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ එක් පියවරක් විදිහටයි අපි දකින්නේ. එම ආයතනය මොනව ගෙනාවත් අපේ අලෙවි නියෝජිතයෝ එම සමාගමෙන්. ඒවා මිලට ගත යුතුයි.'' යනුවෙන් සඳහන් කළේය.
ජා ඇල ෆ්‍රෙෂ් ෆෘට්ස් ආයතනයේ හිමිකරු වන්නේ එච්.ටී.එන්. සමරතුංග මහතාය. ඔහු වෙළඳාම් කරන්නේ පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණයේය. එම ආයතනය ඇපල්, දොඩම්, දෙළුම්, කිවි, පෙයාස්, මිදි වැනි සියලුම වර්ගයේ පළතුරු අලෙවි කරන ආයතනයකි. පළතුරු මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඒ මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසකි. ''ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එන වෙළෙඳුන් තොග සහ සිල්ලරට අපෙන් පළතුරු මිලදී ගන්නවා. අද වන විට ගෙඩි 125ක් අඩංගු ඇපල් පෙටිටියක තොග මිල රුපියල් 22,500ක්. එතකොට එක ඇපල් ගෙඩියක තොග මිල රුපියල් 170ක් විතර වෙනවා. ඒ ගාණට මිලදී ගත්ත සිල්ලර වෙළෙන්දෙක් එක ගෙඩියක් අවම වශයෙන් රුපියල් 200කටවත් අලෙවි කළ යුතුයි. ඒ වගේම සුපර්මාකට්වල අඩුම ගණනේ 250ක්වත් වෙයි. ගෙඩි 88ක් තියෙන දොඩම් පෙට්ටියක ඉස්සර මිල තිබුණේ රුපියල් 2800ත් 3200ත් අතර මිලකයි. අද ඒ දොඩම් පෙට්ටියක් රුපියල් 6500යි. ඒ අනුව දොඩම් ගෙඩියක තොග මිල රුපියල් 70ක් 80ක් පමණ වෙනවා. දැන් වෙළෙඳුන්ට අපෙන් පළතුරු පෙට්ටියක් එකවර රුගෙන යන්න බැහැ. මේ මිල වැඩිවීම නිසා. ගෙනිච්චත් ඉක්මනින් ඒවා විකුණගන්න බැහැ. කලින් අපි දිනකට ඇපල්, දොඩම් පෙට්ටි 150ක් - 200ක් පමණ අලෙවි කළා. දැන් පෙට්ටි 50ක්වත් විකුණගන්න බැහැ. මේ දිනවල වැඩියෙන් අලෙවි වන්නේ ඇමරිකන් ඇපල් එක. ඒත් වඩා හොඳ සහ මිල වැඩි චීනයෙන් එන ෆූජි ඇපල්.
මේ වන විට තොග වෙළෙන්දයි සිල්ලර වෙළෙන්දයි දෙන්නම හාන්සියි. ඒ නිසා අපිට පෙට්ටියකින් රුපියල් 300ක පමණ ලාබයක් තබාගෙන 6800 විතර මිලකට සිල්ලරට විකුණන්න සිදුවෙලා. එතනදී තුවාල වුණු, නරක් වුණු ගෙඩි අපි අයින් කරනවා. ඉස්සර ආනයනකරුවන්ගෙන් පළතුරු ගත්තම මුදල් ගෙවන්න දින කිහිපයක් ලබා දුන්නා. අද තියෙන තත්ත්වය මත අද දවසේ මිලට ගන්න පළතුරු සඳහා අදම මුදල් ගෙවිය යුතුයි. අපි ආනයනකරුවන් කිහිප දෙනකුගෙන්ම දිනකට ලක්ෂ 10ක 15ක පමණ පළතුරු මිලට ගත්තා. දැන් නම් දිනකට ලක්ෂ 4ක 5කට වඩා පළතුරු ගන්නේ නැහැ. ඉස්සර අපෙන් පළතුරු මිලට ගන්න අය අවම වශයෙන් පෙට්ටි 4ක් පහක් දවසකට අරන් ගියා.. දැන් ඔවුන් එහෙම එන්නේ නැහැ. එන අයත් මිලට ගන්නේ ඇපල් ගෙඩි 25ක් 50ක් වගේ ප්‍රමාණයක්.'' යැයි සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට පළතුරු ආනයනය කෙරෙන්නේ චීනය, නවසීලන්තය. ඉන්දියාව, දකුණු අප්‍රිකාව, පකිස්ථානය, ඔස්ට්‍රේලියාව වැනි රටවලිනි. ඒ සඳහා ඇදී යන විදේශ විනිමය විශාල ප්‍රමාණයකි. 2021 ඇපල් ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක් පමණ වැය කර තිබේ. ආහාරයට ගත හැකි අපේ දේශීය පළතුරු වර්ග 250ක් පමණ තිබේ. එහෙත් ඒවායින් අපි පරිභෝජනයට ගන්නේ වර්ග 50කටත් අඩු ප්‍රමාණයකි. රටින් ගෙන්වා ශීතාගාරවල මාස ගණන් තබා ආහාරයට ගන්නා රට පළතුරුවලට වඩා අපේ රටේ නැවුම් පළතුරු ආහාරයට ගැනීමට ජනතාව උනන්දු වන්නේ නම් එය සෞඛ්‍යයට මෙන්ම විදේශ විනිමය ඉතිරි කර ගැනීමටද මඟ පෑදෙනු ඇත.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා