පසුගිය 19දා සිට ආනයනික කිරිපිටි කිලෝව රුපියල් 600කින් සහ ග්‍රෑම් 400 පිටි පැකට්ටුව රුපියල් 260කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයන සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව පිළිවෙළින් රුපියල් 1345ට අලෙවි කළ කිරිපිටි කිලෝවක නව මිල රුපියල් 1945ක් වූ අතර ග්‍රෑම් 400ක පැකැට්ටුවක මිල රුපියල් 800 දක්වා ඉහළ ගියේය. ග්‍රෑම් 400 පැකැට්ටුව ඒ වනවිට අලෙවි කරමින් තිබුණේ රුපියල් 540කටය. මෙයට දෙමසකට පමණ පෙරද කිරිපිටි කිලෝව රුපියල් 250කින්ද ග්‍රෑම් 400 පැකැට්ටුව රුපියල් 100කින් ඉහළ නැංවූ බව අපට මතකය.
ආනයනික කිරිපිටි මිල ඉහළ නංවන සැමවිටම කිරිපිටි ආනයනකරුවන් කියන නිදහසට කරුණ වූයේ ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම සහ ඩොලරයේ වටිනාකම රුපියලට සාපේක්ෂව ඉහළ යාමයි. මෙවර ඔවුන්ගේ හේතුව වඩාත් තර්කානුකූල බවට පත්වූයේ පසුගියදා රුපියල තවදුරටත් අවප්‍රමාණ වීමෙන් ඩොලර් සඳහා විශාල රුපියල් ප්‍රමාණයක් ගෙවන්නට සිදුවීමය. එයට අමතරව වරායට ගෙන්වූ කිරිපිටි අඩංගු කන්ටේනර් දීර්ඝ කාලයක් ගොඩ නොබා තිබූ නිසා විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට ආනයනකරුවන්ට සිදුව තිබුණි. මෙම ප්‍රමාදයට හේතුවූයේ ඩොලර් හිඟය නිසා ණයවර ලිපි බැංකු මගින් නිකුත් කරවා ගැනීමට ප්‍රමාදවීමය.
සමාගම් පවසන්නේ ඩොලර් හිඟය තවදුරටත් පවතින නිසා කිරිපිටි මිල ඉහළ නැංවුවද ආනයනය තවදුරටත් සීමාවන බැවින් ඉදිරියේදී හිඟය තවදුරටත් පවතිනු ඇති බවය.
කෙසේ වුවද සිරිතක් වශයෙන් මිල ඉහළ නැංවීමට ප්‍රථම කවදත් දේශීය වෙළඳ පොළේ කිරිපිටි හිඟයක් ඇතිවීම මෙවරද එලෙසම සිදුවිය. සති දෙක තුනක් තුළ ජනතාවට කීයක් ගෙවා හෝ කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීම දුෂ්කර විය. ඒ නිසා දිගු කිරිපිටි පෝලිම් නිර්මාණය විය. දරුවන්ට කිරිපිටි ගැනීම දෙමාපියෝ ඒ මේ අත දුවගිය අතර ඉල්ලුමට අවශ්‍ය තරම් සැපයුම අඩුවීම නිසා මිල වැඩි කිරීමට සුදුසු තෝතැන්නක් නිර්මාණය වී තිබිණ. එනිසාම පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමඟ පසුගිය 07 වැනිදා පැවැති සාකච්ඡාව අසාර්ථක වූ අතර අවසානයේදී ආනයනකරුවන්ගේ උත්සාහයට ජය අත්විය.
අපට පාලනය කරන්න බෑ
කිරිපිටිවල මිල වැඩිවීම වැළැක්වීමේදී පාරිභෝගික සේවා අධිකාරියේ ක්‍රියා පිළිවෙළ පිළිබඳ ලියුම්කරු පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායකගෙන් විමැසූ විට ඔහු මෙසේ පැවසීය.
