බොහෝ දෙනාට දැන් ඇති දේශපාලනමය ප්‍රශ්නයක් වන්නේ ආණ්ඩුවෙන් ඉවත් කළ අය කුමක් කරන්නේද යන්නය. මහා අඬ බෙර ගසා ඉවත් වුවත් ඔවුන් කරන්නේ කුමක්ද තවමත් බොහෝ දෙනා දන්නේ නැත. ඊටත් වඩා ඔවුන්ගේ සද්දයක්ද නැත. විමල් සහ ගම්මන්පිලත් යම්දෝ නොයම්දෝ කියා සිටින වාසු ඇතුළු ඔවුන්ගේ පක්ෂවල සාමාජිකයනුත් තවමත් සිටින්නේ මොන වගේ අදහසකද යන්න හැමෝටම ප්‍රශ්නයකි.
කෙසේ වෙතත් ආණ්ඩුව සමඟ මුල්ම ගැටුමේ සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටියේ ඔන්න මෙන්න එළියට යන මට්ටමකිනි. එහෙත් මොකක්දෝ සබඳතාවයක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවේචන දරාගෙන සිටියත් පක්ෂ 11 සමඟ එළියට විත් විමල් සහ ගම්මන්පිල කළ විවේචනය ආණ්ඩුව දරාගෙන සිටියේ නැත. ඒ නිසා විමල්ලා ආණ්ඩුවට හරි මඟ පෙන්නන්න ලෑස්ති වුවත් අවසානයේ ඔවුන් මහ මඟට තල්ලු විය.
එසේ එළියට පැමිණි විමල්ලා එක පිට එක පිට ආණ්ඩුවත් රාජපක්ෂ පවුලත් විවේචනය කළේ නැවත කිසි දිනෙක ආණ්ඩුව සමඟ එක් නොවන බවත් පක්ෂ 11 වෙනම ගමනක් යන බවත් දන්වමින්ය. ඒ නිසා බොහෝ දෙනා සිතුවේ ශ්‍රිලනිපයේද පිරිස ආණ්ඩුවෙන් ඉවත්වනු ඇතැයි කියාය. විමල්ට ගම්මන්පිලට අවස්ථාවක් නොදුන් ජනාධිපතිවරයා මෛත්‍රීපාල කණ්ඩායමට අවස්ථාවක් ලබාදුන්නේය. ශ්‍රීලනිපය ඔය කාට කාටත් කලින් ආණ්ඩුව සමඟ ගැටුම් තිබුණ නිසා බොහෝදෙනා හිතුවේ ශ්‍රීලනිපය ගෝඨාභය රාජපක්ෂට ආයුබෝවන් කියා එළියට බසිනු ඇතැයි කියාය. එහෙත් අවසානයේ ශ්‍රීලනිපය තවදුරටත් ආණ්ඩුවේ නැවතී සිටීමට තීරණය ගත්තේය.
එසේ ශ්‍රීලනිපය ආණ්ඩුවේ සිටීම බොහෝ දේශපාලන විචාරකයන්ගේ විවේචනයට ලක්විය. එයට හේතුව එකම කණ්ඩායමක් ලෙස සිට එකම තීරණය ගැනීම වෙනුවට වෙනම තීරණයක් ගැනීම හරහා ශ්‍රිලනිපයට අවාසි සහගත වන බව කියාය. එහෙත් ශ්‍රීලනිපය එය ගණනකට ගත්තේ නැත.
මෙහි හොඳම දේ වන්නේ ශ්‍රීලනිපයේ යෝජනාවක් වූ සර්වපාක්ෂික සමුළුව සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුවෙන් ඈත්ව සිටින කණ්ඩායම රැගෙන ඒමේ වගකීමක් මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීමය. එය අභියෝගයක් විය. එහෙත් මෛත්‍රීපාල මහතා එම යෝජනාව පක්ෂ 11ට ගෙනාවත් ඒ කිසිවකු සමුළුවට සහභාගි වීමට එකඟ වූයේ නැත. මේ සඳහා දෙදෙනකු පමණක් සහභාගි කරවීමට තීරණය කෙරිණි. ඒ මෛත්‍රීපාල මහතාගේ ඉල්ලීමට බෑ කියන්න බැරිකම නිසාය. එහෙත් විමල්, ගම්මන්පිල, වාසු ඊට සහභාගි වුණේ නැත.
