අල්ලපු ගෙදර අයියාගේ උපදෙස හරිද?
මගේ වයස අවුරුදු 47ක්. මම අවුරුදු 10ක ඉඳන් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකුගෙන් දියවැඩියාවට බෙහෙත් ගන්නවා. දියවැඩියාව හොඳින් පාලනය වෙලා තිබුණා. නියමිත කාලයේදී වකුගඩු පරීක්ෂාත් කරනවා. දැනට නම් වකුගඩු අසනීපයක් නෑ. ඒත් මට අපේ අල්ලපු ගෙදර අයියා කිව්වා දියවැඩියාවට දොස්තරලා ලබාදෙන මෙට්ෆෝමින් කියන ඖෂධය බොන්න එපා ඔය බේතෙන් වකුගඩු නරක් වෙනවා කියලා. වෛද්‍යතුමනි මේ කතාව ඇත්තද? මා කුමක් කළ යුතුද?
ධම්මිකා - තලවතුගොඩ
උපදෙස:
සුදුසුකම් තියෙන වෛද්‍ය විශේෂඥවරයකු යම් රෝගයකට යම් ඖෂධයක් නිකුත් කරන්නේ නිසි අධ්‍යයනයකින් වගේම විද්‍යාත්මකව තහවුරු කිරීමකින් පසුවයි. ඔබ කියන ආකාරයට ඔබේ අල්ලපු ගෙදර අයියා කවරාකාරයේ රෝගවලට බේත් කරන වෛද්‍යවරයකුදැයි මම නොදනිමි. මෙට්ෆෝමින් (Metformin) කියන ඖෂධය නිසි අධ්‍යයන සිදු කර භාවිතයට නිර්දේශ කර ඇති ඖෂධයක්. මෙට්ෆෝමින් ඖෂධයෙන් කිසිවිටක වකුගඩු නරක් වීමක් සිදුවන්නේ නෑ. එය ස්ථිරවම කියන්නට පුළුවන්. එහෙත් දියවැඩියාව කාලයක් තිස්සේ පාලනය නොවී තිබුණොත් වකුගඩු නරක් වීමට පුළුවන්. එහෙම රෝගීන්ට මෙම ඖෂධය නියම කරනුයේ ඔවුන්ගේ වකුගඩුවල තත්ත්වය පරීක්ෂා කිරීමකින් පසුවයි. මෙම ඖෂධය නවත්වනවා නම් ඒ වෙනුවට වෙනත් ඖෂධයක් ආදේශ කරන්න වෙනවා. මෙවැනි ප්‍රශ්නවලදී පමණක් නොව ඔබේ ජීවිතයට සම්බන්ධ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් උපදෙස් ගන්නවා නම් ඒ අදාළ විෂයය සම්බන්ධයෙන් සුදුසුකම් ලබපු කෙනකුගෙන් නිසි උපදෙස් ලබාගන්න. හැමදේටම අල්ලපු ගෙදර අයියාගෙන් බේත් ගැනීමෙන් වළකින්න.
කන්‍යාභාවය නැතිවුණාම පෝරුවෙන් වැටෙයිද?
මම ලබන අගෝස්තු මාසයේ විවාහ අපේක්ෂාවෙන් සිටින අවුරුදු 25ක තරුණියක්මි. ප්‍රේම සම්බන්ධය පටන්ගෙන දැනට මාස 4යි. මේ අතරතුර කාලයේ අපි ගොඩාක් තැන්වල ඇවිදින්න ගියා. සමහරදාට නයිට් ක්ලබ් පවා ගියා. එයා මට බොන්න පුරුදු කළා. අපි දෙන්නා හෝටල්වලටත් ගිහින් ගොඩාක් විනෝද වුණා. මම ඔහු විශ්වාස කළා. ඒ නිසා ඔහු එක්ක ලිංගික එක්වීමෙන් මගේ කන්‍යාභාවය මට නැතිවුණා. මට දැන් කන්‍යාභාවය අහිමියි. පෙම්වතාගේ යාළුවෙක් එයාට කියලා තියෙනවාලු කන්‍යාභාවය නැතිවුණාම ඕන වෙලාවක ඒක ආයෙ ආයෙත් හදාගන්න පුළුවන් කියලා. වෛද්‍යතුමනි, එසේ කරගන්නවා නම් කොහොමද කරගන්න පුළුවන්? ඒ වගේම සමාජ මාධ්‍යවලින් මමත් දැකලා තියෙනවා ගොඩාක් අය කියනවා කන්‍යාභාවය නැති තරුණියන් කසාද බඳින්න පෝරුවට නැග්ගාම පෝරුවෙන් වැටෙනවා කියලා. මේ නිසා මම ගොඩාක් බයෙන් ඉන්නේ. මට මේක ලොකු ප්‍රශ්නයක්. වෛද්‍යතුමනි මම මේ ප්‍රශ්නයට කුමක් කළ යුතුද? මාවත් පෝරුවෙන් වැටෙයිද?
නතාලි - කොළඹ
උපදෙස:
කන්‍යාභාවය පිළිබඳ වැරැදි මත බොහොමයක් තිබෙනවා. සමහරුන්ගේ මෙය පිහිටා තිබුණත් සමහරුන්ගේ මෙය පිහිටා නැති වෙන්නත් පුළුවන්. ක්ලාන්තය සෑදීමයි කන්‍යා පටලයයි අතර කිසිදු විද්‍යාත්මක සම්බන්ධයක් නෑ. එහෙයින් සමාජයේ පැතිරෙන මිත්‍යා විශ්වාස එල්බගෙන ජීවත් නොවන්න. අධික තෙහෙට්ටුව අධික මහන්සිය නිසා ක්ලාන්ත ගතියක් ඇතිවුවත් කන්‍යා පටලය හේතුවෙන් ක්ලාන්තය ඇතිවෙනවා යැයි කීම තනිකරම බොරුවක්. පෝරුව සවි ශක්තියට තනා ඇත්නම් ඒත් ඔබ පමණක් නොව ඔබ දෙපළම නොවැටෙනු ඇත.
අනෙක් කාරණය කන්‍යා පටලය නැවත සැකසීමට හැකිදැයි කියා ඔබ මෙම ප්‍රශ්නයෙන් අසා තිබෙනවා. කන්‍යා පටලය නැවත සැකසීමට සිතනවාට වඩා තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරගැනීම තමන්ගේ වගකීම බව පමණක් සිහිපත් කරමි. ආදරයයි මත්පැන් අතරයිත් කිසිදු සම්බන්ධයක් නැත.
එහෙයින් ඔබේ ආදරවන්තයා ඔබට මත්පැන් පානයට හුරු කිරීමට සැරසෙන විටම සැබෑ ආදරය කුමක්දැයි ඔබ වටහා ගැනීමට අසමත් වී ඇත. තමන්ගේ ජීවිතයේ වටිනාකම අවබෝධයෙන් සහ වගකීමෙන් කටයුතු කිරීම ඔබ මෙන්ම සියලු දියණිවරුන් අවබෝධ කරගත යුතුම කරුණක්. තමන්ගේ ජීවිතය අඳුරට ගෙන නොයාම දියණිවරුන් වන තමන්ගේ වගකීමකි.
මිත්‍යා විශ්වාස පසුපස හඹා නොයන්න. අවසාන වශයෙන් ඔබට ලබාදීමට ඇති උපදෙස වන්නේ ඔබේ සුන්දර විවාහ ජීවිතයට කන්‍යා පටලය බාධාවක් නොකරගෙන ඔබේ අනාගත දිවිය සාර්ථක කරගන්න.