කිරිපිටිවලට පාලන මිලක් අද පවතින්නේ නැහැ. ඒ ගැන මෙයට පෙර නිකුත් කළ ගැසට් නිවේදනය දැන් බලරහිත වෙලයි තියන්නේ. ඒ නිසා මිල වැඩි කිරීමට මැදිහත් වීමට අධිකාරියට නීතිමය බලයක් නැහැ. ගැසට් එක තිබුණා නම් අපට මිල ඉහළ යාම යම් පමණකට හෝ පාලනය කරන්න තිබුණා. එහෙත් දැන් එය කළ නොහැකියි. සමාගම් කියන්නේ ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම ප්‍රධාන හේතුව බවයි. කිරිපිටි පමණක් නොව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයකට උපරිම මිල නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදන අවලංගු වී තිබෙනවා. ඒවායේ මිල වැඩිකිරීම්ද අපේ අනුදැනුමකින් තොරව සිදුවන්නේ ඒ නිසයි. එසේ වුවද ඕනෑම භාණ්ඩයක් අලෙවි කරන්නේ නැතුව සඟවා තබා ගන්නවා නම් වැටලීම් කර ඒවා වෙළඳපොළට යොමු කිරීමට හා අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපට පුළුවන්. එය මිලෙන් ඔබ්බට ගිය කාරණාවක්.
ආනයන කිරිපිටි මිල ඉහළ ගිය ඇසිල්ලේම දේශීය කිරිපිටි මිලද එයට සමානුරෑප ලෙස ඉහළ යාම නිසා යම්තම් හෝ බලාපොරොත්තු තබාගෙන සිටි ජනතාවගේ එම අපේක්ෂාවද බිඳ වැටුණි. පැල්වත්ත කිරිපිටි සමාගම ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුව රුපියල් 105කින් ඉහළ නැංවූ අතර මුලින් රුපියල් 520ට අලෙවි කළ පැකට්ටුවක නව මිල රුපියල් 625ක් විය. කෙසේ වුවද මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මාධ්‍යවලට පවසා තිබුණේ තම සමාගම මිල ඉහළ නොදමන අතර අප්‍රේල් 1දා සිට කිරිපිටි වෙළඳපොළට නිකුත් කරන බවය. පැල්වත්ත කිරිපිටි සමාගම පවසනුයේ කිරි ගොවියාට මෙතෙක් ලීටරයකට ගෙවූ රුපියල් 100 මුදල 120 දක්වා වැඩිකර ඇති නිසා කිරිපිටි මිල වැඩි කිරීමට සිදුවූ බවකි. අද පවතින ජීවන වියදම සහ සතුන්ගේ කෑම බීම හා ඖෂධ මිල ඉහළ ගොස් ඇති නිසා ගොවීන්ට ලීටරයකට ගෙවූ රුපියල් 100 සාධාරණ නොවන බවද ඔහු කියයි.
මේ අතර ශ්‍රී ලංකා ජාතික කිරි ගොවි සම්මේලනයද පවසන්නේ කිරි ගවයන්ට ලබාදෙන ආහාර හා ඖෂධවල මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා කිරි ලීටරයකට දැනුට ගෙවන මිල රුපියල් 50කින් ඉහළ නැංවිය යුතු බවය. ලීටරයක් සඳහා නිෂ්පාදන වියදම පමණක් රුපියල් 150 වන බව ඔවුහු කියති. එම අවම මුදල හෝ නොලැබුණහොත් මෙරට කිරි ගව කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වන බවට ඔවුන් අනතුරු හඟවා තිබේ. එහි ජාතික සංවිධායක චම්ලි ජයරත්න කියන්නේ මේ වනවිට පුන්නක්කු කිලෝව රුපියල් 50 සිට 100 දක්වාද ඖෂධ මිලද විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි. කඹයක මිල රුපියල් 1000 සිට 2000 දක්වා එකකට එකක් වැඩි වී තිබේ. කිරිපිටි කිලෝවක් නිෂ්පාදනය කිරීමට ලීටර් 8ක කිරි ප්‍රමාණයක් අවශ්‍ය නිසා ලීටරයක මිල රුපියල් 200 ඉක්මවා ගොස් ඇතැයි ඔවුහු පෙන්වා දෙයි.
මේ අතර අප්‍රේල් මස මුල සිට සියලුම පළාත්වලට හිඟයකින් තොරව හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය කර බෙදාහැරීමට බව මිල්කෝ ආයතනය හරහා කටයුතු කරමින් සිටින බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
කිරි නිෂ්පාදනයට තෘණ හිඟය විශාල ලෙස බලපා ඇති අතර එයට පිළියමක් ලෙස මිල්කෝ ආයතනය ඉදිරි මාස හයක් තුළ අක්කර 2000ක තණ වගාවක් කිරීමට සැලසුම්කර ඇත. මිල්කෝ ආයතනයේ ලියාපදිංචි කිරි ගොවීන් වෙත මේ තණ ලබාදෙන අතර එමගින් තණ හිඟය අවම කිරීමට කටයුතු කරයි. මෙම සැලසුම ක්‍රියාවට නැගීම සඳහා වෙනම නිලධාරීන් දෙදෙනකුද පත්කර තිබේ. මෙම මාසය අවසන් වීමට පෙර අවශ්‍ය ඉඩම් මිල්කෝ ආයතනයට පවරා ගෙන ලබන මස තණ වගා කටයුතු ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍යංශය කියයි. මෙම තෘණ සහනදායී මිලකට ගොවීන් අතර බෙදාහරින අතර, දිගටම මෙම කාර්යයේ නිරත වනු ඇත.
