අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් සම්බන්ධව සිදුවන කතාබහ කිසිදු ශ්‍රී ලාංකිකයකුට අලුත් පුවතක් නොවන තරම්ය. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල නිතිපතා ඉහළ යෑමත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිරන්තර හිඟවීමත් එවන් තත්ත්වයක් උදාවීමට ප්‍රමුඛතම හේතුවයි. තත්ත්වය එසේ වුවද අත්‍යවශ්‍ය භාණ්ඩ අර්බුදය පිටුපස මහජනයාට අනාවරණය වන තවත් පැතිකඩ රැසක් තිබේ. අප ඔබ සමඟ බෙදා ගැනීමට සූදානම් වන්නේ ඒ අතරින් එක් කතාවකි.
සැබැවින්ම ඇතැම් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආහාර සම්බන්ධ වෙළඳපොළ හිඟයට සහ අධික මිල ඉහළ යෑමට හේතු වී ඇත්තේ එම ද්‍රව්‍ය ආනයනය කිරීමට රට සතු නොහැකියාවම පමණක් නොවේ. මේ වනවිටත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රුගත් බහාලුම් විශාල ප්‍රමාණයක් කොළඹ වරාය තුළ රඳවා තබාගෙන ඇති බව පුරවැසියකු ලෙස ඔබ දැනගත යුතුමය. ඒවා නිදහස් කරගැනීමකට ආනයනකරුවෝද දැඩි වුවමනාවකින් පසුවෙති. එහෙත් එම බහාලුම් නිදහස් කර ගැනීමට ආනයනකරුවන් සතුව මුදල්ද තිබේ. එහෙත් ඔවුන් සතුව මුදල් ඇත්තේ රුපියල්වලිනි. සිය රුපියල් ඩොලර් කර ගැනීමට පවතින ආර්ථික අර්බුද හමුවේ ඔවුනට නොහැකිය. ඊට හේතුව මුළුරටම දන්නා පරිද්දෙන් ශ්‍රී ලංකාව සතුව තවදුරටත් ප්‍රමාණවත් ඩොලර් නොමැති වීමයි.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සංගමය ඉකුත්දා අනාවරණය කළ තිබූ පරිදි ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් පමණක් 1500 කට අධික ප්‍රමාණයක් නිදහස් කිරීමට නොහැකිව කොළඹ වරායේ සිරවී ඇත. ඔවුන් දිගින් දිගටම මෙම බහාලුම් නිදහස් කර ගැනීමට රජය සමගින් සාකච්ඡා කරමින් සිටියි. මෙම බහාලුම් නිදහස් කර ගැනීමට නම් සැපයුම්කරුවන්ට ඩොලර්වලින් ගෙවීමට අනිවාර්ය වී තිබුණි. එසේ හෙයින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් සරලවම ඉල්ලා සිටියේ සිය රුපියල්වලට ඩොලර් ලබාදෙන ලෙසයි. පසුගිය මාසය කිහිපය තුළ මෙම ඉල්ලීම විටින් විට ඉදිරිපත් වූ අතර මුල් අවස්ථාවේ රජය සතුව ඊට පිළියමක් නොවුණි. එහෙත් මේ වනවිට රජයට මෙන්ම ආනයනකරුවන්ටද යම් පොටක් පෑදී ඇතැයි කීම සාධාරණය. එහෙත් සම්පූර්ණයෙන්ම අර්බුද නිමාවන දිනක් තවදුරටත් නිශ්චිතවම සඳහන් කළ නොහැකිය.
පසුගිය අඟහරුවාදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ මුදල් අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වනු ලැබුවේය. ඉන්දියානු ණය ආධාර යටතේ මෙම බහාලුම් නිදහස් කර ගැනීම පිළිබඳ එහිදී සාකච්ඡා ඇතිවිය. ඉන්දියාවෙන් මෙරට ලබාදෙන ඩොලර් බිලියනක ණය ආධාරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම අයත් වන බැවින් මෙය සාධනීය ප්‍රවේශයක් විය. අනෙක් පසින් ඉන්දියානු ණය ඉල්ලා සිටීම පිටුපස පවා මෙම අර්බුදයේ බලපෑම වූ බව කිවයුතුය.
ඉකුත්දා පැවති සාකච්ඡාවේ ප්‍රගතිය පිළිබඳ අප වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියෙමු.
