හුදෙක් රැකියාවේ වගකීමට පමණක් තම සේවාව ලඝු නොකර හදවතින්ම තම රාජකාරිය මහා මෙහෙවරක් බවට පත්කර ගන්නට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යත්න දැරූ, හදවතින්ම ගහට කොළට, සතා සීපාවට ආදරය කළ පශු වෛද්‍යවරයකු ලෙස පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ අපි නිර්ලෝභීවම නිර්වචනය කරමු. වෘත්තිමය රාජකාරියක් සඳහා රිදියගම සෆාරි උද්‍යානයට ගිය එක් දිනයක පශු වෛද්‍ය ප්‍රියසාද් අපට මුණගැසුණු මොහොතේ ඔහුගේ දෑස් ඉදිමී තිබුණි. එසේ වූයේ ඇයිදැයි අප විමසූ විට වෛද්‍ය ප්‍රියසාද් කීවේ ආසාත්මිකතාවය වළක්වා ගැනීමට අදාළ ඖෂධයක් හෝ නොගෙන සතෙකුට ප්‍රතිකාර කිරීමට ගිය බවත් එම ප්‍රතිකාර කාර්යය නිසා තමන්ට මෙම අසාත්මිකතාව ඇතිවූ බවත්ය. ඒ පිළිතුර ඒ මොහොතේ ඔහු දුන්නේ තෘප්තිමත් සිනාවකිනි. මේක ඉක්මනින් හරි යයි. සතා දැන් සනීපෙන් ඉන්නවනේ. ඒ තෘප්තිමත් සිනහව සමඟ වෛද්‍ය ප්‍රියසාද් පැවසුවේ එයයි.
තමන් කාර්යබහුල බව රඟ දක්වමින්, තමන්ට පැයෙන් පැයට රුස්වීම් ඇති බව හඟවමින් පෙනෙන්නට රඟන රිදියගම සෆාරි උද්‍යානයේ ඇතැම් නිලධාරීන් සතු වූ බොරු රංගන පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ ළඟ තිබුණේ නැත. සතුන් පිළිබඳව අප සමඟ කතා කරද්දී ඔහු කතා කළේ ඉමහත් උද්‍යෝගයකිනි. සියුම් ලෙස එම උද්‍යෝගය විනිවිද අප හඳුනා ගත්තේ ඔහුගේ හදවත ගැඹුරෙහි ඒ සතුන් කෙරේ පැවති අප්‍රමාණ සත්ත්ව කරුණාවයි. ඔයාලා බය නෑ නේද? අපි ගාව ඉන්න ඩෝරාව ගේන්නද බලන්න... ඔහු එදා විමසුවේය. මෑතකදී සෆාරි උද්‍යානයට මුදාහැරි ඩෝරා සිංහ පැටියා එවකට සිටියේ පශු වෛද්‍ය ප්‍රියසාද්ගේ ආදරණීය රුකවල් මධ්‍යයේය. ඩෝරා සමඟ ඔහුගේ හැසිරීම අතිශය ආදරණීය හා ස්වභාවික විය. ඩෝරා ඔහු තුරුලු කරගත්තේ, සිපගත්තේ සුරතල් කළේ කුඩා දරුවකු සේ ස්නේහයකිනි. ඩෝරා ටික වේලාවකින් අප සමඟද යම් මිත්‍රශීලීත්වයක් පෑවේ පශු වෛද්‍ය ප්‍රියසාද් ඇසුරෙන් ලද උගැන්ම නිසා යැයි පශු වෛද්‍ය ප්‍රියසාද් සහ ඩෝරා අතර බැඳීම දකින විට නිරතුරුවම නැඟුණු හැඟීමයි.
කුඩා වියේදීම මව්පියන් වෙතින් ප්‍රතික්ෂේප වූ ඩෝරාට කිරි පොවන්නට දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිට පැමිණි අරුණසිරි මහතා මාස ගණනක් යනතුරු එකල ඩෝරාට පැයෙන් පැයට කිරි පොවද්දී පශු වෛද්‍ය ප්‍රියසාද් ද අරුණසිරි මෙන්ම රූ නිදිවරමින් මාස ගණනක් ඩෝරාට බෝතලයෙන් කිරි පොවන්නට අරුණසිරි හා වෙහෙසුණේය. ඩෝරා සිංහ පැටවා මව් සෙනෙහස උණුසුම අපේක්ෂා කරන බව තේරුම් ගත් වෛද්‍ය ප්‍රියසාද් සහ අරුණසිරි ඩෝරා සිංහ පැටියාව මාස ගණනක් යනතුරු රූ නිදියන විටත් තමන් ළඟට ගෙන තුරුලු කරගෙන නිදාගන්නට තරම් ඩෝරා කෙරෙහි කාරුණික විය. තම රාජකාරීත්වයේ සීමාවන්ට එහා ගිය උතුම් මනුෂ්‍යත්වයක්, සතුන් කෙරෙහි නිර්මල ආදරයක්, අනුකම්පාවක් ඔවුන්ගේ ජීවිත සුවපත් කරනු පිණිස උපන් හෘදයාංගම හැඟීමක් පශු වෛද්‍ය ප්‍රියසාද් තුළ වූ බවට ගෙනහැර දැක්විය හැකි මේ ආකාරයේ නිදසුන් කොතෙකුත්ය.