තවද කෘත්‍රිම සිංචන කටයුතු සඳහා දැනට පැනනැගී ඇති දුෂ්කරතා විසඳීම තුළින් වැඩි දෙනුන් සංඛ්‍යාවක් ගැබ් ගැන්වීමට කටයුතු කරනු ඇත. සත්ව සංවර්ධන කෘත්‍රිම සිංචන ශිල්පීන්ගේ අඩුව සලකා බලා එම අය වැඩි කිරීමට කටයුතු කරන අතර ඔවුන්ට ගෙවන මුදල වැඩි කිරීමටද පියවර ගැනේ. කෙටිකාලීන විසඳුමක් ලෙස කෘත්‍රිම සිංචනයට එක සතෙකුට මෙතක් ලබාදුන් රුපියල් 250 මුදල 750 දක්වා ඉහළ නැංවීමට රාජ්‍ය අමාත්‍යංශය කටයුතු කරයි. ඉදිරි මාස 3 තුළ කෘත්‍රිම සිංචන ලක්ෂයක් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
එසේම කිරි ශීතකරණ මධ්‍යස්ථාන නොමැති ප්‍රදේශවලට අලුතින් මධ්‍යස්ථාන පිහිටුවන අතර එම මධ්‍යස්ථාන මගින් ගොවීන්ගේ සියලුම අවශ්‍යතාවලට පිළියම් යෙදේ. මෙම ව්‍යාපාරයේ තවත් පියවරක් වශයෙන් සෑම ගමකටම රුපියල් 150ක් වැනි අඩු මුදලකට දියර කිරි බෝතල් 100 බැගින් ලබාදෙයි. දැනට මිල්කෝ ආයතනය වැඩි මුදලකට කුලියට ලබාගන්නා ශීතාගාර වෙනුවට කර්මාන්ත ශාලා තුළ අලුත් ශීතාගාර ඇති කිරීමටද කටයුතු කරයි. කිරි බෙදාහැරීමට බවුසර් රථ 15ක් මිලට ගැනීමටද කටයුතු සිදුවන බව ඔහු කියයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි යෝගට් එකක මිල රුපියල් 20කින් හා යෝගට් පානය මිලි ලීටර් 180 බෝතලයක මිල රුපියල් 30කින් ඉහළ නැංවීමට ඒවායේ නිෂ්පාදකයන් පියවර ගෙන ඇත. මේවාට පාවිච්චි කරන ජෙලටින්වල මිල ඉහළ යාමද ආනයනික කිරිපිටි මිල ඉහළ යාමද මෙයට හේතු වී ඇත. යෝගට් හා යෝගට් පානය සකස් කර ශීතකරණවල ගබඩා කර තබාගෙන බෙදාහැරිය යුතු වුවද දැනට පවතින විදුලි කප්පාදුව හේතුවෙන් ශීතකරණ සඳහා අවශ්‍ය විදුලිය ලබා ගැනීමට ඩීසල් පාවිච්චි කිරීම නිසා ඩීසල් සඳහා වැඩි වියදමක් දැරීමට සිදුව ඇති බව ඔවුහු පෙන්වා දෙති. පවතින විදුලි කප්පාදුව නිසා ග්‍රාමීයව නිවෙස්වල සිදුකළ යෝගට් සකස් කිරීමේ කටයුතු නවතා දැමීමට සිදුවීමෙන් ස්වයං රුකියාවක් ලෙස කළ විශාල පිරිසකට විශාල අසාධාරණයක් සිදුව ඇත.
මෙම කර්මාන්තයේ යෙදෙන පිරිස් දේශීය කිරි පාවිච්චි කරන අතර දේශීය කිරි ලීටරයක මිලද විශාල ලෙස වැඩිවී තිබේ. මෙම තත්ත්වය මත මෙම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීම හැර අන් විකල්පයක් නැති බව ඔවුහු කියති.