''ඉන්දියාවෙන් ආනයනය කළ සීනි, පිටි අල, ලුණු, මිරිස් ආදිය කන්ටේනර් 1200ක් පමණ වරායේ තිබෙනවා. Indian line for credit එක මුදල් ඇමැතිවරයා ඉන්දියාවත් සමඟ අත්සන් කිරීමෙන් පසු, එම ණය යෝජනා ක්‍රමය යටතේ මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කරගන්න මුදල් අමාත්‍යාංශය සහ වෙළඳ අමාත්‍යාංශය එක්ව ආරම්භ කළා. වෙළඳ අමාත්‍යාංශය මේ භාණ්ඩ ආනයනය කළ පිරිසට කිව්වා ඔන්ලයින් ලියාපදිංචි වෙන්න කියලා. ඒ සම්බන්ධව සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යවල දැන්වීම් පළකළා. ඒ අනුව ආනයනකරුවන් අදාළ ආකෘති පත්‍රය පුරවා වෙළඳ අමාත්‍යාංශයට යොමුකළ යුතුයි. වෙළඳ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යංශය සමඟ එක්ව එම ඉල්ලීම සලකා බලා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අනුමැතියෙන් ඉන්දියානු බැංකු වෙත යවනවා. ඉන්දියානු බැංකු මෙම භාණ්ඩ සැපයූ සැපයුම්කරුවන්ට ඉන්දියානු රුපියල්වලින් ගෙවනවා. ඒ සමඟ අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරට ආනයනකරුවන් වෙත නිදහස් වෙනවා.''
අමාත්‍යවරයා පෙන්වා දෙන ආකාරයට මෙම කටයුත්ත අවසානයක් දැකීමට තවත් සති කිහිපයක් ගතවනු ඇත. කෙසේ වෙතත් ආනයනකරුවන්ගේ පාර්ශවයෙන් මේ වනවිට නව දුක්ගැනවිල්ලක් ඉදිරිපත් වී තිබේ. ඉන්දීය ණය ආධාර යටතේ එරටින් ආනයනය කළ බහාලුම් මුදාගැනීම සඳහා රජය විසින් වැඩපිළිවෙළක් සකස් කළද ඇතැම් ඉන්දියානු සැපයුම්කරුවන් ඉන්දියානු රුපියල්වලින් සිය ගනුදෙනුව සම්පුර්ණ කිරීමට අකමැත්ත ප්‍රකාශ කර ඇති බව ඔවුහු කියා සිටිති. එම සැපයුම්කරුවන් ඇමෙරිකානු ඩොලර්වලින් සිය ගනුදෙනු සම්පූර්ණ කරන ලෙස ආනයනකරුවන්ට දන්වා ඇතැයි කියැවේ. එම තත්ත්වය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අර්බුදය තවත් සංකීර්ණ කරන්නකි.
කෙසේ වෙතත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳපොළට සැපයීමට හැකියාවක් ඇති බවයි.
''මෙම වැඩපිළිවෙළ අවසානයේ හිඟයකින් තොරව එම ද්‍රව්‍යයන් ලබාගැනීමට හැකියාවක් තිබෙයි. මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව (STC) මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සහල්, සීනි වැනි ද්‍රව්‍යවලින් කොටසක් ආනයනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එම භාණ්ඩ STC, සතොස, Q Shop යන ආදිය හරහා බෙදා හරිනවා. එනිසා අවුරුද්දට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.''
තත්ත්වය එසේ වුවද, මෙවැනි වැඩපිළිවෙළක් ප්‍රථමවතාවට ක්‍රියාත්මක වන බැවින් මේ සම්බන්ධව තාක්ෂණික ගැටලු ආනයනකරුවන්ට මතුව ඇතැයි දැන ගැනීමට ලැබේ. ඒ අනුව පසුගියදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙකු මාධ්‍ය වෙත පවසා තිබුණේ මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙකු ගෙන්වාගෙන තමන් වෙත යම් පැහැදිලි කිරීමක් සිදුකර ගැනීමට අවශ්‍ය බවයි. ඒ සඳහන් ඔවුන් ඉල්ලීමක් ද කර ඇති බව ඔහු පවසා තිබුණි.
මේ අතර මෙම ගැටලුවට සමගාමීව බහාලුම් වරායේ රඳවා තබා ගැනීම සම්බන්ධ ගාස්තුද, පසුගියදා ඉහළ ගිය බහාලුම් ප්‍රවාහන ගාස්තු මෙම කතාව තවත් මානයක් කරා රුගෙන යයි. ඒ අනුව හිඟයකින් තොරව භාණ්ඩ ලබාදීමට හැකිවුවද නොවූවද තිරිඟු පිටි, සහල්, සීනි, පරිප්පු ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් මෙම තත්ත්වය යටතේ තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. එම නිසාම මෙම අර්බුදයේ අවසාන වින්දිතයන් පාරිභෝගික මහජනතාව බව පැහැදිලිය.
චමිඳු නිසල් ද සිල්වා