ම්ලේච්ඡයන්ගේ නින්දිත බියගුළු ප්‍රහාරයකට අසාධාරණ ලෙස ලක්වූයේ එවැනි ප්‍රශංසනීය පශු වෛද්‍යවරයෙකි. පාලනාධිකාරියේ, නිලධාරීන්ගේ අකටයුතුකම්වලට නොනැමුණු කොන්දක් ඔහුට තිබීම සැබැවින්ම ඒ නින්දිත ප්‍රහාරයට පැහැදිලිවම හේතුව විය.
එදා සිදුවූ ප්‍රහාරයේ පසුබිම් කතාව වෛද්‍ය ප්‍රියසාද් පැවසුවේ මේ අයුරිනි.
22 වැනිදා මගේ හිතවත් වෛද්‍ය රාජපක්ෂ මට කතා කර කිව්වා මගේ ආරක්ෂාවට හොඳ නැහැ. ඇතුළෙ කිහිප දෙනෙක් එකතුවෙලා මත්ද්‍රව්‍ය පානය කරනවා. සෆාරි උද්‍යානයෙන් පිටවෙන්න කියලා. මම එදා කොහොමත් පාක් එකෙන් එළියෙ හිටියේ නිවාඩු නිසා. මම ආරක්ෂාවට 119ට කතා කරලා පොලිසිය දැනුම්වත් කළා. නමුත් පොලිසියෙන් ආවෙ නැහැ. මගේ ළඟ සතෙක් ඉන්න නිසා බැරිම තැන මම ආපහු නිල නිවාසයට ගියා. පසුදින උදේ මම සාමාන්‍ය විදියට රාජකාරී කළා. නමුත් මෙහෙම සිදුවීමක් වුණා කියලා අධ්‍යක්ෂ ජනරාල්ට දැනුම් දීලයි හිටියේ. රාජකාරී කටයුතු කරද්දී මැඩම් කතා කරලා කිව්වා සෆාරි එකට එනවා කියලා. මගේ ආරක්ෂාවට සහ තවත් රාජකාරි කිහිපයකටයි මැඩම් ආවේ.
මගේ ළග චීටා සත්තු දෙන්නෙක් ඉන්නවා. මේ සතුන් දෙන්නා ආතතියෙන් ඉන්නේ මේ නිසා ඉක්මනටම එයාලව නිදහස් කරන්න ඕනෑ කියලා මම නියෝජ්‍ය අධ්‍යක්ෂතුමාට කියලා තිබුණා. නිදහස් කළේ නැත්නම් මේ සත්තු දෙන්නා මැරෙයි කියලත් කිව්වා. ඒකටත් මාත් එක්ක හිත් අමනාපෙන් හිටියේ. දවස් දෙකක් ඇතුළත මට හදලා දෙන්න කිව්වා. නැත්නම් සත්තු දෙන්නා ගැන වගකියන්න කිව්වා. එයාලා කැමතියි පශු වෛද්‍යවරයකු යටතට සතෙක් වැටුණාම එයා ලෙඩවුණාම මැරෙනවා නම්. හොඳ වෙනවට එයාලා කැමති නැහැ. මම සත්තු දෙන්නගෙ රුධිර නියැදි දිගින් දිගටම ගත්තා. ඒවා සාමාන්‍යයි. නමුත් සතුන් දෙන්නා ආතතියෙන් ඉන්නේ. මම කිව්වා එයාලට තියෙන හොඳම බෙහෙත එයාලව නිදහස් කරන එක කියලා. ෂර්මිලා රාජපක්ෂ අධ්‍යක්ෂක ජෙනරාල්තුමියගේ මැදිහත්වීමෙන් එය ඉක්මන් වුණා.
