2022 මාර්තු 27 වන ඉරිදා

සිමෙන්ති අහස උසට නගිද්දී ඉදිකිරීම් බිමටම කඩා වැටෙයි!

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 20

ඩොලර් හිඟකම නිසා ආර්ථිකය අවුල්ය. ආර්ථිකය අවුල් නිසා රට අවුල්ය. රට අවුල් නිසා ජනතාව අවුල්ය. මේ දාමය නිසා බොහෝ ජනයා සිටින්නේ ඉච්ඡාභංගත්වයෙන් බව අමුතුවෙන් කිවයුතු නැත. 

රටේ සල්ලිකාරයා නැහෙන්නේ ඔහුට අවශ්‍ය දේවල් ගන්න නැතිවය. දුප්පත් මිනිහා තැවෙන්නේ සල්ලි නැතිවය. එහෙත් මොනදේ වුණත් අවසානයේ මේ දෙන්නාම එකම පෝලිමේය.

කෙසේ වෙතත් මේ දවස්‍වල ලොකුම ප්‍රහාරය එල්ල වී ඇති තවත් එක් ක්ෂේත්‍රයක් වන්නේ ඉදිරිකිරීම් ක්ෂේත්‍රයටයයි. මේ වනවිට ඉතාම බරපතළ අවුලකට මුහුණ දී සිටින ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ඇතිව තිබෙන අර්බුදය සුළුපටු නැත.

එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ සිමෙන්ති මිල ඉහළ යාමය. දැනට වෙළඳ පොළේ සිමෙන්ති මිල 1850කි. එය 1300 සිට එකවර 550කින් වැඩිවීමක් බවත් එය ඉතාම ජාවාරම්කාර වංචාවක් බවත් ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය. ඔහු සඳහන් කරන්නේ මෙය අසීමිත වැඩිකිරීමක් බවත් අවම වශයෙන් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1350කට ලබාදීමට හැකියාව ඇති බවත් ඔහු කීය. උපරිමය වශයෙන් 1500කට වුවද ලබාදීමට හැකියාව තිබියදී මේ අකාරයෙන් මහා පරිමාණයෙන් ජනතාවගෙන් මුදල් සූරාකෑම බරපතළ වරදක් බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙයට හේතු වූයේ අලුතින් ආරම්භ කළ සිමෙන්ති කම්හල විසින් ගොඩනගන ලද සිමෙන්ති මාෆියාව බවයි ඔහු සඳහන් කරන්නේ. එම කර්මාන්ත ශාලාව විසින් එකවර සිමෙන්ති මිල අසීමිත ලෙස ඉහළ දැමූ බවත් ඒ හරහා අනෙකුත් සිමෙන්ති මිලද ඉහළ ගිය බවත් හෙතෙම සඳහන් කළේය.

මේ නිසා ගොඩනැගිලි ඉදිකිරීම්වල මිල ගණන් ඉහළ යාමත් නිසා මේ වනවිට ඉදිකිරීම් ක්ෂේත්‍රය බරපතළ අවුලකට මුහුණ දී ඇති බවත් ලියානාරච්චි මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් මේ තත්ත්වය මත ඉදිකිරීම් කර්මාන්තකරැවන් දැඩි ලෙස අසරණ වී ඇත. ලියනාරච්චි මහතා සඳහන් කළේ කුඩා ඉදිකිරීම් කර්මාන්තකරුවන් 50%ක් පමණ මේ වනවිට සිය ව්‍යාපාර අත්හැර දමා ඇති බවය. එයට හේතුව වන්නේ ඔවුන්‍ට අධික වියදම් දරාගැනීමට නොහැකි වීම සහ පාරිභෝගිකයන් අවශ්‍ය මිල ගණන් ගෙවීමට අකමැත්ත ප්‍රකාශ කිරීමත්ය.

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදී දැනගන්නට හැකිවූයේ දැනටමත් ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යාපෘති සඳහා අවශ්‍ය සිමෙන්ති ලැබෙන බවය. එහෙත් ඇතැම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය සිමෙන්ති ලැබුණද කොන්ත්‍රාත් ගිවිසුම හරහා මිල ගණන් තීරණය කළත් වර්තමානයේ මිල ගණන් වෙනස් වීම හරහා වැඩිවූ මිල ගණන් සඳහා මුදල් ලැබීම ගැටලුවක් වී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් මේ අකාරයට ආණ්ඩුවෙන් තමන්ගේ ගැටලු සඳහා මැදිහත් නොවුණහොත් නුදුරේදීම එම කර්මාන්තය කඩා වැටෙන බව ඔවුන්ගේ අදහස වී ඇත. සිමෙන්ති කොට්ටයක් 1850ක් වීම තුළ ගෙවල් සැදීම අතරමඟ නවතා ඇති නිසා ඉදිකිරීම් කර්මාන්තයේ බොහොමයකට රැකියා අහිමිව ඇති බවත් එම ක්ෂේත්‍රයේ අය පවසති.

මේ අතර ඉදිකිරීම් සංගමය විසින් ආණ්ඩුවට යෝජනා කර ඇත්තේ සිමෙන්ති පිටරටින් ආනයනය කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසය. එසේ වුවහොත් කර්මාන්තයේ කඩාවැටීම් අවම කරගත හැකි බව දන්වා ඇත. එහෙත් ඊට රජයෙන් අවසර ලබාදී නැත. ඒ මෙරට සිමෙන්ති කර්මාන්ත ශාලා ඇති නිසාය. එහෙත් එය ලබා නොදුනහොත් අනාගතයේ මෙම ක්ෂේත්‍රය ආරක්ෂා වනු ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ නිසා ඔවුන් පවසන්නේ වහාම මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතු බවය. 

 ගයාන් ගාල්ලගේ

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05