පිළිකා ගැන තිබෙන ඔය මතය වැරදියි
මගේ පවුලේ මමයි අක්කායි අම්මායි තාත්තායි විතරයි. මේ ප්‍රශ්නය මම යොමුකරන විටත් මගේ අක්කා දරුණු පිළිකා මාරයා එක්ක ලොකු සටනක් කරනවා. වෛද්‍යවරු කියන විදිහට එයාට තියෙන්නේ පෙනහල්ලේ පිළිකාවක්. ඒක ඇඟේ ටිකක් පැතිරිලාලු. හිතුවෙවත් නැති කාලෙක හිතාගන්නවත් බැරි තරමට ඇයගේ බර එකපාරටම අඩුවුණා. මේ තත්ත්වය මුල් කාලයේ හඳුනගන්න කිසිම වෙනසක් පෙන්නුවේ නෑ. ඒ නිසා මේක මුලින්ම පරීක්ෂා කරද්දීත් ටිකක් පැතිරිලා තිබ්බා. වෛද්‍යවරුන් පැවසූයේ ඒ නිසා සැත්කමකින් හෝ රේඩියෝ තෙරපිවලින් අදාළ කොටස ඉවත් කරන්න අමාරුයි කියලා. දැනටත් බේත් කරනවා. ලේ පර්ෙය්ෂණ කරනවා. ගොඩාක් අය අක්කාගෙ තත්ත්වය අහන්න දුක සැප බලන්න කතා කරනවා. ඒත් ඒ සමහරු කියන දේවල් එයාල දන්න කියන අයට වෙච්ච මේ හා සමාන අත්දැකීම් කියද්දී ඒවා අහන් ඉද්දී ජීවිතේ එපා වෙනවා. සමහරු කියනවා පිළිකාවක් තියෙනවා නම් ගොඩ එන්න අමාරුයිලු. බේරගන්න ගොඩක් මහන්සි වෙන්න වෙයිලු. මගෙ අක්කා බේරාගන්න කරන්න පුළුවන් ඕනෑම දෙයක් මම කරන්න කැමැතියි. වෛද්‍යතුමනි, මට ඇත්තම කියන්න. හිත රිදෙයි කියලා නොකියා ඉන්න එපා. පිළිකාවක් හැදුනොත් මැරෙනවාමයි කියන්නෙ ඇත්තද? මම මගෙ අක්කාට ගොඩාක් ආදරෙයි.
මතීෂ - මහනුවර
උපදෙස:
පිළිකාවක් හැදුනොත් මැරෙනවාමයි කියන කතාව මේ සමාජයේ නිතරම අහන්න දකින්න ලැබෙන වැරදි මතයක්. ඇතැම් අවස්ථාවල පිළිකාව ශරීරය පුරා වේගයෙන් පැතිරීමෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වන අවස්ථා තිබුණත් අපේක්ෂා රෝහලෙන් වසරකට දහස් ගණන් රෝගීන් නිසි ප්‍රතිකාර ලබා සුව වී යන බව ඔබට පවසමි. පැතිරීමේ ස්වභාවය අනුවත් පෙනහළු පිළිකාවේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. එහෙයින් පිළිකාවක් තිබූ පමණින් රෝගීයා මියයනවාමයි කියන මතයට අවතීර්ණ නොවන්න. මේ සම්බන්ධයෙන් මා ලබාදෙන උපදෙස වන්නේ පිළිකා රෝග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ඔබේ සොහොයුරියගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් විමසා දැනගෙන එම පිළිකාව මර්දනයට අවශ්‍ය නිසි ප්‍රතිකාර නිසියාකාරව ලබාගන්න. වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු නොකළ දෙයක් කාගේවත් කීමට පිළි නොගන්න. ඔබට පැවසීමට ඇති අනෙක් විශේෂම කාරණය තමන්ගේ හෝ තම සමීපතමයන්ගේ රෝග අනවශ්‍ය පුද්ගලයන්ට පැවසීමට නොයන්න. අවශ්‍යම මොහොතක අවශ්‍යම අයකුට හැර දන්න කියන හැමෝටම රෝගාබාධ පිළිබඳ පැවසීම වැරුදි පුරුද්දක් බවත් පැවසීමට කැමතියි.
වයස 28යි. හිසකෙස් සුදු වෙලා
28 හැවිරිදි මාගේ හිසකෙස් ස්වභාවිකව සුදු වී තිබේ. රාජකාරියට යාමේදී තෙල් වර්ගයක් ආලේපනය කරන මා කාර්යබහුල වීම හේතුවෙන් බොහෝ වෙලාවට ස්නානය කිරීමට සිදුවන්නේ රාත්‍රී කාලයේදීය. මෙය රෝගී තත්ත්වයක්ද? පාලනය කර ගැනීමට උපදෙසක් ලබාදෙන්න.