නියෝජ්‍ය අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ ජනරාල්, මම, රියැදුරු සහ සත්ත්ව බාරකරු අපි පස්දෙනෙක් පහරදීම වුණු දවසේ එය බලන්න ගියා. ඇතුළට ගියාම මට දුරකතන ඇමතුමක් ආවා සෆාරි උද්‍යානයට ඇතුළු වන බස් සියල්ලම නවතා තිබෙනවා කියලා. පිරිසක් ඔය පැත්තට ඇවිත් ඉන්නවා කිව්වා අපිට විරුද්ධව ඇටෑක් කරන්න. එතකොට දවල් 2.30ට විතර වෙලාව. මට ඒ වෙලාවේ තරහා ගියා. මොකද මමයි නියෝජ්‍ය අධ්‍යක්ෂයි පිටිපස්සෙ ආසනයේ ගියේ. එයාගේ දුරකතන ඇමතුම්වලින් මට තේරුම් ගියා මෙයා තමයි මේවා මෙහෙයවන්නෙ කියලා. බස් ඇතුළුවෙන එක අපි කාටවත් නවත්වන්න බැහැ. බස්වල පරිපාලනමය අයිතිය තිබෙන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂටයි. එහෙම දෙයක් කළා නම් එයාව අත්අඩංගුවට ගන්න ඕනෑ. මොකද ආයතනයේ දේපළ, එය ආදායම් නැවැත්වීමක්. මට මේ ගැන තේරුණු නිසා මම කිව්වා අනිවාර්‌ෙයන්ම පොලිසිය ගෙන්වන්න කියලා. ඊටපස්සෙ අපි හැමෝම ප්‍රධාන කාර්යාලයට එන්න පිටත් වුණා. ප්‍රධාන කාර්යාලය ආසන්නයට ආවාම ෂර්මිලා මැඩම් කිව්වා ඩෝරා සිංහ පැටියව බලන්න බැරිවුණු නිසා පොඩ්ඩක් ගිහින් එයාව බලමු කියලා. අපි ආපහු වාහනේ හරවගෙන ඩෝරා ඉන්න තැනට ආවා. අපි එතන ඉන්නකොට විස්සක් විතර පිරිසක් ආවා. එයාලා ආවෙ මැඩම්ට කෑගහන්න. අපිට පිටවෙන්න තිබුණෙ එකම දොරටුවයි. අපි ඒ පැත්තට යනකොට ඒ අය ඇවිත් ඔයා කවුද? ඔයා ඩී.ජී.ද? ඔයා ඩී.ජී. කියලා පිළිගන්නෙ නැහැ කියලා කිව්වා. එයාලත් එක්ක කතා කරන්න දෙයක් නැහැ කියලා මැඩම් එතනින් ඉවත් වුණා. එතන හිටිය කෙනෙක් මැඩම්ට අසභ්‍ය වචනයෙන් බැන්නා. මට ඒකට තරහ ගියා. මොකක්ද ඔයා කිව්වෙ කියලා මම තුන්පාරක් විතර ඇහුවා. එතකොට කෙනෙක් මගේ දුරකතනය ඇදලා අරගෙන මගෙ බඩට පාරක් ගැහුවා. පිටිපස්සෙන් තවත් කෙනෙක් තල්ලු කළා. පස්සේ මම දුරකතනය උදුරලා ගත්තා. ඊටපස්සේ අපි ආයෙම එන්න පිටත් වුණා. ප්‍රධාන කාර්යාලයට එද්දි ආයෙම කිහිප දෙනෙක් හූ කියන්න ගත්තා.
මට මේ ගැන පැමිණිලි කරන්න කිව්වත් ඇඟට තිබුණු අමාරුකම නිසා මම ගියේ නැහැ. පස්සෙ මම සූරියවැව රෝහලට ආවා. එතනින් හම්බන්තොට මහ රෝහලට ගියා. නමුත් මාව රෝහලෙන් ඉවත්කර ගන්නත් සමහර අය උත්සාහ කරනවා. මගේ බිරියව බය කරලා බලපෑම් කරලා තිබුණා.
අපි හැමවෙලාවෙම උත්සාහ කළේ ලාබය වැඩි කරන්නයි. ඒ නිසයි අපි වැඩසටහන් කරලා උද්‍යානය ගැන ප්‍රසිද්ධියක් ලබා දුන්නේ.