කෙසේ වෙතත් මේ අතර විමල්, ගම්මන්පිල ඇතුළු කණ්ඩායම විමල් සුළඟක් ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක කරන්නට ගියේය. එහෙත් ඊටද යම් බාල්දියක් පෙරළුණේ මේ වෙලාවේ ආණ්ඩුව සමඟ කරට කර ගැටීම එතරම් සුදුසු නැති බව බොහෝ අය දැන සිටි බැවිනි. අවසානයේ එයද මග නවතා දැමීමට සිදුවිය.
එසේම තවත් යෝජනාවක් පක්ෂ 11 විසින් ගෙන එනු ලැබීය. ඒ සන්ධානයක් සැකසීම සඳහාය. එහෙත් ආණ්ඩුවේ සිටිමින් තවත් සන්ධාන සැදීම මේ අවස්ථාවේ නොකළයුතු දෙයක් ලෙස බොහෝ දෙනා කීහ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවතත් බුලත් කොළය හෙවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනැගීම සඳහා පිඹුරු පත් සකසන්න පටන්ගෙන ඇත. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ඉක්මනින් පක්ෂ 11 එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත ඇද බැඳ ගැනීමටය. එහෙත් ඊට තවම අනෙක් පක්ෂ එකඟ වී නැත. ඔවුන්ගේ අදහස වී ඇත්තේ වෙනම අලුත් සන්ධානයක් ගොඩනැගීමටය. එම සන්ධානයේ නායකත්වය ඊළඟ ජනාධිපති අපේක්ෂකයාට ලබාදීමට තීරණය කර ඇත. එහෙත් එම අපේක්ෂකයා කවුද යන්න තවම දන්නේ නැත. එම අපේක්ෂකයා වර්තමන ආණ්ඩුවේ අයකු විය හැකි බවද දැනගන්නට ඇත.
එහෙත් මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වන්නේ ඔවුන්ගේ නායකයා ඉදිරිපත් කිරීමටය. නමුත් ඊට අනෙකුත් පක්ෂ කැමැත්තක් දක්වා නැත. මෙය ඉතාම රහසිගතව සිදු වුවත් මේ වනවිට සියල්ලම දන්නා රහසක් වී ඇත.
කෙසේ වෙතත් විමල් ගම්මන්පිල සහ වාසු ඇතුළු කණ්ඩායම මේ වනවිට තමන්ගේ විරෝධය ආණ්ඩුවට පළකරන අතරේ ඔවුන්ගේ හරිමග වැඩසටහන ගමින් ගමට රැගෙන යාමට තීන්දු කර ඇත. ඔවුන්ගේ ඉරණමට පාරා වළල්ලක් වූ හරි මග ඔවුන්ගේ ඉරණමේ දෙවැනි නැගිටීම ලෙස යොදාගන්නට ඔවුහු මේ වනවිට කටයුතු කරමින් සිටිති. එහෙත් එය කෙතරම් සාර්ථක වෙයිද යන්න දන්නේ නැත. ඊට හේතුව ආණ්ඩුවෙන් ඉවත් වන පිරිස තවම නිශ්චිත නැති නිසාය. ඒ හේතුවෙන් මේ වනවිට එම පක්ෂ 11 සිටින්නේ ඉතාම තීරණාත්මක මොහොතකය. එය කෙසේ විසඳෙයිද යන්න තවම රහසක්ය.
කෙසේ වෙතත් පසුගියදා විමල් නුවරදී මහනායක හිමිවරැන් බැහැදැක බරපතළ ප්‍රකාශයක් කළේය. ඒ ආණ්ඩු 113 බහුතරයද අහිමි කරන බවය. එය බරපතළ ප්‍රකාශයක් මෙන්ම කළ හැකි දෙයක්ද නොවේ. ඒ නිසා ඇත්තටම අපි දොරේ හඬ වගේ අනෙක් හඬවල්ද දන්නා බව කියමු.
I ගයාන් ගාල්ලගේ