රුපියල් 50කට අලෙවි කළ යෝගට් එක රුපියල් 70 දක්වාද රුපියල් 55ට අලෙවි කළ යෝගට් එක රුපියල් 75 දක්වාද අමතරව රුපියල් 60ට විකුණූ මිලි ලීටර් 180 යෝගට් පාන බෝතලයක් රුපියල් 90ක් දක්වාද ඉහළ නංවා ඇත.
මේ වනවිට රුපියල් 1500ට අලෙවි කළ ජෙලටින් කිලෝවක මිල රුපියල් 3500 ඉක්මවා මිල වැඩිවී තිබෙන අතර, රුපියල් 280ට විකුණූ යෝගට් හිස් කෝප්පයක මිල රුපියල් 10 දක්වාද රුපියල් 6කට අලෙවි කළ ප්ලාස්ටික් බෝතලයක මිල රුපියල් 20ක් වී තිබේ. රුපියල් 1345කට අලෙවි කළ කිරිපිටි කිලෝව රුපියල් 1945 දක්වා රුපියල් 600කින් මිල ඉහළ ගොස් ඇති බවද පෙන්වා දේ. මිල වැඩි කිරීමට මෙම හේතුද බලපාන බව ඔවුහු කියති.
දේශීය ගොවියාට යහපතක්
දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර:
&දේශීය කිරි ගොවියා ආරක්ෂා කිරීමට නම් ආනයන අධෛර්යමත් කළ යුතුමයි. ඒ අනුව මෙවර ආනයන කිරිපිටි වල මිල ඉහළ යාම නිසා ඉල්ලුම අඩුවීමෙන් ආනයන පහළ බැසීමට ඉඩ වැඩියි. ජනතාව දේශීය දේවලට නැඹුරුවීමට එය හොඳ ප්‍රවණතාවක්. ඒ නිසා අපි මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගත යුතුයි.
පසුගිය යහපාලන රජය කාලයේ ආනයනික කිරිපිටි කිලෝවකට පනවා තිබූ රුපියල් 225 බද්ද රුපියල් 2ට බැස්සුවා. ඒ නිසා දේශීය කිරි කර්මාන්තයට විශාල පහරක් වැදුණා. ආනයනික කිරිපිටි යෝගට් තැනීම සඳහාද පාවිච්චි කළ නොහැකිව තියෙන්නේ මේ මිල අධිකවීම නිසාය. කිරි ගොවියාට හොඳ මිලක් ලැබෙනවා නම් ඔවුන් දිරිමත් වෙනවා. අපේ රටට මහා පරිමාණ කිරි ගව කර්මාන්තයක් අවශ්‍ය නැහැ. ඉන්දියාවේ පවා කිරි කර්මාන්තය රඳා පවතින්නේ එරට සියයට 80ක් පමණ සිටින කුඩා ගොවියන් මතයි. ඉන්දියාව දියර කිරිවලින් අතිරික්තයි. ජනතාව පානය කරන්නේ දියර කිරි පමණයි. අපේ රටේ ගොවීන්ගෙන් සියයට 75 පමණ කිරි ගොවි කර්මාන්තයට යොමුකළ යුතුයි. ඔවුනට ඇත්තේ අක්කර 2 බැගින් වූ භූමි එම භූමියේ බෝග වගාව සමග කිරි ගවයන් ඇති කිරීම ඒකාබද්ධ කළ යුතුයි. එවිට භූමියේ සීමාවට වැඩිය ආදායම ඉහළ යනවා. ගවයන් 1-2 සිටින අයට පහසුකම් දිය යුතුයි.
වෙළෙඳ පොළේ පවතින මිල විකෘතිය නැති කිරීම අවශ්‍යයි. පාරිභෝගිකයා ගැන පමණක් බලලා හරියන්නේ නැහැ. ගොවියා ගැන තමා මුලින්ම බැලිය යුතු වන්නේ. මුල් වටයේ ගොවියාට සහන දීලා නිෂ්පාදනය නගා සිටුවලා දෙවන වටයේදී තමා පාරිභෝගිකයන්ට සහන දිය යුතු වන්නේ පශු සම්පත් මණ්ඩලයට අක්කර 30,000 විතර ඇත. එහි සතුන් හදලා නිෂ්පාදනය දියුණු කළ යුතු වෙනවා.
යසවර්ධන රුද්රිගු