උද්‍යානයට ආහාර සපයන අයව බය කරලා ඒ අයගෙන් එක එක දේවල් ගන්නවා. සැපයුම්කරුවෝ තෝරගන්නකොට ටෙන්ඩර් දානවා. ඇතුළෙ ඉන්න නිලධාරින් තමයි ටෙන්ඩරයේ අයිතිකාරයෝ. බොරුවට පිට මිනිස්සුන්ගෙ නම් දාලා හදාගෙන තියෙනවා. ටෙන්ඩරයට ගෙවීම් කරනකොට හත් අට ගුණයක් මිල ගණන් වැඩියි. ආහාරවල ගුණාත්මක බව පරීක්ෂා කරන්නේ පශු වෛද්‍යවරයායි. එයාලා කොච්චර ගණන් දැම්මත් ගේන්නෙ ගුණාත්මක බව අඩු ආහාර. අපි ඒවා ප්‍රතික්ෂේප කළාම ප්‍රශ්න වෙනවා ඒ අයට. එතකොට නැවත ඒ ආහාර ගේන්න වෙනවා. දඩ වදිනවා. එහෙම වෙලාවට මම ආහාර ප්‍රතික්ෂේප කරන එක එයාලට ප්‍රශ්නයක්. මාව අයින් කළොත් තමයි එයාලට නිදහසේ වැඩ ටික කරගන්න පුළුවන් වෙන්නේ.
මෙතනට කලින් ආව වෛද්‍යවරු දෙන්නෙක්ව එළවගෙන තියෙනවා. මේවාට පාවිච්චි කරන්නෙ පහළ සේවකයන්වයි. ඒවට සමහර අයට සන්තෝසම් දෙනවා. මේක ඇතුළේ සත්තු මරලා එළියට යවන එක ප්‍රසිද්ධ රහසක්. උද්‍යානය අවට මිනිස්සු මේ ගැන දන්නවා. සෆාරි උද්‍යානයේ නිදැල්ලෙ ඉන්න සත්තු ඉන්නවා. එයාලව මැරුවා කියලා කාටවත් සංඛ්‍යාත්මකව හොයන්න බැහැ. හක්කා පටස් කාපු ඌරෙක් ඉඳලා මම මේ ගැන පැමිණිලි කළා. මට ඒකට බැන්නා. මම එයා යටතේ ඉන්න කෙනෙක් නෙවෙයි. ඇතුළෙ ඉන්න සතුන් වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරනවා. මේකට පරීක්ෂණයක් පවත්වන්න කිව්වත් එය කළේ නැහැ”
පශු වෛද්‍ය ප්‍රියසාද්ට සෆාරි උද්‍යානයේ තවත් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරය පිටුපස එක් හේතුවක් නොව හේතු රුසක් එකිනෙක ගැටගැසී පවතින බව පැහැදිලිය.
දේශපාලන පත්වීම් ලත් ඇතැම් අමන නිලධාරීන්ගේ උමතු බලයට, අකටයුතුකම්වලට, හැසිරීම්වලට, අහිංසක සතුන්ගේ ජීවිත බිල්ලට තබමින් ගෙන යන මාෆියාවන්ට නිර්භයව එරෙහිවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස පශු වෙද්‍යෙ ප්‍රියසාද් එදිරිවර්ණ ම්ලේච්ඡයන්ගේ අමන නින්දිත පහර කෑමකට ලක්වූ බව රටම දන්නා කරුණකි. මේ සිදුවීම පිළිබඳව රිදියගම සෆාරි උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් කරුණු විමසීමට අප කිහිප වරක් උත්සාහ කළද ඔහු පැවසුවේ මේ අවස්ථාවේ තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය. එහෙත් සිදුවූ සියල්ල පැහැදිලි විනිවිද පසුබිමක හෙට දවසේ මේ සංසිද්ධිය අරභයා සිදුවන්නේ කුමක්දැයි අපි විමසිලිමත්ව බලා සිටින වග අවධාරණයෙන් සඳහන් කර සිටිමු.