හසිත - රත්නපුර
උපදෙස:
හිසකෙස් සුදුවීම එකිනෙකාට වෙනස් වෙනවා. පීනස සහ සෙම්රෝග ඇති අයටත් මෙලෙස හිස කෙස් සුදුවීමට පුළුවන්. මෙය රෝග තත්ත්වයක් නොවෙයි. මේ සඳහා කළ හැකි දේ වනුයේ සුදුසු වර්ණකයක් භාවිතයෙන් හිසකෙස් කළු කර ගැනීමයි. සුදුසු වර්ණක තෝරාගැනීමේදී ආසාත්මිකතා සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ යුතුයි. එසේත් නැතිනම් ආහාර මගින් හෝ වෙන යම් ක්‍රමයකට හිසකෙස් සුදු කරගැනීමට නොහැකියි.
මාසයට දෙතුන් සැරයක් මළබද්ධය
මම 35 හැවිරිදි තරමක් තරබාරු අයෙක්මි. වසර 10ක සිට අර්ශස් රෝගයෙන් පීඩා විඳිමි. මාගේ ගුද මාර්ගයෙන් ලේ යයි. මාගේ රාජකාරියේ හැටියට බොහෝ වෙලා එකතැන වාඩිවී සිටීමට සිදුවෙයි. මාසයට දෙතුන් සැරයක් මළබද්ධයෙන්ද පීඩා විඳිමි. කලකට ඉහතදී මත්පැන් පානය කළත් මේ වනවිට මෙම රෝගී තත්ත්වය හේතුවෙන් ලැබුණු වෛද්‍ය නිර්දේශ මත එය අත්හැර සිටී. අවස්ථා ගණනාවකදී රෝගයට ප්‍රතිකාර ගත්තද කිසි සුවයක් නොමැත. විසඳුමක් දෙන්න.
හර්ෂ - කුරුණෑගල
උපදෙස:
මළ බද්ධය ඇතිවන්න හේතු ගොඩාක් තිබෙනවා. ව්‍යායාම අඩුවීම, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩුවීම, බඩවැල් නිසා ඇතිවන රෝග ආදී රෝගී තත්ත්ව නිසා ඇත්වන්නත් පුළුවන්. සුදුසුම පියවර වනුයේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු වී නියමාකාර රෝග තත්ත්වය හඳුනාගන්න. දීර්ඝකාලීනව මෙය සිදුවීමෙන් රුධිරය අඩු වී අතුරුආබාධ ඇතිවීමේ අවදානමක් තිබෙනවා. එහෙයින් හොඳම දේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු වී නිසි ප්‍රතිකාර ලබාගන්න. මළබද්ධය අඩු කිරීමට තාවකාලික පිළියම් ලෙස ආහාර රටාවේ වෙනස් කම් සිදුකිරීමට පුළුවන. ගස්ලබු, කෙසෙල්, පළාකොළ, වතුර වැනි දේ වැඩිපුර ආහාරයට එක් කරගැනීම සුදුසුයි. මළබද්ධය නැවැත්වීමට මත්පැන් පානය හේතුවක් නොවුණත් මත්පානයෙන් වැළකීම ඔබට ඉතාම වැදගත් දෙයක් ලෙස පවසමි.
ඔබේ ප්‍රශ්න යොමු කරන්න
කාලයක ඉඳන් සුව නොවූ සිතට වදදෙන කියාගන්න බැරි සෞඛ්‍ය ප්‍රශ්නයක්ද? ඔබේ ප්‍රශ්නයට විශේෂඥ වෛද්‍ය උපදෙස් නොමිලයේ ලබාදීමට අප සූදානම්. ඔබේ ඕනෑම සෞඛ්‍ය ප්‍රශ්නයක් අපට එවන්න. පිළිතුරු පළවිය යුතු නමද සඳහන් කරන්න.
සංස්කාරක
විශේෂඥ වෛද්‍ය හමුව
දොස්තරට කියන්න
දේශය පුවත්පත,
නො: 08,
හුණුපිටිය හරස් පාර,
කොළඹ 02
■ සසංක චලන ගිම්හාන