යුක්තිය ඉටු නොවුණොත් මම ඉවත් වෙනවා
පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ
මට ආරංචිවෙලා තියෙනවා මට පහරදුන් පුද්ගලයා නීතියෙන් ගැලවීම සඳහා නේවාසිකව ප්‍රතිකාර ගන්න කුඩා රෝහලකට ඇතුළත් වෙලා තියෙනවා කියලා. සෆාරි උද්‍යානයේ මේ මම සේවය කරන හයවැනි අවුරුද්ද. පසුගිය වසර පහ පුරාම මම දැක්කා සත්ත්ව ඝාතන, අකටයුතුකම්, වෙළෙඳාම්, ව්‍යාපාර, මහජන මුදල් අයථා භාවිත කිරීම් සිදුවෙන හැටි. ඒ පිළිබඳව මම සිටියේ දැඩි කලකිරීමකින්. මම රජයේ විශ්වවිද්‍යාලයකින් මහජන බදු මුදල්වලින් ඉගෙනගෙන මේ තනතුරට ඇවිත් ඉන්නෙ. සතුන් වෙනුවෙන් මම පෙනී සිටින්නෙ. මම දැක්කා කොහොමද අභ්‍යන්තරයේ ඉන්න සතුන් ඝාතනය වෙන්නෙ කියලා. පිටින් සතුන් අරගෙන ඇවිත් හිරකරගෙන ඉන්නෙ කියලා. මම තවදුරටත් සෆාරි උද්‍යානයේ සේවය කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ මේ රටේ රාජ්‍ය සේවකයන්ට තියෙන ආරක්ෂාව තහවුරු කළොත් විතරයි. හුඟක් සේවකයන් කලකිරීමෙන් ඉන්නෙ. ඒ අය මම වෙනුවෙන් එළියට එන්න බයයි. මොකද මෙහි ඉන්න සමහර බීමත් නිලධාරීන් රාත්‍රියේ ඔවුන්ට තර්ජනය කරනවා.හුඟක් සේවකයන් තමන්ගේ වැටුප බැංකු ණය සඳහා හරවලා තියෙන්නෙ. අතිකාල දීමනාවලින් තමයි ඔවුන් තමන්ගේ පවුල නඩත්තු කරන්නෙ. අතිකාල දීමනා නොලැබුණොත් ඔවුන්ට පවුලට යවන්න මුදලක් නැති වෙනවා. මේ නිසා එම පුද්ගලයන්ගේ අතිකාල දීමනා නොලැබෙයි කියලා ඔවුන් තමන්ගේ අධීක්ෂණ නිලධාරීන්ට බයයි. රාත්‍රී කාලයේ සෆාරි උද්‍යානයේ සතුන් ඝාතනය කරන උපක්‍රම, හක්ක පටස්, ඔවුන් එළියේ මස් වෙළෙඳාම් කරන ඒවා, සතුන්ට යවන ආහාර හොරකම් කරන ඒවා සියල්ල ඉදිරියේදී මම රටට හෙළි කරන්න සූදානම්. තත්ත්වය මේ විදිහටම පවතිනවා නම් මට සාධාරණයක් ඉටුවෙන්නෙ නැත්නම් එයින් පිළිබිඹු වෙන්නෙ මේ රටේ අයුක්තිය අසාධාරණය රජ කරනවා කියන එකයි. මේ වගේ වංචාවන් අකටයුතුකම් වෙනවා නම් අපේ රට මේ විදිහට වලපල්ලට යන එක වළක්වන්න බෑ. සෆාරි උද්‍යානයේ මගේ දැනුම අනුව දෛනික වියදම ලක්ෂ දාසයක්. ඉතින් පහුගිය අවුරුදු ගණන පුරා ඉපයූ මුදල කොච්චරද කියලා හිතාගන්න පුළුවන්. මට තවදුරටත් හැකියාවක් නෑ දේශපාලන පත්වීම් අරගෙන ඇවිත් මේ වගේ කාලකන්නි ලෙස රාජ්‍ය මුදල් අයථා ලෙස භාවිත කරමින් තමන්ගේ අභිමතය පරිදි තමන්ගේ සුඛෝපභෝගී ජිවිතය, පවුලේ සුඛ විහරණය තරකර ගන්න පිරිසක් එක්ක ඉන්න. මේ ප්‍රශ්න ගැන ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරලා ඉක්මනින් සලකා බලලා අභ්‍යන්තරයේ ඉන්න දූෂිත පුද්ගලයන් වහාම ඉවත් කරලා මේ ආයතනය බේරා දෙන්න. මම තවදුරටත් රිදියගම සෆාරි උද්‍යානයේ සේවය කරනවාද කියන එක තීරණය වෙන්නෙ ඒ අනුවයි. පසුගිය වසර පහ පුරාම මගේ මානසික පීඩනය, මගේ ආතතිය, මට රාජකාරි කරගෙන යාමට කළ බාධා කිරීම් අති බහුලයි. ඒ සම්බන්ධව මා ළඟ සියලු තොරතුරු තියෙනවා. මට සිදුවුණු අසාධාරණය ගැන යුක්තිය ඉටු නොවුණොත් මම රිදියගම සෆාරි උද්‍යානයෙන් ඉවත් වෙනවා.
සංජීවිකා සමරතුංග සහ අනීෂා මානගේ
සේයාරූ - සුමුදු හේවාපතිරණ සහ අන්තර්ජාලය